Wednesday, September 15, 2021

සනුලි සහ මානව ශිෂ්ටාචාරය

 සනුලි සහ මානව ශිෂ්ටාචාරය

සොහොනක් යනු සාමාන්‍යයෙන් මිනිසාට ප්‍රියවඩන ස්ථානයක් නොවේ. නමුත් මානව ශිෂ්ටාචාරයේ අක්මුල් සොයා යන විට සොහොන් ඉතා පුළුල් මෙහෙයක් ඉටු කරයි. ලංකාවේදී සොහොන් බිම් ආශ්‍රය කර ගනිමින් අපේ මුතුන් මිත්තන් ගැන වටිනා සහ වැදගත් කරුණු අනාවරණය කර ගැනීමට සමත් ව ඇත. ඔබට ඒ පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ඇති බව මා දන්නෙමි. එනිසා ඒ ගැන මෙහිදී කථා කිරීමට යොමු නොවෙමි.

මේ කථා කරන්නේ ඉන්දියාවේ එවැනි එක් සොහොන් බිමක් ගැන ය. උත්තර් ප්‍රදේශයේ සනුලි (Sanauli) ගමේ ගොවියකු වූ ශ්‍රීරාම් ශර්මා 2005 වසරේ එක්තරා දවසක තමන්ගේ ගොවිතැන් කටයුතු වල පෙර දිනවල මෙන්ම නිරත වී සිටින ලදි. එසේ කටයුතු කරද්දී හදිසියේම ඔහුට මිනිස් ඇට සැකිලි, තඹ මුට්ටි කීපයක් හමු විනි. ඔහු මේ පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යයන්ට දැනුම් දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් ඉන්දියානු පුරාවිද්‍යා ආයතනය ද එම ස්ථානයට පැමිණ කැණීම් ආරම්භ කරන ලදි. එහිදී අනාවරණය වූයේ එය සොහොන් බිමක් බවයි. මාස 13 ක කාලයක් පුරා කරනු ලැබූ මුල් කැණීමේ දී කරත්ත, මළ සිරුරු, මුට්ටි, ඇට සැකිළි, ලොව පැරණිම තඹ සෙබළ හිස්වැසුම යැයි සැලකෙන හිස්වැසුමක් සොයා ගැනීමට හැකියාව ලැබිණි. මේවා වසර 2000 ක් පමණ පැරණි ය.

මේ අයිතමයන්ගෙන් සමහරක් තුළ දැව ද දක්නට ලැබේ. අවුරුදු 4000 ක් පමණ කාලයක් විනාශ නොවී පැවතීමට හේතුව වී ඇත්තේ ඒ වටා තඹ ආලේප කර තිබීම නිසාවෙනි.

කෙසේවෙතත් සොහොන් බිමෙන් සොයා ගත් ශේෂ 125 කාබන් කාල නිර්ණයට අනුව වසර 4000 ක් පමණ පැරණි බව අනාවරණය කර ඇත. එය ලංකාවේ දේවාලපොල කැණීම්වලින් හමු වූ ශේෂයන්ටත් වඩා පැරණි බව පෙනී යයි.

නමුත් මෙහි ඇති වැදගත් ම සොයා ගැනීම වන්නේ මෙය නොවේ. කැණීම්වලදී අනාවරණය වූ කරත්ත තුනයි. ස්වභාවය අනුව එම කරත්ත අශ්වයන් යොදා ධාවනය කරනු ලැබූ කරත්ත බවට මත පල වී ඇත. ඉන්දියාවට අශ්වයන් හඳුන්වා දෙන්නේ ක්‍රි.පූ.1500 වැනි කාලයේදී මධ්‍යම ආසියාවේ සිට පැමිණි ආර්යයන් විසින් බවට ඉතිහාසඥයන් කියයි. සුමේරියානු, මෙසපොතේමියානු සංස්කෘතිය තුළ ක්‍රි.පූ. 3000 පමණ වන විටත් අශ්ව කරත්ත පිළිබඳව සඳහන් වේ. හරප්පා ශිෂ්ටාචාරය තුළ කරත්ත භාවිතා වී ඇතත් ඒවා අශ්වයන් විසින් නොව ගොනුන් බැඳි කරත්ත ලෙසින් හැඳින් වේ. එවිට මේ සොයාගැනීම මඟින් ඉන්දියාව තුළ මෙසපොතේමියානු නැත්නම් සුමේරියානු ශිෂ්ටාචාර හා සමඟ යන ශිෂ්ටාචාරයක් පැවැති බවට මත ඉදිරිපත් වේ. එසේම හරප්පා ශිෂ්ටාචාරය හා සනුලි සමකාලීන ද යන්න පිළිබඳව ද විවිධ මත ඉදිරිපත්වීමට ද හේතුවක් වේ.

සනුලිවලින් හමු ව ඇති බොහෝ අයිතම හරප්පා ශිෂ්ටාචාරයෙන් හමුව ඇති අයිතම හා සමාන ය. නමුත් වෙනස්කම් ද දැකිය හැකිවේ. තඹ ආලේප කිරීම ඒ ප්‍රධාන වෙනස්කමයි. ඒ අනුව සිතිය හැක්කේ හරප්පා ශිෂ්ටාචාරයට සමකාලීන විය හැකි නමුත් ඉන් වෙනස්ව සනුලි පැවත ඇති බවයි. එසේම හරප්පා ශිෂ්ටාචාරයේ දී හමුවන ගඩොල් වලට වඩා විශාල ගඩොල් සනුලි කැණීමේ දී හමු වී ඇත.

තවදුරටත් සනුලිහි කැණීම් අනුව සොහොන් බිම රාජකීය සෙබළ කණ්ඩායමකට අයත්යැයි සැලකෙන සාධක ද හමු වී තිබේ. හරප්පා වලදී හමුවනවාට වඩා ප්‍රමාණයෙන් කුඩා කරත්ත සනුලිවලදී හමු ව ඇත. ඒ අනුව මෙම කරත්ත බර හෝ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත් ඒවාට වඩා පුද්ගලයන් දෙදෙනකුට නැත්නම් අයකුට ගමන් කිරීම සඳහා සකස් කර තිබෙන්නට ඇතැයි මත පල වේ. එසේම කරත්ත ආවරණය කර ඇති තඹ ආලේපනය ද යුධ කටයුතු සඳහා ඒවා යොදා ගැනීමට ඇති බවට සාක්ෂි වේ. තවද, හමුව ඇති සෙබළ හිස්වැස්ම, කඩු සහ පළිහ ද ඊට සාධකයකි.

තවදුරටත් සනුලි හි කැණීම් සිදු කරමින් පවතී. ඒ අනුව ඉදිරියේ දී තවත් තොරතුරු අනාවරණය වනු ඇත. ඒ තොරතුරු මඟින් වසර 3000 – 4000 පමණ අතීතයේ දී දකුණු ආසියානු කලාපයේ ජීවත් වූ විශේෂ ජන කොට්ඨාශයක් ගැන තොරතුරු හෙළිදරව් වනු ඇත. 

ඇමුණුම් සියල්ල අන්තර්ජාලයෙනි. 

 

කඩු


කරත්තයේ තඹ ආලේපිත රෝදයේ පැත්තක්

ඇට සැකිල්ලක්


හිස්වැසුම





 

Labels: , , , ,

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home