Monday, August 30, 2021

ඇවිලෙන ගින්නට පිදුරු (5) - නාගදීපය

 නාගදීපය

භගිනීසුත මාතුලේහි දින්නේ 

මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,

මුණිධම්ම මදේසයී මුනීනං

සිරසා තං පණමාමි නාගදීපං

පෙර දවස සීයා ආච්චිලා අපට කියා දුන් කථාවල එක් කථාවක් වූයේ බුදුරජාණන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩි කථාවයි. ඒ අනුව දෙවැනි වර උන්වහන්සේ වැඩම කරනු ලැබූවේ නාගදීපයට ය. මේ සම්බන්ධයෙන් ඔවුන්ට දැනුම ලැබුවේ වංශකථාවෙනි. මහාවංශයේ මෙන්ම දීපවංශයේත් බුදුරජාණන්වහන්සේගේ ලංකාගමන පිළිබඳව දැක් වේ. ඒ අනුව වංශකථා ලියවෙන ක්‍රි.ව. යුගයේ දී ත් මේ පිළිබඳව වන මතය ලංකාවැසියන් තුළ පැවැති බව අමුතුවෙන් කිව යුතු නොවන්නේ වංශකථාකරුවා ද ඒ රචනා කරන්නේ දැනගත් කරුණක් වන නිසාවෙනි. කෙසේවෙතත් වංශකථාවල ද මේ පිළිබඳව වැඩි විස්තරයක් සඳහන් නොවේ. එහි දැක්වෙන්නේ කථාවේ එක්තරා කොටසක් පමණි. මෙම ලිපියේ දී වංශකථාව සමඟ යම් යම් පුරාවිද්‍යාත්මක සාධක කීපයක් ඉදිරිපත් කිරීමට මා අදහස් කරමි.

නාගදීප කථාව සඳහා මා මූලාශ්‍ර කරගන්නේ සද්ධර්මලංකාරය වේ.

වංශකථාවට අනුව බුදුරජාණන්වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම කොට තිබේ. පළමුවැන්න මහියංගනයට ය. දෙවැන්න නාගදීපයට ය. තෙවැන්න කැළණියට ය. දැන් මහිංයගනයට වැඩම කිරීමේ සිදුවීම සැලකිල්ලට ගත් විට එහිදී පැහැදිලිව දැක්වෙන්න යක්ෂ සමාගමයක් සම්බන්ධයෙන් එහි වැඩි බවයි. මෙම අවස්ථාවට නාගයන් සම්බන්ධ වූ බවක් සඳහන් වන්නේ නැත.

දෙවැනි අවස්ථාව හා තෙවැනි අවස්ථාවේදී නාග සමාගමයට වැඩම කරනු ලැබ ඇති අතර එහිදි යක්ෂ සමාගමය පිළිබඳව සඳහන් නොවේ. මෙය සැලකිය යුතු කරුණකි.

මේ අවස්ථා තුන තුළටම අදාළ පැහැදිලි ප්‍රධාන කරුණ වන්නේ බුදුරජාණන්වහන්සේ ලක්දිව සිටියකු නොවන බවයි. උන්වහන්සේ විදේශයක සිට මේ අවස්ථා තුනටම මෙහි වැඩම කර තිබේ.

අනෙක් ප්‍රධාන කරුණ නම් වංශකතාවම දක්වන ආකාරයට මේ අවස්ථා තුනේදී ම බුද්ධ ධර්මය තේරුම් ගැනීමට තරම් පුළුවන් පිරිසක් ලක්දිව සිටි බවයි.

ඒවා එසේ තිබියා වේ.

නාගදීපයට බුදුරජාණන්වහන්සේ වැඩම කරන්නේ චූලෝදර සහ මහෝදර නාග රජුන් අතර ඇති වන යුද්ධයක් වැළැක්වීම සඳහා ය. ඒ සඳහා සමිද්ධි සුමන නම් දේවතාවකු ද සම්බන්ධ වී තිබේ. නාග රජුන් යුද්ධ වදින්නේ මැණික් පුටුවක අයිතිය සඳහා වුවත් බුදුරජාණන්වහන්සේ හේතුවෙන් යුද්ධය අවසන් වේ. එසේම මැණික් පුටුව ද නිධන් කොට නාග රජුන් විසින් නාගදීපයේ රාජායතන සෑය තනවනු ලැබේ.

බුදු දහම තුළ නාග රාජයින් ගැන නොයෙක් අවස්ථාවලද දැක්වෙන අතර මේ නාගදීපයේ දී ධර්ම දේශන කළ නාගරාජයන් ඒ නාග රාජයින් හා සම්බන්ධ නොවන බව පැහැදිලි කරුණකි. මුචලින්ද, ඒරාපථ ආදී නාගරාජයින් ඔබට සිහිපත් වනු ඇතැයි සිතමි. මේ ඔවුන් නොවේ. නැත්නම් ඛන්ද පිරිතේ දැක්වෙන නාගයින් නොවේ. ඒ අනුව ඉතා පැහැදිලිව මේ නාගයින් යනු ද ජන කොටසක් බව නිගමනය කිරීමට බාධාවක් නැත. බුදුරජාණන්වහන්සේ නයින්ට බණ කියන්නෙකු නොවේ. එයින් ම මේ නාගරාජයින් සත්ව කොට්ඨාශයක් ලෙසින් යමකු හිතන්නේ නම් එය උපන්ගෙයිහිම නැසී යන සිතුවිල්ලක් බවට පත් වේ.

විනය පිටකයේ භේසජ්ජඛන්ධයේ දී සුඵස්ස නම් නාරජු පිළිබඳව දැක් වේ. දුර්භික්ෂ කාලයෙහි දී සර්ප මාංශ කන මිනිස්සු පිණ්ඩපාතයේ වඩින භික්ෂූන්වහන්සේලාට සර්ප මාංශ පූජා කරති. මේවා වළඳන භික්ෂූන්වහන්සේලාට මිනිස්සු නින්දා කරති. මේ දකින සුඵස්ස නාරජු බුදුරජාණන්වහන්සේ හමු වී ඉල්ලා සිටින්නේ භික්ෂූන්වහන්සේලා සර්ප මාංශ කෑමෙන් වළකින ලෙසට නිර්දේශ කරන ලෙස ය. ඒ අනුව බුදුරජාණන්වහන්සේ විසින් සර්පමාංශ වැළඳීම දුකුලා ඇවැතක් ලෙසින් අනුදක්නා ලද හ.

මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේගේ ධාතූ ද්‍රෝණ අටකි. ඉන් සත් ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා දඹදිව පුදයි. එක් ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා පුදන්නේ රඹගමැ නාගයින් ය. මේ රඹගම, පරිනිර්වාණ සූත්‍රයේදී ම දැක්වෙන්නේ කෝලිය රජුන් වාසය කරන නුවරක් ලෙසිනි.

ඉහත ඡේද දෙක මා මේ ලිපියට ඇතුළත් කළේ නාගයින් පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමට පමණි. ලංකාවේ නාගයින් ප්‍රධාන ස්ථාන දෙකක සිටි බව සැල වේ. ඒ කැළණියේ සහ නාගදීපයේ ය. බුදුරජාණන්වහන්සේගේ ජීවිත කාලය පිළිබඳව සැලකීමේ දී දකුණු ඉන්දියාවට පැමිණ අවස්ථාවක් ගැන සඳහන් වන්නේ නැත. නාගදීපය සහ කැළණිය යන ස්ථාන දෙකම පිහිටා ඇත්තේ දකුණු ඉන්දියාවටත් එපිටෙනි. එවැනි තත්ත්වයක දී නාගදීපයට බුදුරජාණන්වහන්සේගේ වැඩම වීම සිදුවූවානම් එය සිදුවන්නේ පැහැදිලිවම ඒ නාගයෝ ද ඉහත ඡේදයේ දැක් වූ නාගයින්ට කුමනාකාරයෙන් හෝ සම්බන්ධයක් ඇති නිසාවෙනි. එසේ නොවන්නට බුදුරජාණන්වහන්සේ නාගදීපයට වඩින්නේ යැයි සිතීමට කිසිඳු කරුණක් නැත. මොකෝ දඹදිව සිදු වූ සෑම යුද්ධයක් නැවැත්වීමට ම බුදුරජාණන්වහන්සේ වැඩම කළා ද? නැත. නාගයින් එක්වරම බුදුරජාණන්වහන්සේ කී දේ පිළිගන්නේ කුමක් හෙයින් ද? ඔවුන් උන්වහන්සේ ගැන දන්නා නිසාවෙනි. එය විය හැක්කේ එක්කෝ මහියංගනයට වැඩම කළ අවස්ථාවේදී දැන ගැනීම නිසාවෙනි. නැත්නම් පෙර සඳහන් කළ නාගයන්ට සම්බන්ධව සිටින නිසාවෙනි. ඔබ, ඔබ ගැන සිතන්න. යමකු දෙයක් කී පමණින් ඔබ පිළිගන්නවා ද? නමුත් ඔබ දන්නා හඳුනන අසා ඇති උගත් පණ්ඩිතයැයි සැලකෙන යමෙක් විසින් දෙයක් කීවොත්?

මෙය තවත් සනාථ කරන ප්‍රවාදයක් වෙයි. මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේගේ ධාතූන්වහන්සේලා නිධන් කොට ස්ථූප කරවන්නට යෙදුනා හ. ඒ අනුව,

    මගධයේ,  

         විශාලා නුවර, 

3.           කපිලවස්තුවේ,

4.          අල්ලකප්ප නුවර,

5.          රඹගම (රාමග්‍රාම),

6.         වේඨදීප නුවර,

7.          පාවා නුවර,

8.          කුසිනාරා නුවර,

මේ ආකාරයට ස්ථූප කරවූ බව සඳහන් වේ. මින් අල්ලකප්ප නුවර සහ වේඨදීප නුවර අද වන විටත් සොයා ගෙන ඇති ස්ථාන නොවේ. මහා පරිනිර්වානයෙන් අවුරුදු 300 කට පමණ පසු අශෝක රජු මෙකී ස්ථූප 8 න් 7 ක් විවෘත කරවා ඇත. ඒ ඔහු විසින් දඹදිව සකස් කළ 84,000 ක් චෛත්‍යයන් තුළ එකී ධාතූන්වහන්සේලා නිධන් කිරීමට වේ. ඔහුට ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ රාමග්‍රාමයේ පිහිටි ධාතූන්වහන්සේලා ය. ප්‍රවාදයේ දැක්වෙන්නේ රජුට එම ධාතූන්වහන්සේලා ලබා ගැනීමට නොහැකි වන ලෙසින් නාගයෙක් චෛත්‍යය මුර කරමින් සිටි බව වේ. ඒ අනුව ම රඹගම හා නාගයින් අතර ඇති සබඳතාවය සිතා ගත හැක.  

මේ රාමගාම චෛත්‍යය අදටත් දැකිය හැක. ආශ්‍රිත ප්‍රදේශය 1996.05.23 දින යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසට නම් කරන ලදි. යුනෙස්කෝ වෙබ් පිටුවේ මේ සම්බන්ධයෙන් මෙසේ දැක් වේ.  

The only undisturbed original stupa containing relics of Lord Buddha. Built in 6th century B.C. and enlarged by being enveloped with bricks subsequently. The site includes adjacent monasteries.

මේ අනුව රාමග්‍රාමය කෝලියන්ට සම්බන්ධ අතර පරිනිර්වාණ සූත්‍රයේදී රඹගම්වැසි නාගයින් සතුවද ධාතූ ද්‍රෝණයක් ඇති බව කියයි. රඹගම සහ රාමග්‍රාම එකම නාමයෙන් හැඳින්වෙයි. අශෝක රජු, දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය කිරීමට පෙර මේ රාමග්‍රාම චෛත්‍යය කැණීමට උත්සාහ කළත් නාග බලපෑම නිසා එය සිදු කිරීමට නොහැකි වේ. එසේම බුදුරජාණන්වහන්සේ නාගදීපයට වැඩම වූ කළ නාගදීපයේ නාගරජුන් කිසිඳු විරෝධතාවයකින් තොරව උන්වහන්සේගේ ඉගැන්වීම් ගරු කරන්නේද වෙයි.

අමුණා ඇති ඡායාරූපවල රාමගාම සහ ආශ්‍රිත කැණීම් පිළිබඳව කරුණු දැක් වේ.  

 

        
අද රාමගාම චෛත්‍යය දැකිය හැකි ආකාරය.  



 

අශෝක රජු රාමග්‍රාම චෛත්‍යයේ ධාතූන්වහන්සේලා ලබා ගැනීමට පැමිණි අවස්ථාව දැක්වෙන සාංචි කැටයම 


 

නාගයින් වටකොට සිටින්නා වූ රාමග්‍රාම චෛත්‍යය වන්දනා කරන අලීන් - අමරාවතී

නාගයින් විසින් වන්දනා කරන රාමග්‍රාම චෛත්‍යය - අමරාවතී

 

ශුක්‍ර සාගර් ශ්‍රේෂ්ඨ විසින් පල කළ රාමග්‍රාම කැණීම් 2 ලිපියෙන් උපුටා ගත් ඡායාරූප 






















 

Labels: , , , , , ,

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home