Thursday, September 2, 2021

ඇවිලෙන ගින්නට පිදුරු (5) නාගදීපය - 2

නාගදීපය (2)

සද්ධර්මාලංකාරයේ නාගා වස්තුව නම් කථාවක් වෙයි. එය මෙහිදී වැදගත් වේ.

නාගා වස්තුව ආරම්භයේ දී ලංකාවේ පැවැති නාග වාසස්ථාන තුනක් ගැන සඳහන් වේ. ඒ වඩුන්නාගල, කැළණි ගඟ හා මණිනාග දිවයින යන ස්ථාන තුනහ. මින් වඩුන්නාගල වාසස්ථානයේ නායකයා චූළොදර වන අතර කැළණි ගඟ නායකයා මණිඅක්ඛිත නම් වේ. මණිනාග දිවයින නායකයා වන්නේ මහෝදරයි. මහෝදර නා රජු විසින් ඔහුගේ දුව චූළෝදර නා රජුට විවාහ කර දෙන අතර විවාහයේ දී දෑවැද්ද ලෙසින් මැණික් ඇල්ලූ පුටුවක් ද ලබා දෙයි. පසුව දුව මියයයි. එසේ මිය ගිය විට මහෝදර නා රජු විසින් ලබා දුන් මැණික් පුටුව ආපසු ඉල්ලා සිටී. චූළෝදරත් මහෝදරත් අතර යුද්ධය ඇරඹීමට හේතුව වන්නේ මේ මැණික් පුටුව ඉල්ලා සිටීමය.

සද්ධර්මාලංකාරයේ විස්තර කරන ආකාරයට වඩුන්නාගල පිහිටා ඇත්තේ ගලක් මුල් කරගනිමිනි. මණිනාග වාසස්ථානය නාගදිවයින ලෙසින් හැඳින්වේ. මණිනාග දිවයින ඒ අනුව යාපනය ප්‍රදේශයට අදාළ වේ. අද ද ලංකා සිතියම සැලකිල්ලට ගත් විට යාපනය අපි අර්ධද්වීපයක් ලෙසින් සලකන්නෙමු. මණිනාග දිවයින නාගදීපය ලෙසින් සලකන්නේ නම් එය සිව්දෙසින් වට වී ඇති දූපතකි. ටොලමිගේ සිතියම ආශ්‍රිතව සැලකිල්ලට ගත් විට පසු කාලීන නාගදීපයට අනුරාධපුර ප්‍රදේශය දක්වා බිමක් අදාළ වේ. කෙසේවෙතත් මේ වඩුන්නාගල නිශ්චිතව හඳුනාගැනීම ගැටළුවකි. සමහරු කල්පිටිය ලෙසින් සලකයි. තවත් විටක වවුනියාව ඕලුමඩු, වඩුන්නාගල කන්ද (වෙඩික්කනාරම්මලෛ) ලෙසින් ද හඳුන්වයි. මගේ අදහස වන්නේ වඩුන්නාගල බොහෝ දුරට මේ ඕලුමඩු ස්ථානය විය හැකි බවයි. එහි බොහෝ පුරාවිද්‍යා සාධක දක්නට ලැබේ.

කෙසේවෙතත් මේ දෙපිරිස යුද්ධයට සූදානම් ව සිටිනා අවස්ථාවේ දී ය බුදුරජාණන්වහන්සේ වැඩමවන්නේ. මේ අවස්ථාවට සමිද්ධි සුමන නම් වෘක්ෂ දේවතාවකුද සම්බන්ධ වී තිබේ. ඔහුගේ ඉතිහාස කථාව ද කථා කරුවා දක්වයි. අද මෙනමින් ද විහාරයක් යාපනයේ නාවත්කුලියේ ඇත.

බුදුරජාණන්වහන්සේ වැඩමකරන්නේ නාගදීපයට ය. එසේ වැඩම කර වැඩ සිටින්නේ දෙපාර්ශ්වය ආරවුල් කරගන්නා මැණික් පුටුවේ ය. ඒ අනුව එය පාරිභෝගික වස්තුවක් වන අතර එය මුල් කරගනිමින් නිර්මාණය වූ චෛත්‍යය රාජායතන චෛත්‍යය වේ.

දැන් සද්ධර්මාලංකාරයේ දැක්වෙන ආකාරයට බුදුරජාණන්වහන්සේව දකිනා නාගයින් ඔබ කව්ද කියාවත් අසන්නේ නැති අතර දුටු පමණින් හඳුනා ගනී. මෙනිසා ලංකාවේ නාගයින් සහ ඉන්දියාවේ රඹග්‍රාම නාගයින් අතර සබඳතාවක් ඇති බවට සිතීමේ කිසිඳු බාධාවක් ‍නොවේ. ලංකාවේ නාගයින් ද බුදුරජාණන්වහන්සේ හොඳින් අඳුනයි. ඒ හැඳිනීම, මුල් වරට බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩමවීම නිසාවෙන් ඇතිවූවක් නම් නොවේ.

ඉතින් තමුන්ට පූජා කළ නාගයින්ට බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කරයි. ඒ ධර්මදේශනාවෙන් පසුව මැණික් පුටුව සහ කිරිපලු රුක පූජා වස්තු ලෙස සලකා කටයුතු කරන ලෙසින් උපදෙස් දී උන්වහන්සේ ආපසු වැඩම කරයි.

සද්ධර්මාලංකාරයේදී මේ ගැන තවදුරටත් දැක්වෙන්නේ බුදුන් පිරිනිවූ පසු මනුෂ්‍යයෝ එතැන මහත් දාගැබක් කළ බවත්, එතැන් පටන් සද්ධර්මාලංකාරය ලියන අවස්ථාව දක්වාත් එය රාජායතන චෛත්‍ය්‍ය ලෙසින් ප්‍රසිද්ධ වී පවතින බවත් ය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නාගයෝ එක්වරම මනුෂ්‍යයෝ බවට පත්වෙන සැටි සැලකිල්ලට ගන්නා විට මේ නාගයෝ යනු මනුස්ස කොට්ඨාශයක් බව සනාථ වේ. එසේම ඔවුන් දඹදිව හා සම්බන්ධ බවද සනාථ වේ. මන්දයත්, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මහ සෑයක් කරන්නට නම් හේතුවක් තිබිය යුතු ය. රඹගමට ධාතූ ද්‍රෝණයක් ලැබුණ අතර ඒ ධාතු ද්‍රෝණය ඔවුන් විසින් නිධන් කොට චෛත්‍යයක් බැඳ තිබේ. වංශකථාවට අනුව ධාතු බෙදීමේ අවස්ථාවේ දී ලබා ගන්නා ග්‍රීවා ධාතූන් වහන්සේ සරභු තෙරණුවෝ මහියංගණය සෑයේ තැන්පත් කර එය විශාල කරන්නට යෙදේ. රාජායතන සෑයට සිදුව ඇත්තේ ද එයමයි. නමුත් ඒ දෙවන අවස්ථාවේදී නිධන් කළ ධාතූන්වහන්සේලා මොනවාදැයි සඳහනක් නොමැත.

අද යාපනය හින්දු බලපෑමට ලක්ව තිබුනද බුද්ධ කාලයේ පටන්ම එය බෞද්ධ විශ්වාස දරන්නා වූ ප්‍රදේශයක් බව මෙමගින් සනාථ වේ. ඒ බව තවත් තහවුරු කරන්නා වූ පුරාවිද්‍යාත්මක සාධක යාපනය ප්‍රදේශයෙන් ලැබී තිබේ. අද අපි යාපනයේ සංචාරය කරනා විට එම පුරාවිද්‍යාත්මක ස්ථාන දැකිය හැක.

වසභ රජු ක්‍රි.ව. 65-109 කාලයේදී ලංකාවේ රජ කළ බවට සැලකේ. වල්ලිපුරම් සන්නස වසභ රජුගේ කාලයේ ලියැවූවක් ලෙසින් ද සැලකේ. ඉසිගිරි ඇමති විසින් සිදු කළ විහාර කර්මාන්තයක් ගැන එහි සඳහන්වන අතර නාගදීපය පාලනය කරන්නේ ඉසිගිරි ඇමති විසිනි. ක්‍රි.ව.1 වන සියවසේ ග්‍රීක ජාතික ටොලමි විසින් සිතියම නිර්මාණය කරද්දී ද නාගදීපය ගැන දැන සිටි බව සිතිය හැක. ඔහු විසින් එය දක්වා ඇත්තේ Nagadibois ලෙසිනි. නාගදීපයෙන් හමු ව ඇති බෞද්ධ විහාරවලට අයත්  පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව මේ වන විටත් බොහෝ දෙනා දැන සිටී. ඒවා නැවත මෙහි සඳහන් කිරීම අවශ්‍ය නොවන බව පෙනී යයි.

සමස්ථයක් ලෙසින් ගත් විට මේ අනුව පෙනී යන්නේ වංශකථාකරුවා විසින් නාගදීපයේ නාගයෝ ගැන සඳහන් කරන විටදී මතු පිටින් පෙනෙන අර්ථයට වඩා ගැඹුරු අර්ථයක්, ඒ ගැන සොයා බලන්නන් සඳහා ඉතිරි කොට තබා ඇති බවයි. වංශකථාකරුවා බෞද්ධ පදනම සිටිමින් අදාළ කරුණු ඉදිරිපත් කරනා නිසා එය එසේ නොවේ යැයි සිතීමට ඉඩක් නැත. කෙසේවෙතත් ඉතා පැහැදිලිව නාගදීපයේ නැත්නම් ලංකාවේ සිටි බවට සැලකෙන මේ නාගයෝ නාග නමින් හැඳින් වූ ජන කොටසක් බව සනාථ වන අතර බොහෝ දුරට ඉන්දියාවෙන් මෙහි පැමිණි ජන කොටසක් ම විය හැකි ය.

ඇමුණුමට තවත් ඡායාරූප කීපයක් අමුණා ඇති අතර මේවා නිතරම දක්නට නොලැබෙන ඡායාරූප වේ. රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ 26 – 28 සඟරාවලින් ඒවා උපුටා ගත්තෙමි. 

















 

Labels: , , , , , ,

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home