Thursday, September 23, 2021

ඇවිලෙන ගින්නට පිදුරු (7) - බුදුරජාණන්වහන්සේ සහ කිඹුල්වත් නුවර


  

ඇවිලෙන ගින්නට පිදුරු (7) 

බුදුරජාණන්වහන්සේ සහ කිඹුල්වත් නුවර

 

මහා පරිනිබ්බාන සූත්‍රය අවසානයේ මෙසේ දැක් වේ.

එවිට වෙදෙහි පුත්‍රවූ මගධ රටට අධිපති අජාසත් මහරජතෙම රජගහනුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජාසත්කාර කෙළේය. විසාලා මහනුවර වාසීවූ ලිච්ඡවි රජ දරුවෝද විසාලා නම් නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. කිඹුල්වත් නම් නුවර වාසීවූ ශාක්‍ය රජ දරුවෝද කිඹුල්වත් නම් පුරයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. අල්ලකප්ප නම් නුවර වාසීවූ බුලය නම් රජදරුවෝද, අල්ලකප්ප නම් නුවර භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජාසත්කාර කළාහුය. රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කොලිය රජහුද රාම නම් ගමෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. වෙඨදීප නම් නුවර වාසීවූ බ්‍රාහ්මණ තෙමේද, වෙඨදීපයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළේය. පාවා නම් නුවර වාසීවූ මල්ල රජ දරුවෝද පාවා නම් පුරයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. කුසිනාරා වැසි මල්ල රජ දරුවෝද කුසිනාරා නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයන් කරවා පූජා සත්කාර කළාහුය. ද්‍රොණ නම් බ්‍රාහ්මණතෙමේද ධාතු මැන බෙදන ලද නැළිය තබා චෛත්‍යයක් කරවා පූජා සත්කාර කෙළේය. පිප්ඵලිවනිය නම් මොරිය රජහුද පිප්ඵලි වන නම් පුරයෙහි අංගාර ථූප නම්වූ දාගැබක් කරවා පූජා සත්කාර කළාහුය. මෙසේ ශාරීරික චෛත්‍යයෝ අටක් වූවෝය. කුම්භථුප චෛත්‍යය නව වැනි වූයේය. අංගාර චෛත්‍යය දසවැනි වූයේය.

මෙහි බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධාතූන්වහන්සේලා සඳහා චෛත්‍යයන් කරවූ ස්ථානයන් පිළිබඳව සඳහන් කර තිබේ. එක්තරා මතයක් දරන්නා වූ පිරිසක් මේ ස්ථාන ශ්‍රී ලංකාවේ පිහිටා ඇති බව කියයි. තවත් පිරිසක් ඒවා ඉන්දියාවේ ඇති බව කියයි. මේ කථාව නම් ඒ ගැන නොවේ. මේ කථාව 1898 දී ඉංග්‍රීසි ජාතික වතු හිමිකරුවකු විසින් සිදු කරනු ලැබූ සොයා ගැනීමක් සම්බන්ධයෙනි.

ඉන්දු නේපාල සීමාවේ පිප්රාවා නම් ගම මේ ඉංග්‍රීසි ජාතිකයා විසින් පාලනය කළ වත්තක් විය. ඔහුගේ සේවකයන් ද සමඟ ඔහු මේ වත්තේ එක්තරා ස්ථානයක කැණීමක් සිදුකරන ලදි. එම කැණීමේ දී පෙපේ නම් වූ ඔහුට අස්ථි කැබලි කීපයක් සහ ස්වර්ණාභරණ දමා තිබූ බඳුන් කීපයක් හමු විනි. දුටු පමණින් මෙය කුමක්දැයි ඔවුන්ට අදහසක් නොවුන ද බඳුනක තිබූ සටහනක් නිසා ඔවුන්ගේ පුදුමය වැඩි විය. මේ සටහනේ අරුත මුල් අවස්ථාවේ දී සොයා ගැනීමට නොහැකි වුවත් පසුව තහවුරු වූයේ බුදුරජාණන්වහන්සේගේ ධාතූන්වහන්සේලා ඒ බඳුනෙහි ඇති බවයි. එයින් ම 1898 දී සිදු කළ මේ සොයාගැනීම වැදගත් ම සොයාගැනීමක් බවට පත් විය.

ඉහතින් දක්වන්නට යෙදුන මහා පරිනිබ්බාන සූත්‍රයේ දී කිඹුල්වත් නුවර ශාක්‍ය වංශිකයන් විසින් චෛත්‍යයක් තනා බුද්ධ ධාතූන්වහන්සේලාට වන්දනා කළ බවට දැක් වේ. එම චෛත්‍ය නිර්මාණය වීම මේ අනුව ක්‍රි.පූ. 5 වන සියවසේ පමණ විය යුතු ය. සිදුහත් බෝසතුන් ශාක්‍ය වංශිකයෙකි. ලුම්බිණියේ දී බෝසතුන් ඉපදුනත් අවුරුදු 29 ක කාලයක් උන්වහන්සේ ගත කලේ කිඹුල්වත් නුවර ය. ශුද්ධෝදන නැත්නම් සිදුහත් බෝසතුන්ගේ පියා ශාක්‍ය වංශිකයන්ගේ නායකයා විය. එම වංශිකයන්ට ය බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ධාතූන්වහන්සේලා කොටසක් ලැබුනේ. එය ශාක්‍ය වංශිකයන්ට එක් අතකට උරුමයෙන් ලැබූවක් ලෙසින් ද සැලකිය හැකි වේ. ඔවුහු එම ධාතූන්වහන්සේලා චෛත්‍යයක තැන්පත් කිරීමට කටයුතු කරනු ලැබූ හ.

කාලයත් සමඟ ඊයේ දිනය යටපත් වේ. එය සාමාන්‍ය ලෝක ස්වභාවයයි. කාලයේ බලපෑම කෙසේද යත්, ගංගා මාර්ග පවා වෙනස් වේ. දේශ සීමා වෙනස් වේ. මහා වනාන්තර කාන්තාර බවට පරිවර්තනය වේ. බොහෝ දේ කාලයාගේ ඇවෑමෙන් මිනිස් මතකයෙන් ද මැකී යයි.

ඉන්දියාවේ දී බුදුදහමට සිදුවූයේ ද එයයි. 12 වන සියවස අවසන් වන විට දී පමණ ඉන්දියාවේ බුදුදහම භාවිතා වීම අවම තත්ත්වයට පත් විනි. නමුත් ක්‍රි.ව 6 වන සියවස පමණ වන විටදී බුදු දහම ඉන්දියාවේ රාජ්‍ය දහමක් ලෙසින් ද තිබිණි. බලන්න කාලය මැව් වෙනසක අරුම ය. බුදුදහම පරිහානියට පත්වීමත් සමඟ බෞද්ධ සිද්ධස්ථාන ද පරිහානියට පත්වන්නට විය. ඒ සඳහා සතුරු ආක්‍රමණ මෙන්ම අන්‍යාගාමික බලපෑමද හේතු විනි.

කෙසේවෙතත් ඉංග්‍රීසීන් විසින් ඉන්දියාව යටත් කර ගැනීමත් සමඟ 19 වන සියවසේදී මේ තත්ත්වය ද වෙනස් වන්නට විය. ඒ සඳහා අවුරුදු 800 ක් පමණ බලා සිටීමට සිදු ව තිබිණි. ඉංග්‍රීසි ජාතිකයෝ ඒ වන විට පරිහානියට පත් ව තිබූ බෞද්ධ සිද්ධස්ථානවලට පණ දීම සඳහා උත්සාහ දරන්නට විය. සමහරුන් මෙය හැඳුන්වන්නේ පුරාවස්තු මංකොල්ලයක් ලෙසිනි. ඕනෑම දෙයක් නොයෙක් ආකාරයෙන් දැකීමේ හැකියාව මනුෂ්‍යයාට ඇත.

මා ඉහතින් සඳහන් කළ විලියම් පෙපේ යනු පුරාවිද්‍යාඥයකු නොවේ. 1898 දී ඔහු වර්තමාන උත්තර් ප්‍රදේශයේ සිද්ධාර්ත් නගර් (එදා බිර්ද්පූර්) හි පිප්රාවා හි ඔහුට අයත් වත්තේ කැණීමක් සඳහා තම සේවකයන් යොමු කළේ ය. ඒ කැණීමට ලක් වූ ස්ථානය ගල් මත ගොඩ නැගී තිබූ කන්දකි. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි - කැණීමට පෙර ස්ථූපය

 

අඩි 18 ක් පමණ ගැඹුරට කණින විට ඔවුන්ට හමු වූයේ කුඩා බඳුන් පහක් තැන්පත් කර තිබූ විශාල ප්‍රමාණයේ ගල් වලින් තැනූ පෙට්ටියකි. ඒ බඳුන් තුළ අස්ථි කැබලි, අළු, රත්‍රං මෙන්ම සිය ගණනක් වූ ස්වර්ණාභරණ විය. 

ඡායරූපය අන්තර්ජාලයෙනි - පෙට්ටිය

 
ඡායාරූපය අන්තර්ජාලයෙනි - ගල් පෙට්ටිය

ඉන් එක් බඳුනක පහත සඳහන් සටහන ලියා තිබිණි.

‘සුඛිතිභතිනම් සභාගිනිකනම් සපුතදලානම් යම් සලිලනිධානෙ බුධස භගවතෙ සකියානම්‘

සරලව ගත්විට මෙහි අර්ථය වන්නේ ‘බුදුරජාණන්වහන්සේගේ ශාක්‍ය වංශිකයන්ට ලැබුණු ධාතූන් වහන්සේලා‘ යන්නයි. 

ඡායාරූප අන්තර්ජාලයෙනි - ධාතු මංජුසා

 
ඡායාරූප අන්තර්ජාලයෙනි - බෙදා හැරීමට පෙර ධාතූන්වහන්සේලා

ඡායාරූප අන්තර්ජාලයෙනි - බෙදාහැරීමට පෙර ධාතූන්වහන්සේලා සහ අයිතම 


ඡායාරූප අන්තර්ජාලයෙනි - හමු ව ඇති තවත් අයිතම

 
ඡායාරූපය අන්තර්ජාලයෙනි - මෙය පෙපේ විසින් සියම් රජු වෙත පරිත්‍යාග කරන ලදි.

කෙසේවෙතත් මේ සටහන ටික කලකදී ප්‍රශ්නගත විනි. ඒ එහි නිර්ව්‍යාජත්වය කීප දෙනකු විසින් ම ප්‍රශ්න කිරීම හේතුවෙනි. අදාළ සටහන, ඉදිරිපත් වූ මතයට අනුව අවම වශයෙන් බුද්ධ පරිනිර්වානයට අවුරුදු 100 ක් හෝ 150 ක් පමණ පසුව කරනු ලැබූ සටහනක් විය. එවිට මේ හමු වූ අයිතම බුදුරජාණන්වහන්සේගේ ම ද යන ප්‍රශ්නය ඇති විනි. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි

 

මේ ප්‍රශ්නයට පිළිතුරු සැඟ වී තිබුනේ ක්‍රි.පූ.3 වන සියවසේ දී අශෝක රජු විසින් කරවනු ලැබූ සාංචි ස්ථූපයේ ය. එහි අශෝක රජු විසින් බුදුරජාණන්වහන්සේගේ ධාතූන්වහන්සේලා මුල් අවස්ථාවේදී තැන්පත් කර තිබූ ස්ථානවලින් රැගෙන ඉන්දියාව පුරා බෙදා හැරීම පිළිබඳව වන රූප නිර්මාණය කර තිබේ. එයින් පෙපේ සොයාගත් ධාතූන්වහන්සේලා ශාක්‍ය වංශිකයන් විසින් ම තැන්පත් කරනු ලැබූ ඒවා නොව එසේ තැන්පත් කරනු ලැබූ ධාතූන්වහන්සේලා නැවත අශෝක රජු විසින් තැන්පත් කරනු ලැබූ බවට වන මතය ඉදිරිපත් විනි.

මේ ඔස්සේ ගමන් කරන විට තවත් ප්‍රශ්නයක් මතු වෙයි. පිපරාවා ස්ථූපය සොයා ගත් ස්ථානය බෝධිසත්වයන්වහන්සේ වාසය කළ කිඹුල්වත් නුවර ද යන්න ඒ ප්‍රශ්නය යි.

උක්ත ප්‍රශ්නයට ඉදිරිපත් වූ විශේෂඥ මත කීපයකි. ඒවා තනි මතයක් නොවිනි. එක් පිරිසක් ෆා හියන් සහ හ්‍යුත් සාන් වාර්තා ද ආශ්‍රිත කර ගනිමින් කියන්නට වූයේ නේපාලයේ තිලාර්කොට් ලුම්බිණිය වන බවයි. ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කරනු ලැබූ කැණීම් වලින් සොයාගත් පුරාවස්තු අනුව තිලාර්කොට් ද අතීතයේ වැදගත් ස්ථානයක් බවට සනාථ කරන ලදි.

මේ විවාදය අවසන් වූයේ 1971 දී ය. ඉන්දියානු පුරාවිද්‍යා ආයතනයේ කේ.එම්. ශ්‍රීවස්ථව් විසින් පිප්රාවාහි කැණීම් නැවතත් සිදු කරන ලදි. ඔහු පෙපේ සිදු කලාට වඩා වැඩි ගැඹුරට කැණීම් සිදු කල අතර එහිදී තවත් අයිතම හමු විය.

මෙසේ හමු වූ එක් බඳුනක අස්ථි කැබලි 12 ක් වූ අතර එකක අස්ථි කැබලි 10 ක් තිබිණි. එම අයිතම කිසිඳු ගැටළුවකින් තොරව ක්‍රි.පූ. 5 වන සියවසේ බවට කාල නිර්ණය කිරීමට හැකි විය. හමු වුණු ටෙරාකොටා මුද්‍රාවල ‘ඕම් දේවපුත්‍ර විහාරෙ කපිලවස්තු සංඝ‘ සහ ‘මහා කපිලවස්තු භිඛු සංඝ‘ යන සඳහන් තිබිණි. ඒ අනුව මේ කපිලවස්තුව බවත්, එය ඉන්දියාවේ බවත් නිශ්චිතව සනාථ ව තිබේ.

අද පෙපේ විසින් සොයාගත් බඳුන කල්කටාවේ ඉන්දියානු කෞතුකාගාරයේ ද, ශ්‍රීවාස්ථව් විසින් සොයා ගත් ධාතූන්වහන්සේලා නව දිල්ලියේ ජාතික කෞතුකාගාරයේ ද ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබේ. පෙපේ විසින් සොයා ගත් ධාතූන්වහන්සේලාගෙන් කොටසක් ලංකාවේ ද තැන්පත් කර ඇත්තේ වස්කඩුවේ ශ්‍රී සුභූති ස්වාමීන්වහන්සේ සහ සියම් ජාතික ජිනවරාවංශ හිමි හේතුවෙනි. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි - ජිනවරාවංශ හිමි

 

ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

 

ශ්‍රී ලංකාවේ දී බුදුන් වහන්සේ ලංකාවේ යැයි කියන අය සිටින්නා සේම තවත් රටවල ඒ ඒ රටවල බුදුන් වහන්සේ උපන්නායැයි කියන්නෝ සිටී. නමුත් ඔවුන්ට බුදුරජාණන්වහන්සේ හා සෘජුව සම්බන්ධ කළ හැකි පිළිගත හැකි කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට නොහැක. එවැනි තත්ත්වයකදී පිප්රාවෙන් හමු වූ ධාතූන්වහන්සේලා බුදුරජාණන්වහන්සේගේ ගිහි වංශය පිළිබඳව සහ එය පැතිර තිබූ ප්‍රදේශය පිළිබඳව නිශ්චිත සාධක ඉදිරිපත් කර තිබේ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි - අද ඔබට හමුවන ස්ථූපය


Labels: , , , , , ,

1 Comments:

At October 1, 2021 at 9:32 AM , Blogger රන්සකු said...

Mahathmaya oya piprawah gana loku a dolanayak tiyenawa neda...niyama kapilawastuwa tilakot kiyala dan pili aragena tiyenawada

 

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home