Tuesday, September 7, 2021

නාග සංකල්පය (කෙටියෙන්)

 නාග සංකල්පය (කෙටියෙන්)

ලංකාවේ අතීතය සැලකිල්ලට ගත්තම නාග කියන නම ජනප්‍රියයි. මේ නාග නමින් නාගයො වගේම නාග ගෝත්‍රිකයොත් හැඳින්වෙනවා. නාගදීපය ඒ අතරෙන් ප්‍රසිද්ධයි. නාගදීපය, කැළණිය නාග ගෝත්‍රිකයො ජීවත්වුන ප්‍රධාන ප්‍රදේශ විදියට තමයි සැලකනේනෙ. මීට අමතරව මොණරාගල, රිදී මාලියැද්ද ප්‍රදේශයත් නාග ගෝත්‍රිකයො ජීවත් වුන ප්‍රදේශයක් විදියට සලකනවා. වංශකතාවට අනුව නාගදීපයටත් කැළණියටත් බුදුරජාණන්වහන්සේ වැඩම කළ බව සඳහන් වෙනවා. මණිමේඛලාවේ දීත් මේ නාගදීපය ගැන සඳහන් වෙනවා. ජාතක පොතේත් ලංකාවේ නාගයො ගැන සඳහනක් තියෙනවා. අද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවා නාග රූපයක් යොදා ගන්නවා. ඊළඟට නොයෙක් ස්ථානවල නාග රූප දකින්න පුළුවන්. සේරුවාවිලදි පෙන 9 ක් තියෙන නාගරූපයක් දකින්න ලැබෙනවා. මේ කොයි විදියට ගත්තත් ලංකාවේ නාග සංකල්පයට අතීතයේ ඉඳන්ම පිළිගැනීමක් ලැබිලා තියෙනවා. 

ඡායාරූපය අන්තර්ජාලයෙන්.
 

අපි ඉන්දියාව පැත්තට ගියොත් ඉන්දියාවෙත් මේ තත්ත්වයෙ වෙනසක් නෑ. අදටත් නාග වංශිකයො ඉන්දියාවේ ඉන්නවා. නාලාන්දාවෙන් හම්බවෙලා තියෙනවා ක්‍රි.පූ.6 වන සියවසට අයත් පෙන 9 ක නාග රූපයක්. 

 

https://amazinglanka.com/wp/en/the-nagas-in-sinhala-sculpture/z_p32-nagas1/

හින්දු ආගමෙත්, බුද්ධ ධර්මයෙත්, ජෛන ආගමෙත් නාගයො ගැන සඳහන් වෙනවා. මුචලින්ද නා රජු ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනා නෑ. මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේගේ ද්‍රේණයක් ධාතූන්වහන්සේලා නාග ලෝකයේ වැඩ ඉන්නවා. රාමග්‍රාමයේ නාගයො ගැන මීට කලින් මන් සඳහනක් දාලා ඇති. ඊළඟට විෂ්ණු දෙවියො ඉන්නෙ නාගයෙක් එක්ක. මේ නාගයා විෂ්ණු දෙවියෝ රාම, ක්‍රිෂ්ණා විදියට ඉපදෙද්දි ලඟින්ම ඉන්නවා. එතකොට ශිව දෙවියන්ගේ බෙල්ලෙ ඉන්නවා වාසුකී. මතකයිනේ කිරි මුහුද කළඹන්න යොදා ගන්නෙ මේ වාසුකීව. ජෛන ආගමෙත් අර බුදුරජාණන්වහන්සේට මුචලින්ද නා රජු සෙවණ සැලසුවා වගේ අවස්ථාවක් තියෙනවා. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 



 
පාර්ශ්වනාථ - ඡායාරූපය අන්තර්ජාලයෙනි.

අපි දැන් කිව්වෙ ලංකාවත් ඉන්දියාවත් ගැන. මේ රටවල් දෙකම දකුණු ආසියාවේ. දැන් අපි චීනය පැත්තට ගියොත් චීනයෙත් නාග කථාන්දරය තියෙනවා ආ. හරි පරණයි.

ඒ කොහොමවුනත් පුරාවිද්‍යා සාධක අනුව දැනට ලංකාවෙන් හමුවෙලා තියෙන නාග රූප බුද්ධ කාලයට පෙරට විහිදිලා යන්නෙ නෑ. නමුත් නාග සංකල්පය ඊට පැරණියි. ඒකට තියෙන සාධකය තමයි නාගදීපයට බුදුරජාණන්වහන්සේ වැඩම කිරීම සහ නාගයන්ට ධර්ම දේශනා කිරීම. ඡාතක පොතේ දැක්වෙන්න කථාන්දරය මෙතැනට ගන්න බැහැ කියලා මට හිතුනා. 

මේ සටහනට අමුණලා තියෙන ටූටන්කාමන්ගේ මුහුණ ඔයාලට අමුතු දෙයක් නෙමෙයිනෙ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

බලන්න ඒ මුහුණෙ නළල උඩ තියෙන ලකුණ. ඒක නාග ලකුණක්. එතකොට ටූටන්කාමන් උන්නා කියන්නේ ක්‍රි.පූ 1341 – 1323 අතර කාලයේ. ඒ ඊජිප්තුවෙනෙ. ඇයි මෙයා නයෙක් ඔළුවෙ ගහන් ඉන්නෙ? 

ඊළඟට බලන්න දෙවැනි ඡායාරූපය. 

 


ඡායාරූපය අන්තර්ජාලයෙනි.

මේක ඇවිල්ලා ටූටන්කාමන්ගේ ඔටුන්නෙ පිටිපස්ස පැත්ත. ඒකෙ ඉන්නවා නයි 4 දෙනෙක්. ටූටන්කාමන් මේ විදියට නයින්ගෙන් පෙන්වන්න හදන්නෙ මොකක් ද?

ඉතා පැහැදිලියි ඊජිප්තුවෙත් මේ නාග කථාන්දරය තිබුනා කියන එක මේ නිසා. ලංකාවට වඩා පැරණි සාධකයක් මේක. නමුත් අපි බලන්න එපැයි ටූටන්කාමන් මෙච්චර නයින්ව ඔළුව උඩින් තියාගත්තෙ ඇයි කියලා.

මේ සලකුණ හඳුන්වන්නෙ යුරෙයුස් (Uraeus) නමින්. යුරෙයුස් තමයි වජ්ට්ව (Wadjet) හඳුන්වන්න යොදා ගත්ත සලකුණ. කව්ද වජ්ට්? වජ්ට්ව හඳුන්වන්නේ ඊජිප්තුවෙ ආරක්ෂකයා විදියට. බොහෝ වෙලාවට මෙයාව නිරූපනය වෙන්නේ නාග රූපෙකින්. ඒ පදනමෙන් තමයි ටූටන්කාමන්ගේ ඔළුවට නයා එන්නෙ. හැබැයි එතනදි සලකුණ හඳුන්වන්නේ කලින් කිව්ව යුරෙයුස් (Uraeus) නමින්.

දැන් අපි මෙතනදි කිව්වනේ ටූටන්කාමන්ගේ කාලය ගැන. එතකොට එයා නිකන්ම ඕක ඔළුවට ගන්නෙ නෑනෙ. ඒ නිසා පැහැදිලියි එයාගේ කාලෙ වෙද්දි තිබ්බ විශ්වාසය තමයි එයා මේ විදියට අරන් එන්නෙ කියලා. මේ ටූටන්කාමන් ඇවිල්ලා ඊජිප්තුවෙනෙ.

අපි යනවා සුමේරියානු ශිෂ්ටාචාරයට. සුමේරියාවේ ඉන්නවා Ningishzida කියලා දෙවියෙක්. මෙයා නාගයො එක්ක තමයි දකින්න ලැබෙන්නෙ. සටහනේ අමුණලා තියෙනවා මේ දෙවියන්ගේ ඡායාරූපයක්. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 

මේක ක්‍රි.පූ. 2000 විතර පැරණියි කියලා තමයි කියන්නේ. ඊළඟට ඔය නයි දෙන්නෙක් ඉන්න ඡායාරූපය. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 ඒ අයිතමය ක්‍රි.පූ.2100 කියලා තමයි කියන්නේ. ඉරාක් කෞතුකාගාරයේ තියෙන අයිතමයක් තමයි අනිත් ඡායාරූපයෙ තියෙන්නෙ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

ඒක ක්‍රි.පූ. 2600 – 2370 කාලයට අයත්. හැබැයි මේකෙ හිස කොටහ නෑ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 ඔය නයි දෙන්නෙක් ඉන්න අනිත් රූපෙත් ක්‍රි.පූ.2000 ට අයිති කියලා කියනවා.

දැන් අපි කථා කරන්නේ තවත් මේ වගේ පැරණි රූපයක් ගැන. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

මේක හොයා ගන්නෙ සයිබීරියාවේ කඛාසියාවෙන්. මේ රූපෙන් පෙන්වන කෙනාට අත් දෙකක්, කකුල් දෙකක් වගේම දිග බෙල්ලක් එක්ක ඒ බෙල්ලට සම්බන්ධ වුන ඔළු 7 ක් පෙන්නලා තියෙනවා. ඒ වගේම අනෙක් සාමාන්‍ය මිනිස්සුන්ව ඒ රූපෙට වඩා පොඩියට තමයි පෙන්නලා තියෙන්නෙ. එතකොට මේ රූපෙ ක්‍රි.පූ. 5000 ට විතර අයිතියි කියලයි සලකන්නෙ.

කලින් සඳහන් කළ වාසුකීව මතකයිනෙ. මේ වාසුකීගේ සහෝදරිය තමයි මනසා කියන්නේ. පුරාණ ග්‍රන්ථවල වගේම මහාභාරතයෙත් මනසා ගැන සඳහන් වෙනවා. මනසාගේ චිත්‍රයක් සටහනට අපි අමුණලා තියෙනවා. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

එයාගෙත් ඔළුවෙ නයි පෙන 7 ක් තියෙනවා පේනවා ඇති. අද වෙද්දි මේ නාගයන්ට අධිපති මනසා දෙවියන්ව වන්දනා කරන්නේ බෙන්ගාලය, ජරාකන්ද් වගේ උතුරු ඉන්දියානු ප්‍රදේශවල. බෙන්ගාලය එක්ක අපේ මොකක් හරි සම්බන්ධයක් තිබ්බද කියලා ටිකක් හිතලා බලන්න.

දැන් මේ රූපයත් අර කලින් කිව්ව සයිබීරියානු රූපයත් බැලුවම රූප දෙකම එකම කථාව නොවුනත් මොකක් හෝ සම්බන්ධයක් තියෙනවා කියලා පේනවා ඇති.

දැන් බලන්න මේ චිත්‍රය. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

මේ ඇවිල්ලා හයිඩ්‍රා. ඒ කියන්නේ ග්‍රීක වීරයකු වුන හර්ක්‍යුලිස් සටන් කරන ඔළු 7 හිමි හයිඩ්‍රා. ක්‍රි.පූ. 346 ට පමණ අයත්යැයි සැලකෙන මේ අයිතමයෙ දැක්වෙන්නෙ හර්ක්‍යුලිස් විසින් හයිඩ්‍රාව විනාශ කරන අවස්ථාව. හයිඩ්‍රා ඉන්නෙ වතුරෙ ආ. මේ කථාව ක්‍රි.පූ. 600 ටත් කලින් ඉඳන් තියෙන කථාවක් කියලා කියනවානේ.

මේ විදිය ඔළු 7 ක් නැත්නම් 9 ක් තියෙන චරිත ගැන ලෝකෙ හැමතැනින්ම වාර්තා වෙනවා. මන් කියන්නේ ක්‍රි.පූ. කාලයේ ඉඳන්. හුඟක් ඒවා ක්‍රි.පූ. 1000 න් එහා. ඒ සේරම අන්තිමට බැලුවම අර කලින් කිව්ව සයිබීරියානු චිත්‍රය හැර නාග හිස්. මායාවරුන් අතරෙන් මේ විදියම රූපයක් තියෙනවා. ඒකත් මෙතනට නොදැම්මොත් අසම්පූර්ණයි වගේ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

ඉතින් මේ දේවල් එක්ක කල්පනා කරද්දි පේන දෙයක් තමයි නාග ඇදහිල්ල නැත්නම් මේ විශ්වාසය ලෝකය පුරාම විහිදිලා තිබුන, තියෙන දෙයක් බව. එකම දේ ලංකාවෙන් දැනට හම්බවෙලා තියෙන සාක්ෂි වලට වඩා පැරණි සාක්ෂි ලෝකයෙ වෙනත් තැන්වලින් ලැබිලා තියෙන එක. 

අදටත් මේ නාග සංකල්පය අපේ ජීවිතයට බලපෑම් කරනවා. ඒකනෙ නයෙක් දැක්කම ‘නයි හාමි කරදර නොකර යන්න‘ කියලා වඳින අය තවමත් ඉන්නෙ.

 

 

Labels: , , , , , ,

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home