Sunday, September 12, 2021

මහා ගං වතුර හා මුහුද ගොඩ ගැලීම

 

මහා ගං වතුර හා මුහුද ගොඩ ගැලීම.

2004 අවුරුද්දෙ සුනාමිය ඇවිත් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශයට ලොකු බලපෑමක් කරනවා. 2004 වෙද්දි ‘සුනාමි‘ කියන්නෙ අපිට පුරුදු වචනයක් නෙමෙයි. හැබැයි අද ගොයම් කපන මැෂිමටත් කියන්නෙ ‘සුනාමි‘ කියලා. සුනාමිය නිසා අදටත් දුක් වෙන ජීවිත අපි අතරෙ ජීවත් වෙනවා. හරි ඒක පැත්තකින් තියමුකො. මේ ගෘප් එකට මොකටද සුනාමි කථා නේද?

ඔය සුනාමිය ලංකාවට ආවට පස්සෙ අපේ කට්ටිය කියන්න ගත්තා සුනාමිය අලුත් දෙයක් නෙමෙයි මීට කලිනුත් ඒ ගැන ලංකාවේ සඳහන් වෙනවා කියලා. මතකනෙ කැළණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ විහාර මහා දේවිය මුහුදෙ පා කරන්නෙ ඔය සිද්ධිය නිසාවෙන් කියනවනේ. ඒ ක්‍රි.පූ. 200 – 100 ත් අතරෙ. ඓතිහාසිකව මේ මුහුද ගොඩ ගැලීමේ කථාව සනාථ වෙලා නැති බව හැබෑව තමයි. නමුත් එහෙම සඳහනක් තියෙනවා.

මේක මෙහෙම වෙද්දි ලෝකෙ අපි බැලුවොත් හුඟක් පැරණි ශිෂ්ටාචාරවල මේ වගේ කථාවක් තියෙනවා. එක අතකට ඒක ලෝකෙටම පොදු කථාවක්. මහා ජල ගැල්ම. මහා ජල ගැලුමක් ඇති වෙනවා. මිනිස්සු විනාශ වෙලා යනවා. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් ඉතිරි වෙනවා. එයාලගෙන් ආපහු පරම්පරාව හට ගන්නවා. මේක හරි ලස්සන කථාවක් විතරක් නෙමෙයි ඉතිහාසගත කථාවක්.

ඒ කථාවෙන් කීපයක් විතරක් අපි මෙතැනට ඇදලා ගන්නවා.

මුලින්ම ගන්නෙ ගිල්ගමේෂ්. මේක ඉතිහාසය ගැන දන්න හැමෝම දන්න කථාවක්. ගිල්ගමේෂ්ව දන්න නිසා එයා ගැන විස්තර කරන්න යන්නෙ නෑ. යාළුවා මැරුණට පස්සෙ ගිල්ගමේෂ් සියල්ල අතෑරලා අමරණීයත්වය හොයන් යද්දි එයාට හම්බවෙනවා උට්නපිෂ්ටිම්. මේ උට්නපිෂ්ටිම් තමයි ගිල්ගමේෂ්ට ජලගැල්මේ කථාව කියන්නෙ. ගිල්ගමේෂ් කාව්‍යයේ 11 වන පුවරුවේ 1 – 203 දක්වා කොටසේ මේක ඇතුළත්. ඒ හැටියට මහ දෙවිවරු කෝප වෙලා ගං වතුරක් ඇති කරලා මිනිස්සු ටික පොළොවෙන් අතුගාලා දාන්න ප්ලෑන් කරනවා. එතන උන්න එක දෙවියෙක් උට්නපිෂ්ටිම්ට මේක දැනුම් දෙනවා. එයා බෝට්ටුවක් හදලා ඒකට එයයි තව තෝරා ගත්ත පිරිසකුයි එක්ක ගොඩ වෙනවා. කිව්වා වගේ ගංවතුර ඇවිත් ඒ බෝට්ටුවට නැග්ග කට්ටිය හැර අනෙක් පිරිස විනාශ වෙලා යනවා. මේ සිද්ධියෙන් බේරෙන උට්නපිෂ්ටිම්ට හා එයාගේ බිරිඳට අමරණීය වෙන්න අවස්ථාව ලැබෙනවා.

මේක දිග කථාවක්. මේ දැම්මෙ සාරාංශය.

මේ වගේම කථාවක් අත්‍ර හසිස් කියන පැරණි ආකේඩියානු කාව්‍යයෙත් ඇතුළත් වෙනවා. ඒක ක්‍රි.පූ. 1800 වගේ කාලෙට දිව යන්නක්.

ඊළඟට බලන්න බයිබලයේ පැරණි ගිවිසුමේ දී හමුවෙන නෝවා ගේ නැව. ඒකත් මහ ගංවතුරකට සම්බන්ධයි නේ. කුරාණයෙත් මේ කථාවම තියෙනවා. සියළු දෙනා මැරුණට පස්සෙ නෝවා සහ පිරිසගෙන් තමයි අළුත් පරම්පරාව පටන් ගන්නෙ.

අනෙක් අතට බලන්න ඉන්දියාව. මත්ස්‍ය පුරාණයෙත් මේ වගේ කථාවක් තියෙනවා. ගං වතුරක් එක්ක මැරෙන මිනිස්සු සහ බේරෙන කීපදෙනා. ඒ පුරාණයේදී විෂ්ණු මත්ස්‍ය අවතාරයක්.

ඊජිප්තුවෙත් රාට අදාලව මෙහෙම කථාවක් තියෙනවා.

ලෝකෙ හුඟක් රටවල්වල මේ වගේ කථා තියෙනවා.

බුද්ධ ධර්මය තුළත් මෙවැනි කථාවක් තියෙනවා. කියවලා බලන්නකො සමුද්‍ර වාණිජ ජාතකය. ඊට අමතරව විඩූඩහටත් වෙන්නෙ මේ වගේම සිද්ධියක්.

දැන් ආයිත් අපි බලමු කැළණි තිස්ස රජ්ජුරුවො ගැන. මේ සිද්ධියට කලින් වුන මුහුද ගොඩ ගැලීමක් ගැන රාජාවලියෙ සඳහන් වෙනවා. දන්නවනේ නේද. ඒ රාවණාගේ කාලේ. රාවණාගේ නොහික්මුණ ක්‍රියා නිසා මුහුද ගොඩ ගලපු බව රාජාවලියෙ සඳහන්.

මේ හැම කතාවකම වගේ යන එක තියරියක් තමයි ජල ගැල්මට අහුවෙන්නෙ එපා කරපු කට්ටිය. ඒ වගේම හොඳ මිනිස්සු ඉතුරු වෙනවා. උදාහරණයකට බලන්න සමුද්‍ර වාණිජ ජාතකය. කැළණි තිස්ස කථාවේ උනත් ඒක වෙන්නෙ කරපු නොහික්මුණ ක්‍රියාවක් නිසා කියලනෙ කියන්නෙ.

කලින් කිව්වා වගේ ලෝකෙ පුරාම පොදුවෙ මෙහෙම කථාවක් පැතිරෙන්න බලපෑවේ මොන කාරණයක් ද? ඇත්තටම මේ කථාවල කියන විදියෙ මහ ජල ගැල්මක් නැත්නම් මුහුද ගොඩ ගැලීමක් වුනා ද? මේක කාගෙ හරි මනසෙ මැවුන හිතලුවක් ද? මේ ප්‍රශ්නවලට උත්තර කියන්නෙ ඉතින් විවාදයක්. තවමත් නිශ්චිතව අවසන් නොවුන මත ගැටුමක්. හැබැයි මේ අතරෙ පේන එක දෙයක් තියෙනවා. ලෝකෙ හැම ශිෂ්ටාචාරයක් ම මේ කථාන්දරය ගැන දැනන් උන්නා. ආරම්භක කථාන්දරය සුමේරියානු කථාව විය හැකියි. නැත්නම් ඊජිප්තු කථාව විය හැකියි. ගිල්ගමේෂ් පවා පැරණියි. බයිබලයට එන්නෙත් මේ සුමේරියානු කථාව හෝ ගිල්ගමේෂ් කථාව. ඒ කථාවට ලෝකෙම පිළිගැනීම ලැබුනා. ඇයි ඒ? අපි හැමෝම එක තැනකින් පටන් ගත්ත නිසා ද? හිතලා බලන්න. ඔයාලටත් අදහස් ඇති.

Labels: , , , , ,

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home