Wednesday, September 22, 2021

කේසාරිය ස්ථූපය

 කේසාරිය ස්ථූපය.


 

බෞද්ධයන් ඉතා අගය කොට සලකන සූත්‍රයකි කාලාම සූත්‍රය. සියල්ලෝම නම දන්නේ නමුත් අන්තර්ගතය නොදන්නා හෝ දැන ගැනීමට උත්සුක නොවන සූත්‍රයකි. එම නිසා ලිපිය අවසානයේ සූත්‍රය උපුටා දක්වා ඇත. කෙසේවෙතත් ටික වේලාවකට අපි ඒ සූත්‍රය අමතක කරමු.

මේ කාලාම සූත්‍රය බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ කේසපුත්තිකයන්ට ය. එනිසා කේසපුත්ත සූත්‍රය ලෙසින් ද මෙය හැඳින්වේ. කාලාම සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේගේ කාලයේ දී කේසපුත්ත ග්‍රාමයේ වාසය කර ඇති ජනතාව හඳුන්වා ඇත්තේ කාලාම වරුන් ලෙසිනි. ඔවුන් ක්ෂත්‍රියවරුන් ද වේ. සූත්‍රයේ මෙසේ දැක් වේ.

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයන්හි මහත් භික්‍ෂු සංඝයා සමග චාරිකාවෙහි වඩිනුයේ කාලාම නම් ක්‍ෂත්‍රියයන්ගේ කෙසපුත්ත නම් නියම්ගම යම් තැනෙක්හිද, එහි වැඩි සේක.

සමහරුන් විසින් කොසොල් ජනපදය ලංකාවේ ඇති බවට කරුණු දක්වයි. කෙසේවෙතත් ඔවුන් විසින් මෙතෙක් මේ කේසපුත්ත ගම නිශ්චිතව දක්වා ඇත්ද යන්න මා නොදනිමි. කෙසේ දැක්වූවත් ඒ සඳහා ඔවුන්ට උපකාර වන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර නම් නොවේ.

නමුත් අපේ කථාව ඒ ගැන නොවේ. කේසපුත්තයෙන් හමු ව ඇති අදටත් දක්නට ලැබෙන කේසාරියා ස්ථූපය සම්බන්ධයෙනි.

පිරිනිවන සඳහා බුදුරජාණන්වහන්සේ විශාලාවේ සිට කුසිනාරාව කරා ගමන් කරනා අවස්ථාවේ දී කේසාරියා ග්‍රාමයේ ප්‍රමාණවත් කාලයක් වැඩ සිටින ලදි. ඉන්දියානු විශ්වාසයට අනුව මේ ගමනේ දී ලිච්ඡිවීන් බුදුරජාණන්වහන්සේ පසුපස ගමන් කර ඇති අතර තමන්ගේ දන් වැළඳූ පාත්‍රය ලබා දීමෙන් පසුව මෙහිදී ඔවුන්ව ආපසු හරවා යැවීමට බුදුරජාණන්වහන්සේ කටයුතු කර ඇත (1).

එම ස්ථානයේ කේසාරිය ස්ථූපය කරවන්නට ඇති බවට එක් විශ්වාසයක් වේ.

පෙර කී කාලාම සූත්‍රය දේශනා කළ ස්ථානයේ කේසාරිය සූත්‍රය කරවන්නට ඇති බවට තවත් විශ්වාසයක් වේ (2) .

ලිච්ඡිවීන් විසින් බුදුරජාණන්වහන්සේගේ පිරිනිවනින් පසුව කේසාරිය ස්ථූපය මැටි වළින් බඳින්නට ඇති බව කියයි (3).

පසුව අශෝක කාලයේ දී එකී ස්ථූපය ප්‍රතිශංස්කරණය කිරීම සිදු ව ඇත (4). අශෝක කුලුණක් මෙහිදී ද හමු වී තිබීම ඊට හේතු ව වේ.  කේසාරියා ප්‍රදේශය මෞර්ය පාලනයට මෙන්ම ලිච්ඡවී පාලනයට ද යටත් ව තිබූ ප්‍රදේශයකි. කෙසේවෙතත් දැනට දක්නට ඇති ස්වරූපයට ස්ථූපය ප්‍රතිශංස්කරණය කර ඇති බවට සැලකෙන්නේ ගුප්ත යුගයේ දී ය (5).

චීන ජාතික ෆා හියන් භික්ෂුව තම වාර්තා වලදී ලිච්ඡවීන් විසින් බුදුරජාණන්වහන්සේගේ පාත්‍ර ධාතුන්වහන්සේ තැන්පත් කර මේ ස්ථූපය ගොඩ නැංවූ බවට දක්වා තිබේ. හ්‍යුත් සාං භික්ෂුව විසින් ද මේ පිළිබඳව දක්වා ඇතත් පැහැදිලි විස්තරයක් සිදු කර නැත.

1998 වසරේ දී අද දැකිය හැකි තත්ත්වයට ඉන්දියානු පුරාවිද්‍යා ආයතනය විසින් කේසාරියා ස්ථූපය කැණීම් කර අනාවරණය කර තිබේ. කෙසේවෙතත් ඊට පෙර දී එනම් 1800 ගණන්වලදී පවා මේ ස්ථානයේ කැණීම් සිදු කර ඇත. ඉන්දියානු පුරාවිද්‍යා ආයතනයට අනුව අඩි 150 ක් පමණ උසැති මුල් ස්ථූපය කාලයාගේ ඇවෑමෙන් අඩි 123 දක්වා ඛාදනය වී ඇති අතර 1934 දී උතුරු බිහාරයට බලපෑ භූමි කම්පාව හේතුවෙන් අඩි 104 දක්වා කඩා වැටී ශේෂ වී ඇත. මෑත කාලීන කැණීම්වලදී ස්ථූපය වටා සක්මන් මළුවක් පවා තිබී ඇති බවට අනාවරණය වී තිබේ. එසේම කණිෂ්කගේ කාලයට අයත් රන් කාසි පවා මෙහිදී හමු වී තිබේ.

වර්තමාන බිහාර් ප්‍රාන්තයේ දී ඔබට කේසාරියා ස්ථූපය දැකිය හැක. 

සූත්‍රය - අංගුත්තර නිකායේ තික නිපාතයේ මහා වග්ගයේ කාලාම සූත්‍රය 

ඇමුණුම් අන්තර්ජාලයෙනි. 








 

(11.    https://journalsofindia.com/kesaria-buddha-stupa/

(22.   https://en.wikipedia.org/wiki/Kesamutti_Sutta

(33. https://www.abandonedspaces.com/public/the-kesaria-stupa-in-india-built-to-honor-buddhas-final-days.html?firefox=1

(44.  https://www.drishtiias.com/daily-updates/daily-news-analysis/kesaria-buddha-stupa-bihar

(55. https://www.abandonedspaces.com/public/the-kesaria-stupa-in-india-built-to-honor-buddhas-final-days.html?firefox=1

Labels: , , , , ,

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home