Monday, August 30, 2021

ඇවිලෙන ගින්නට පිදුරු (5) - නාගදීපය

 නාගදීපය

භගිනීසුත මාතුලේහි දින්නේ 

මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,

මුණිධම්ම මදේසයී මුනීනං

සිරසා තං පණමාමි නාගදීපං

පෙර දවස සීයා ආච්චිලා අපට කියා දුන් කථාවල එක් කථාවක් වූයේ බුදුරජාණන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩි කථාවයි. ඒ අනුව දෙවැනි වර උන්වහන්සේ වැඩම කරනු ලැබූවේ නාගදීපයට ය. මේ සම්බන්ධයෙන් ඔවුන්ට දැනුම ලැබුවේ වංශකථාවෙනි. මහාවංශයේ මෙන්ම දීපවංශයේත් බුදුරජාණන්වහන්සේගේ ලංකාගමන පිළිබඳව දැක් වේ. ඒ අනුව වංශකථා ලියවෙන ක්‍රි.ව. යුගයේ දී ත් මේ පිළිබඳව වන මතය ලංකාවැසියන් තුළ පැවැති බව අමුතුවෙන් කිව යුතු නොවන්නේ වංශකථාකරුවා ද ඒ රචනා කරන්නේ දැනගත් කරුණක් වන නිසාවෙනි. කෙසේවෙතත් වංශකථාවල ද මේ පිළිබඳව වැඩි විස්තරයක් සඳහන් නොවේ. එහි දැක්වෙන්නේ කථාවේ එක්තරා කොටසක් පමණි. මෙම ලිපියේ දී වංශකථාව සමඟ යම් යම් පුරාවිද්‍යාත්මක සාධක කීපයක් ඉදිරිපත් කිරීමට මා අදහස් කරමි.

නාගදීප කථාව සඳහා මා මූලාශ්‍ර කරගන්නේ සද්ධර්මලංකාරය වේ.

වංශකථාවට අනුව බුදුරජාණන්වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම කොට තිබේ. පළමුවැන්න මහියංගනයට ය. දෙවැන්න නාගදීපයට ය. තෙවැන්න කැළණියට ය. දැන් මහිංයගනයට වැඩම කිරීමේ සිදුවීම සැලකිල්ලට ගත් විට එහිදී පැහැදිලිව දැක්වෙන්න යක්ෂ සමාගමයක් සම්බන්ධයෙන් එහි වැඩි බවයි. මෙම අවස්ථාවට නාගයන් සම්බන්ධ වූ බවක් සඳහන් වන්නේ නැත.

දෙවැනි අවස්ථාව හා තෙවැනි අවස්ථාවේදී නාග සමාගමයට වැඩම කරනු ලැබ ඇති අතර එහිදි යක්ෂ සමාගමය පිළිබඳව සඳහන් නොවේ. මෙය සැලකිය යුතු කරුණකි.

මේ අවස්ථා තුන තුළටම අදාළ පැහැදිලි ප්‍රධාන කරුණ වන්නේ බුදුරජාණන්වහන්සේ ලක්දිව සිටියකු නොවන බවයි. උන්වහන්සේ විදේශයක සිට මේ අවස්ථා තුනටම මෙහි වැඩම කර තිබේ.

අනෙක් ප්‍රධාන කරුණ නම් වංශකතාවම දක්වන ආකාරයට මේ අවස්ථා තුනේදී ම බුද්ධ ධර්මය තේරුම් ගැනීමට තරම් පුළුවන් පිරිසක් ලක්දිව සිටි බවයි.

ඒවා එසේ තිබියා වේ.

නාගදීපයට බුදුරජාණන්වහන්සේ වැඩම කරන්නේ චූලෝදර සහ මහෝදර නාග රජුන් අතර ඇති වන යුද්ධයක් වැළැක්වීම සඳහා ය. ඒ සඳහා සමිද්ධි සුමන නම් දේවතාවකු ද සම්බන්ධ වී තිබේ. නාග රජුන් යුද්ධ වදින්නේ මැණික් පුටුවක අයිතිය සඳහා වුවත් බුදුරජාණන්වහන්සේ හේතුවෙන් යුද්ධය අවසන් වේ. එසේම මැණික් පුටුව ද නිධන් කොට නාග රජුන් විසින් නාගදීපයේ රාජායතන සෑය තනවනු ලැබේ.

බුදු දහම තුළ නාග රාජයින් ගැන නොයෙක් අවස්ථාවලද දැක්වෙන අතර මේ නාගදීපයේ දී ධර්ම දේශන කළ නාගරාජයන් ඒ නාග රාජයින් හා සම්බන්ධ නොවන බව පැහැදිලි කරුණකි. මුචලින්ද, ඒරාපථ ආදී නාගරාජයින් ඔබට සිහිපත් වනු ඇතැයි සිතමි. මේ ඔවුන් නොවේ. නැත්නම් ඛන්ද පිරිතේ දැක්වෙන නාගයින් නොවේ. ඒ අනුව ඉතා පැහැදිලිව මේ නාගයින් යනු ද ජන කොටසක් බව නිගමනය කිරීමට බාධාවක් නැත. බුදුරජාණන්වහන්සේ නයින්ට බණ කියන්නෙකු නොවේ. එයින් ම මේ නාගරාජයින් සත්ව කොට්ඨාශයක් ලෙසින් යමකු හිතන්නේ නම් එය උපන්ගෙයිහිම නැසී යන සිතුවිල්ලක් බවට පත් වේ.

විනය පිටකයේ භේසජ්ජඛන්ධයේ දී සුඵස්ස නම් නාරජු පිළිබඳව දැක් වේ. දුර්භික්ෂ කාලයෙහි දී සර්ප මාංශ කන මිනිස්සු පිණ්ඩපාතයේ වඩින භික්ෂූන්වහන්සේලාට සර්ප මාංශ පූජා කරති. මේවා වළඳන භික්ෂූන්වහන්සේලාට මිනිස්සු නින්දා කරති. මේ දකින සුඵස්ස නාරජු බුදුරජාණන්වහන්සේ හමු වී ඉල්ලා සිටින්නේ භික්ෂූන්වහන්සේලා සර්ප මාංශ කෑමෙන් වළකින ලෙසට නිර්දේශ කරන ලෙස ය. ඒ අනුව බුදුරජාණන්වහන්සේ විසින් සර්පමාංශ වැළඳීම දුකුලා ඇවැතක් ලෙසින් අනුදක්නා ලද හ.

මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේගේ ධාතූ ද්‍රෝණ අටකි. ඉන් සත් ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා දඹදිව පුදයි. එක් ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා පුදන්නේ රඹගමැ නාගයින් ය. මේ රඹගම, පරිනිර්වාණ සූත්‍රයේදී ම දැක්වෙන්නේ කෝලිය රජුන් වාසය කරන නුවරක් ලෙසිනි.

ඉහත ඡේද දෙක මා මේ ලිපියට ඇතුළත් කළේ නාගයින් පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමට පමණි. ලංකාවේ නාගයින් ප්‍රධාන ස්ථාන දෙකක සිටි බව සැල වේ. ඒ කැළණියේ සහ නාගදීපයේ ය. බුදුරජාණන්වහන්සේගේ ජීවිත කාලය පිළිබඳව සැලකීමේ දී දකුණු ඉන්දියාවට පැමිණ අවස්ථාවක් ගැන සඳහන් වන්නේ නැත. නාගදීපය සහ කැළණිය යන ස්ථාන දෙකම පිහිටා ඇත්තේ දකුණු ඉන්දියාවටත් එපිටෙනි. එවැනි තත්ත්වයක දී නාගදීපයට බුදුරජාණන්වහන්සේගේ වැඩම වීම සිදුවූවානම් එය සිදුවන්නේ පැහැදිලිවම ඒ නාගයෝ ද ඉහත ඡේදයේ දැක් වූ නාගයින්ට කුමනාකාරයෙන් හෝ සම්බන්ධයක් ඇති නිසාවෙනි. එසේ නොවන්නට බුදුරජාණන්වහන්සේ නාගදීපයට වඩින්නේ යැයි සිතීමට කිසිඳු කරුණක් නැත. මොකෝ දඹදිව සිදු වූ සෑම යුද්ධයක් නැවැත්වීමට ම බුදුරජාණන්වහන්සේ වැඩම කළා ද? නැත. නාගයින් එක්වරම බුදුරජාණන්වහන්සේ කී දේ පිළිගන්නේ කුමක් හෙයින් ද? ඔවුන් උන්වහන්සේ ගැන දන්නා නිසාවෙනි. එය විය හැක්කේ එක්කෝ මහියංගනයට වැඩම කළ අවස්ථාවේදී දැන ගැනීම නිසාවෙනි. නැත්නම් පෙර සඳහන් කළ නාගයන්ට සම්බන්ධව සිටින නිසාවෙනි. ඔබ, ඔබ ගැන සිතන්න. යමකු දෙයක් කී පමණින් ඔබ පිළිගන්නවා ද? නමුත් ඔබ දන්නා හඳුනන අසා ඇති උගත් පණ්ඩිතයැයි සැලකෙන යමෙක් විසින් දෙයක් කීවොත්?

මෙය තවත් සනාථ කරන ප්‍රවාදයක් වෙයි. මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේගේ ධාතූන්වහන්සේලා නිධන් කොට ස්ථූප කරවන්නට යෙදුනා හ. ඒ අනුව,

    මගධයේ,  

         විශාලා නුවර, 

3.           කපිලවස්තුවේ,

4.          අල්ලකප්ප නුවර,

5.          රඹගම (රාමග්‍රාම),

6.         වේඨදීප නුවර,

7.          පාවා නුවර,

8.          කුසිනාරා නුවර,

මේ ආකාරයට ස්ථූප කරවූ බව සඳහන් වේ. මින් අල්ලකප්ප නුවර සහ වේඨදීප නුවර අද වන විටත් සොයා ගෙන ඇති ස්ථාන නොවේ. මහා පරිනිර්වානයෙන් අවුරුදු 300 කට පමණ පසු අශෝක රජු මෙකී ස්ථූප 8 න් 7 ක් විවෘත කරවා ඇත. ඒ ඔහු විසින් දඹදිව සකස් කළ 84,000 ක් චෛත්‍යයන් තුළ එකී ධාතූන්වහන්සේලා නිධන් කිරීමට වේ. ඔහුට ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ රාමග්‍රාමයේ පිහිටි ධාතූන්වහන්සේලා ය. ප්‍රවාදයේ දැක්වෙන්නේ රජුට එම ධාතූන්වහන්සේලා ලබා ගැනීමට නොහැකි වන ලෙසින් නාගයෙක් චෛත්‍යය මුර කරමින් සිටි බව වේ. ඒ අනුව ම රඹගම හා නාගයින් අතර ඇති සබඳතාවය සිතා ගත හැක.  

මේ රාමගාම චෛත්‍යය අදටත් දැකිය හැක. ආශ්‍රිත ප්‍රදේශය 1996.05.23 දින යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසට නම් කරන ලදි. යුනෙස්කෝ වෙබ් පිටුවේ මේ සම්බන්ධයෙන් මෙසේ දැක් වේ.  

The only undisturbed original stupa containing relics of Lord Buddha. Built in 6th century B.C. and enlarged by being enveloped with bricks subsequently. The site includes adjacent monasteries.

මේ අනුව රාමග්‍රාමය කෝලියන්ට සම්බන්ධ අතර පරිනිර්වාණ සූත්‍රයේදී රඹගම්වැසි නාගයින් සතුවද ධාතූ ද්‍රෝණයක් ඇති බව කියයි. රඹගම සහ රාමග්‍රාම එකම නාමයෙන් හැඳින්වෙයි. අශෝක රජු, දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය කිරීමට පෙර මේ රාමග්‍රාම චෛත්‍යය කැණීමට උත්සාහ කළත් නාග බලපෑම නිසා එය සිදු කිරීමට නොහැකි වේ. එසේම බුදුරජාණන්වහන්සේ නාගදීපයට වැඩම වූ කළ නාගදීපයේ නාගරජුන් කිසිඳු විරෝධතාවයකින් තොරව උන්වහන්සේගේ ඉගැන්වීම් ගරු කරන්නේද වෙයි.

අමුණා ඇති ඡායාරූපවල රාමගාම සහ ආශ්‍රිත කැණීම් පිළිබඳව කරුණු දැක් වේ.  

 

        
අද රාමගාම චෛත්‍යය දැකිය හැකි ආකාරය.  



 

අශෝක රජු රාමග්‍රාම චෛත්‍යයේ ධාතූන්වහන්සේලා ලබා ගැනීමට පැමිණි අවස්ථාව දැක්වෙන සාංචි කැටයම 


 

නාගයින් වටකොට සිටින්නා වූ රාමග්‍රාම චෛත්‍යය වන්දනා කරන අලීන් - අමරාවතී

නාගයින් විසින් වන්දනා කරන රාමග්‍රාම චෛත්‍යය - අමරාවතී

 

ශුක්‍ර සාගර් ශ්‍රේෂ්ඨ විසින් පල කළ රාමග්‍රාම කැණීම් 2 ලිපියෙන් උපුටා ගත් ඡායාරූප 






















 

Labels: , , , , , ,

Monday, August 23, 2021

ඇවිලෙන ගින්නට පිදුරු (4)

 ඇවිලෙන ගින්නට පිදුරු (4)

ලිපි මාලාව සමඟ පාඨක පිරිසක් රැස් ව සිටීම ගැන ප්‍රථමයෙන්ම සතුටු වන අතර ඒ කියවා බලා තම අදහස් සටහන් කිරීමට කාලය වැය කිරීම ගැන කෘතඥ වෙමි.

මේ ලිපි පෙල තුළ අවසානයේ මා සඳහන් කලේ වංශකතා කතුවරයා විසින් ඔහු නොදන්නා දේ සමඟ දන්නා දේ ගැලපීමට කරනු ලැබ ඇති උත්සාහය පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් තවත් කරුණක් මෙහිදී සඳහන් කළ යුතු වේ.

ඉහත ලිපියකදී පණ්ඩුකාභය කුමරා සම්බන්ධයෙන් වන විට ඒ කථාව සම්පාදනය කළ ආකාරය සම්බන්ධයෙන් අදහසක් මා සඳහන් කළෙමි. මහාවංශය තුළ පණ්ඩුකාභය රජවීමෙන් පසු, නගරය නිර්මාණය කළ ආකාරය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබේ. එහිදී ඔබට පහත කරුණු හමුවන්නට ඇති බව මා සිතමි. පහත කොටස් උපුටා ගන්නේ බෞද්ධ සංස්කෘතිය මධ්‍යස්ථානයෙන් මුද්‍රිත සිංහල මහාවංශයෙනි.

දොරගම් සතර ද අබා වැව ද එසේම මහත් සොහොන් භූමිය හා දම් ගෙඩිය හෝ වධස්ථානය ද බටහිරි රැජන ද වෙසවුණුයා (දොවොල) ද වැදි දෙවියා තල් (දොවොල) ද සභාග වස්තුව ද ප්‍රභේද ගෙය ද යන මෙතෙක් දෑ බටහිරි දොර දිශා භාගයෙහි ඒ රජ තෙමේ ම පිහිට වී.

මීළඟට මේ ඡේදයම මහා. ගයිගර් විසින් දක්වා ඇති ලෙසින් ද පහතින් උපුටා දක්වමි.

He laid out also four suburbs as well as the Abhaya-tank, the common cemetery, the place of execution, and the chapel of the Queen of the West, the banyan-tree of Vessavana and the Palmyra-palm of the Demon of Maladies, the ground set apart for the Yonas and the house of the Great Sacrifice; all these he laid out near the west gate.

මේ ඉංග්‍රීසි පරිවර්තනයේදී සිංහල පරිවර්තනයේ නොමැති කරුණක් නැත්නම් වෙනස් අරුතකින් යුත් පාඨයක් ඇතුළත්ව තිබේ. ඉංග්‍රීසියේ දී Yonas යන  පාඨය ඇති අතර ඒ පිළිබඳව සඳහනක් සිංහල පරිවර්තනයේ නොවේ. මුල් පාඨය වන්නේ ‘යෝනසභාගවත්ථු‘ ය. සත්‍ය ලෙසම සිංහල පරිවර්තනයේ මෙවැනි අවස්ථා කීපයක් ම ඉංග්‍රීසි පරිවර්තනයත් සමඟ සැසඳීමේ දී දැකිය හැකි අතර කුමක් නිසා එසේ වීදැයි සිතා ගත නොහැක. නමුත් මුල් මහාවංශයට බොහෝදුරට සැසඳෙන්නේ ඉංග්‍රීසි පරිවර්තනය මිස සිංහල පරිවර්තනය නොවේ. මෙය මෙසේ තිබියාදෙන්.

දැන් මේ මහාවංශ කතාවට අනුව යෝන නමින් හැඳින්වෙන පිරිසක් ද පණ්ඩුකාභය කාලයේ දී අනුරාධපුරයේ සිටි බව පැහැදිලි වේ. පණ්ඩුකාභය, ඉන්දියාවේ අශෝකට පෙර ලංකාවේ රජ වූවෙකි. චන්ද්‍රගුප්ත මෞර්ය හා සමකාලීන වෙයි. චන්ද්‍රගුප්ත, මහා ඇලෙක්සැනඩර්ගේ සමකාලීනයෙකි. චන්ද්‍රගුප්තගේ රාජ සභාවේ යෝනකයන් සිට තිබේ. ඔවුන් සාමාන්‍යයෙන් ‘යවන‘ නමින් හැඳින් වේ. මේ යවනයන් ග්‍රීක ජාතිකයන් ලෙසින් සැලකෙන ආකාරය අපට දක්නට ලැබේ. අනුරාධපුරයේ පණ්ඩුකාභයගේ කාලයේ සිටියෙත් මේ යෝනයන් දැයි ප්‍රශ්නයක් මෙනිසා පැන නගී.

අද ද යෝනක නම අපි ශ්‍රී ලාංකික එක්තරා ජන කොට්ඨාශයකට භාවිතා කරන්නෙමු. කෙසේවෙතත් මහා. ගයිගර් විසින් මේ යෝනයන් පිළිබඳව කියන්නේ ඔවුන් යවන නැත්නම් ග්‍රීක ජනතාව ලෙසිනි. ඔහු වැඩිදුරටත් කියන්නේ එවකට ග්‍රීක ජාතිකයන් ලංකාවේ නොසිටියත් පසු කාලීනව ඔවුන් විසින් රජු විසින් සකස් කල ගොඩනැගිලි වාසස්ථාන කර ගන්නට ඇති බවයි.

මේ යෝනක නම මුහම්මදිකයන් සඳහා ද භාවිතා වී තිබේ. ප්‍රසිද්ධ ශ්‍රී පාද ලාංඡන ගථාවේ ද මේ පාඨය ඇති බව දැන් ඔබට සිහිපත් වනු ඇත. එය ආපසු සිහිපත් කළහොත්,

යං නම්මදාය නදියා - පුලිනේ ච තීරේ

යං සච්චබද්ධ ගිරිකේ සුමනාචලග්ගේ

යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං

තං පාද ලාංඡනමහං සිරසා නමාමි

ලෙසිනි. මේ යෝනක පුරය මක්කම ලෙසින් හඳුන්වන්නෝ වෙයි. මක්කම, මුහම්මදිකයන්ගේ පූජා ස්ථානයක් ලෙසින් ලෝකයේ පිළිගනී. එහි ඇති පාදය බුදුරජාණන්වහන්සේගේ සිරිපතුල ලෙසින් පිළිගන්නා මතධාරීන් පිරිසක් ද ලංකාවේ වසයි. ඒ කෙසේවෙතත් මේ අර්ථයෙන් ගත් විට යෝනක නම මුහම්මදිකයන් සඳහා භාවිතා වෙයි. මේ මුහම්මදිකයන් සඳහා ද්‍රවිඩයන් භාවිතා කළ නම වන්නේ ‘සොනකන්‘ නැත්නම් ‘සෝනම්‘ යන්නයි.

මහාංවශය ලියැවෙන්නේ ක්‍රි.ව. 5 වන සියවසේ පමණ ය. පෙර අවස්ථාවකදී අප විසින් ක්‍රි.පූ. කාලයේ සිදු වූ සමහරක් දේ අසා දැනගත් ලෙසින් වංශකතා කතුවරයා විසින් ලියන්නට ඇති බවට සඳහන් කළෙමු. ක්‍රි.ව. 5 වන විට ලංකාවට අරාබි ජාතිකයන් පැමිණ අවසන් ය. පණ්ඩුකාභයගේ රාජ්‍ය කාලය සාමාන්‍යයෙන් මහාවංශයට අනුව සැලකෙන්නේ ක්‍රි.පූ. 377 - 307 දක්වා වේ. එවිට වංශකතා කතුවරයා යෝනක වචනය පාවිච්චි කරන්නේ ක්‍රි.ව. 5 වන සියවසේ භාවිතාවෙන් යැයි කිසිඳු විටක සිතීමට හැකියාවක් නැත. මෙනිසා පණ්ඩුකාභයගේ කථාවේ දී යෝනක පාඨය එහි මුල් ස්වභාවයෙන් ම පාවිච්චි කරන බව නිගමනය කිරීමට සිදු වේ.

ක්‍රි.පූ. 3 වන සියවසේ දී ඉන්දියාවේ රජ වූ අශෝක මේ පාඨය පාවිච්චි කළේ එහි මුල් අර්ථයෙනි. ඒ අනුව අශෝකගේ ධර්ම දූත පිරිසෙන් මහාරක්ඛිත තෙරණුවෝ යෝනක දේශයට වැඩම කරනු ලැබූ බව සඳහන් වේ. ඒ ලංකාව නම් මිහිඳු තෙරණුවෝ මෙහි වැඩම කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. කෙසේවෙතත් මහාරක්ඛිත තෙරණුවෝ යෝනක දේශයට වැඩම කරන්නේ පණ්ඩුකාභයට පසුව ය. තවදුරටත් අශෝක ඔහුගේ ටැම් ලිපිවල යෝන වැසියෝ ඔහුගේ යටත් වැසියෝ ලෙසින් ද දක්වයි. මහාවංශයට අනුව ඇලෙක්සැන්ඩ්‍රියාව යෝන දේශයේ අගනගරය වේ. ඇලෙක්සැන්ඩ්‍රියාව අපි දන්නේ මහා ඇලෙක්සැන්ඩර් විසින් ගොඩ නැගූ නගරයක් ලෙසිනි. නමුත් මිළින්ද ප්‍රශ්නයට අනුව මිළිඳු රජු ඉපැදුන කලසිගාමයේ දූපතක් ලෙසින් ඇලසැන්ඩා හැඳින් වේ. මහාවංශය හා මිළින්ද ප්‍රශ්නය සමකාලීන නොවේ යන්න පමණක් මෙහිදී සටහන් කර තබමි.

ක්‍රි.පූ. 3 වන සියවස පමණ වන විට ලංකාවේ ග්‍රීක ජනාවාසයක් තිබුනා යැයි කීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වුවත් ක්‍රි.ව. 5 වන විට තත්ත්වය නම් වෙනස් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙනිසා වංශකතා කතුවරයා කරුණු දැක්වීමේ දී පණ්ඩුකාභයගේ කාලය වන විට තිබූ ආරම්භක අවදිය හැඳින්වීමේ දී යෝනක පාඨය යොදන්නේ අශෝකගේ කාලයේ හැඳින් වූ අර්තයෙන්ම බව නිගමනය කළ හැක.

කෙසේවෙතත් අපේ වංශකතාවල එවැනි ජන කොටසක් ගැන විශේෂයෙන් සඳහන් නොවේ.

ක්‍රි.ව. 5 වන සියවසේ පමණ ෆා හියන් භික්ෂුව ලංකාවට පැමිණෙන අතර උන්වහන්සේගේ වාර්තා වල බටහිර අනුරාධපුරයේ වාසය කළ ‘සබායින්‘ (Sabaen) වෙළෙන්දන් ගැන සඳහන් වේ.  මෙහිදී ඉංග්‍රීසි පාඨය සඳහන් කරනු ලැබූවේ මේ සම්බන්ධ සිංහල පාඨයක් මා නොදන්නා නිසාවෙනි. ඔහු විසින් මොවුන්ව විස්තර කර ඇත. පෙරදී දැක් වූ මහාවංශ පාඨයට අනුව යෝනයින්ගේ ජනපදය පිහිටෙන්නේ ද බටහිර අනුරාධපුරයේ ය. මෙනිසා ෆා හියන් භික්ෂුව විසින් මේ කියන්නේ පණ්ඩුකාභය විසින් සඳහන් කළ යෝනයන් ගැනම බව නිගමනය කළ හැකි වේ. ඒ අනුව මහාවංශය ලියැවෙද්දී බටහිර අනුරාධපුරයේ දියුණු විදෙස් වෙළෙන්දන් සමූහයක් වාසය කර ඇති අතර ඔවුන්ගේ ජනාවාසය විධිමත්ව එහි පිහිටුවන්නේ පණ්ඩුකාභය විසින් බව සනාථ වේ.

දැන් ආපසු පණ්ඩුකාභය වෙත යොමු වෙමු. මහාවංශයට අනුව ඔහු විධිමත් අනුරාධපුර නගරය සකස් කර ඇති අතර එහිදී එතෙක් එහි ජීවත් වූ අයට නිශ්චිත ස්ථාන ලබා දී ඇත. ඒ අනුව යෝනකයන්ට ද නිශ්චිත ස්ථානයක් ලබා දී ඇත. මේ යෝනකයෝ ග්‍රීකයන් වුවත් මුහම්මදිකයන් වුවත් ලංකාවට පැමිණියේ කවදා කෙලෙසින්දැයි පිළිගත හැකි නිශ්චිත සාක්ෂි අදට හමු වී නැත. විජය සමඟ හෝ විජයට පසුකාලීන පිරිස් සමඟ හෝ ඔවුන් පැමිණියා යැයි සිතීමට පවා සාක්ෂි නැත. නමුත් පණ්ඩුකාභයගේ කාලය වන විට ඔවුන් අනුරාධපුරයේ ස්ථිර ජන කොටසක් ව සිට තිබේ. මේ යෝනයන් ලංකාවට ආ ආකාරය වංශකතා කතුවරයා දැන සිට ඇති බවක් නොපෙනේ. නමුත් ඔහු සැඟවීමකින් තොරව දන්නා දෙය සඳහන් කර ඇත.

කෙසේවෙතත් අද මහාවංශය කියවන්නෙකුට මේ පාඨය හමු නොවේ. මන්දයත් ඉංග්‍රීසි පරිවර්තනය කියැවීමට තරම් බහුතරයකට දැනුම නොමැතිවීම නිසාවෙනි. ප්‍රශ්නය ඇත්තේ එහි ය. 

 

* අන්තර්ජාලයෙන් උපුටා ගත් අශෝකගේ 5 වන ගිරිලිපිය. මෙහි යෝන දේශය ගැන සඳහන් වේ. 


 

 අන්තර්ජාලයෙන් උපුටා ගත් අශෝකගේ 13 - 14 ගිරි ලිපි. මෙහිදී ද යෝන දේශය ගැන මෙන්ම රජවරුන්ගේ නම් පවා සඳහන් වේ.


Labels: , , ,

ඇවිලෙන ගින්නට පිදුරු (3)

 ඇවිලෙන ගින්නට පිදුරු (3)

 ළිං මැඩියාට ලෝකය ළිඳයි යන්න දැනටත් භාවිතා වෙන අතීතයේ සිට පැවතෙන කථාවකි. සිර වී සිටින කොටුවෙන් පිටට පැමිණ ලෝකය දෙස බැලීමට අපහසු පිරිස් උදෙසා මෙය ව්‍යවහාර වෙයි. කෙසේවෙතත් ලංකාවාසීන්ට මෙය එතරම් අදාළ නොවන්නේ විවෘත මනසකින් යුතුව අන් මත දැරීමේ හැකියාව සහ විචක්ෂණශීලීව කරුණු ගවේෂණය කිරීමට ඔවුන් සූදානම් නිසාවෙනි. ම

හාවංශය, දීපවංශය ආදී වංශකථාවලට අනුව ලංකාවට ප්‍රභල ඉන්දියානු සංක්‍රමණයක් සිදුකරන්නේ විජය ඇතුළු පිරිසයි. නමුත් ඒ වංශකථාවලට අනුව ම බුදුරජාණන්වහන්සේ විජයට පෙර තෙවරක් ලංකාවට වැඩම කර තිබේ. ඒ පැමිණි අවස්ථාවලදී බුදුරජාණන්වහන්සේගෙන් බණ ඇසූ අය අතර ප්‍රසිද්ධ චරිතයක් වන්නේ ‘සුමන‘ යි. මේ සුමන අද සමනොළ කන්ද ආශ්‍රිතව වැඩ වාසය කරන දෙවියන් ලෙසින් විශ්වාස කරයි. කෙසේවෙතත් සමන් දෙවියන්ගේ මූලස්ථානය වන්නේ මහියංගනයේ දේවාලයයි. මහියංගන චෛත්‍යය සෑදීමේ ගෞරවය හිමිවන්නේ සමන් දෙවියන්ට ය.

 වංශකතාවල බුදුරජාණන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළ බව කියන්නේ නමුත් එයින් ඇති වූ බලපෑම ගැන කියන්නේ නැත. කෙසේවෙතත් බුදුරජාණන්වහන්සේ ලංකාවට ප්‍රථමවරට වැඩම කරන්නේ අනාගතයේදී බුදු දහම හොඳින් පිහිටන්නේ ලංකාවේ බව දැන ගෙන බව වංශකතාවම දක්වයි. මෙනිසා වංශකතාවට අනුව විජය ලංකාවට ගොඩ බහින විට ලංකාවේ ස්ථාන කීපයක පිළිගත් බෞද්ධ සිද්ධස්ථාන පිහිටයි. ඒ නාගදීපය, මහියංගනය, කතරගම, රත්නපුර, කැළණිය යන ස්ථානවලය. 

 විජය ගැන වංශකතාවල දැක් වේ. විජයගේ පරම්පරාව ගත් විට සීයා සිංහයෙකි. ජීව විද්‍යානුකූලව ගත් විට එය විය නොහැකි කථාවකි. නමුත් ලෝක ඉතිහාසයේ දී සාහිත්‍යය මෙවැනි සිදුවීම්වලට ඉඩ ලබා දී තිබේ. සීයා වන සිංහයාව පියා විසින් මරා දමයි. ඉන්පසු රජවන්නේ පියා ය. පියා විවාහ වන්නේ පියාගේ සොයුරිය සමඟිනි. ඒ සහෝදර සහෝදරියන්ගේ විවාහයෙන් උපදින පුත්‍රයා විජයයි. විජය හැසිරෙන්නේ රජකුට ගැලපෙන අයුරින් නොවේ. එහි ප්‍රතිඵලය වන්නේ පියා විසින් විජය සහ ඔහුගේ සහචරයන් රටෙන් නෙර පා හැරීමයි. එසේ නෙරපන විජයව ඉන්දියාව විසින් ආපසු භාර ගන්නේ නැත. ඔහු ඒ අනුව ලංකාවට පැමිණෙයි. මේ විජය ලංකාවට පැමිණෙන දිනයත් බුදුරජාණන්වහන්සේගේ පිරිනිවනත් සිදුවන්නේ එකම දිනකය. බුදුරජාණන්වහන්සේ ශක්‍ර දෙවියන්ට විජය ආරක්ෂා කිරීමේ වගකීම පවරයි. ඒ අනුව ලංකාවට පැමිණෙන විජයගේ අතේ පිරිත් නූල් බැඳීමක් සිදු වෙයි. ලංකාවට පැමිණෙන විජය, කුවේණියගේ සහායෙන් රජු බවට පත් වෙයි. සහාය දුන් කුවේණියව නෙරපීම ඔහුගේ ඊළඟ කාර්යයි. ඉන් පසුව ඔහු සමඟ විවාහයට කුමරියක් අවශ්‍ය වේ. මේ කුමරිය පැමිණෙන්නෙ පඬි රටෙනි. එය දකුණු ඉන්දියානු රටකි. විජය උතුරු ඉන්දියානුවෙකි. විජයට දරුවන් නැත. ඉන්පසුව රජකමට කැඳවන්නේ ආපසු උතුරු ඉන්දියානුවෙකි.  

 ඉහත ඡේදයේ මා දැක්වූයේ මහාවංශයට අනුව විජයගේ කථාව සැකවිනි. දැන් මේ කථාව අනුව වංශකතා කතුවරයා නොකියා කියන්නා වූ කථාවක් තිබේ. වංශකතා ලියැවෙන්නේ ක්‍රි.ව.5 වන සියවසේ පමණදී ය. ඒ වන විට ලංකාවේ අතීතය ගැන දැන ගැනීම සඳහා තවත් කෘති කීපයක් ම තිබී තිබේ. මහාවංශය ආරම්භයේ දී මහාවංශය ලිවීමට මූලාශ්‍ර කරගත් පොත් ගැන දක්වා ඇත. තමුන්ට දැන ගැනීමට ලැබුන දේ කතුවරයා විසින් ලියා තිබේ. කතුවරයා සිය දැනුමෙන් ම දැනගත් දේ මේ විජයගේ කාලය සම්බන්ධයෙන් ඇත්තේ අල්ප ලෙසිනි. කෙසේවෙතත් ඒ වන විටත් බුදුරජාණන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩි බව ජනමූලාශ්‍රයක් ලෙසින් සහ ග්‍රන්ථ මූලාශ්‍රයක් ලෙසින් භාවිතාවේ තිබී ඇත. එසේම පිරිත් නූල් බැඳීමේ විශ්වාසය ද තිබී ඇත. 

 ත්‍රිපිටකය තුළ පිරිත් නූල් බැඳීමක් ගැන ඔබට අසන්නට ලැබෙනවා ද? නැත්නම් බුදුරජාණන්වහන්සේ එවැනි විශ්වාසයක් ඇති වන ආකාරයෙන් හැසිරුණ ආකාරයක් ගැන අසන්නට ලැබෙනවා ද? රතන සූත්‍රයේදී පිරිත් පැන් ඉසීමක් ගැන අසන්නට ලැබේ. ඒ හැර පිරිත් නූල් බැඳීමක් ගැන අසන්නට ලැබෙන්නේ නැත. නමුත් ක්‍රි.ව. 5 වන සියවස වෙද්දී ලංකාවේ මේ විශ්වාසය ජනප්‍රිය වී තිබේ. එය වංශකතාවට ද එකතු වී ඇත. එය සමහර විහාර චිත්‍රවල මාර සෙනවියෝ බයිනෙත්තු තියාගෙන සිටින්නා වූ නිරූපන වැනි අවස්ථාවක් ලෙසින් සැලකීමට බාධාවක් නැත. 

 වංශකතාවල දී විජයගේ ආගමික විශ්වාසය ගැන සඳහනක් නැත. මෙය සැලකිය යුතු කරුණකි. එවැනි පුද්ගලයකු ආරක්ෂා කිරීමේ වගකීම ශක්‍ර දෙවියන්ට බුදුරජාණන්වහන්සේ පවරයි. නමුත් විජයගේ ලංකා ගමනත් බුද්ධ පරිනිර්වාණයත් සිදුවන්නේ එක් දිනකදී ය. එසේම විජය උතුරු ඉන්දියානුවෙකි. බුදුරජාණන්වහන්සේ? 

 විජය ලංකාවට පැමිණි පසුව ඔහුට කුවේණිය මුන ගැසෙයි. මහාවංශයට අනුව කුවේණිය තීක්ෂණ නුවණකින් යුතු, මානසික ශක්තියකින් යුතු තැනැත්තියකි. ඇය මායාකාර දේ කරයි. නමුත් ඇයට විජයගේ අතේ තිබුණ පිරිත් නූල පෙනෙන්නේ නැත. අනෙක් අතට කුවේණිය නාගදීපය, කැළණිය ආදී පෙර කී ස්ථානවලට සම්බන්ධ අයකු ද වන බවක් පෙනීමට නැත. මෙනිසා මහාවංශයේ සඳහන් වුවද දීපවංශය කුවේණිය ගැන කථා කිරීමට යොමුවන්නේ නැති බව පැහැදිලි ය. 

 විජයට කුවේණිය සමඟ සිටිනාවිට ඇහෙන ඝෝෂාව ගැන කුවේණිය විස්තර කරන්නේ සිරිවඩ්ඩනපුරයේ ඇගේ ඥාතීන්ගේ විවාහ උත්සවයක් ලෙසිනි. මේ ඥාතීන් මරා දැමීමට ඇය විජයට උපකාර කරයි. ඔවුන්ව මරා දැමීමෙන් පසුව පවා ඇගේ තවත් ඥාති පිරිසක් ලංකාවේ ඉතිරිව සිටී. ඇගේ ඥාතීන් ඇයව හෝ ඇගේ දරුවන් පිළිනොගත් බව පැහැදිලි ය. ඇයට මැරෙන්නට සිදුවන්නේ එහෙයිනි. මේ ඥාතීන් ගැන වංශකතාව කුවේණියගේ මරණයෙන් පසුව සිදුවන්නේ කුමක්දැයි සඳහන් කරන්නේ නැත. ඔබ සිතන්නේ ඒ කුමක් නිසාවෙන් විය හැකියි කියා ද? සරලවම හේතුව වන්නේ වංශකතාව රචනා කරන කාලයේ දී මේ ගැන තොරතුරු ලබා ගැනීමට හැකියාවක් නොමැති වීමයි. එනිසා ඒ ගැන කථා නොකිරීමට වංශකතාකරුවා කටයුතු කර ඇත. අපි වුවද කරන්නේ එයම ය. වංශකතාකරුවා ගලායෑමක් ඇති වන ආකාරයට, තමුන්ට හැකි ලෙසින් ගැලපිය හැකි තැන් ගලපා එසේ කළ නොහැකි තැන් අත්හැරීමට කටයුතු කර තිබේ. ඉතින් ඔහු ගැන කුමන කථා ද, අද මෙතරම් තාක්ෂණය, විද්‍යාව දියුණු තත්ත්වයක තිබියදී තවමත් අපිට අනුරාධපුරයෙන් සොයා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ වළං කැබැලි කීපයක් වන විට. 

 නමුත් ක්‍රි.පූ. 1100 පමණ කාලයටත් අයත් යැයි සැලකෙන වර්ණ කළ වළං කැබැලි පුරාවිද්‍යා කැණීම්වලදී සොයා ගෙන තිබේ. එසේම ක්‍රි.පූ. 750 ට පමණ අයත් සොහොන් බිම් සොයාගෙන ඇත. මෙය ඉන්දියාවේ තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයකි. ත්‍රිපිටකය තුළ සොහොනට ගොස් කුණු වී යන මළ මිනී දෙස බලා විදර්ශනා වැඩීමේ අවස්ථාව ගැන සටහන් පවතී. නමුත් ලංකාවෙන් අපට හමු වී ඇත්තේ විධිමත් ලෙසින් සකස් කර ඇති සොහොන් බිම් ය. මෙනිසා මේ භාවනාව ලංකාවේ සිදුව ඇති බවට සාක්ෂි අල්ප ය. දවන ලද මිනී අළු, මැටි මුට්ටිවල අසුරා වළලන පද්ධතියක් ද විජය මෙරට ට පැමිණීමට පෙර ලංකාවේ තිබී තිබේ. එය අදටත් සිදු කරන ක්‍රියාවකි. ක්‍රි.පූ. 3000 පමණ අතීතයට යන සොහොන් බිම් ඒ අනුව සොයා ගෙන ඇත. මෙනිසා විජය ලංකාවට පැමිණීමට පෙර දියුණු ශිෂ්ටාචාරයක් ලංකාවේ නොතිබුනැයි කියා කිසිවකුට කීමට හැකිවන්නේ නැත. ඒ පිළිබඳව වංශකතාකරුවා කථා නොකිරීමෙන් පෙනෙන්නේ එවැනි ඉතිහාසයක් නොතිබීම නොවේ. ඔහුට ඒ ඉතිහාසය ගැන තොරතුරු ලබා ගැනීමට නොහැකි වූ බව පමණි.




ඇවිලෙන ගින්නට පිදුරු (2) 

  ඇවිලෙන ගින්නට පිදුරු (2) 

 දීපවංශයත් මහාවංශයත් මේ ආකාරයට අපේ අතීත ඉතිහාසය දක්වයි. දැන් ඒ ඉතිහාසය අනුව මිහිඳු තෙරණුවෝ දේවානම්පියතිස්ස රජුට කියන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේට පෙර සිටි බුදුවරුන් තිදෙනකු ලංකාවට වැඩම කළ බවයි. කකුසඳ, කෝණාගමන සහ කාශ්‍යප ඒ බුදුවරුන් වේ. බෞද්ධ සාහිත්‍යයට අනුව මිහිඳු මහරහතන්වන්සේ පටිසම්භිදාලාභී තෙරණුවන් වහන්සේ නමකි. බෞද්ධ සාහිත්‍යයේදී ම එක් එක් රහතන්වහන්සේලාට පෙර ආත්ම දැකිය හැකි කාලය පිළිබඳව දක්වා තිබේ. කාශ්‍යප බුදුරජාණන්වහන්සේ සහ ගෞතම බුදුරජාණන්වහන්සේ අතර කාලය සලකා බලා මේ ගැන කල්පනා කරන්නේ නම් මැනවි. 

 මේ සමඟම සැලකිල්ලට ගත යුතු කරුණක් වේ. ටික කලක සිට රාවණ ගැන කථා කරන්නා වූ පිරිස එක්තරා මහායාන සූත්‍රයක් වන ලංකාවතර සූත්‍රය ඔවුන්ගේ මතය සනාථ කිරීමට යොදා ගන්නේ ය. කෙසේවෙතත් ඔවුහු එක් කරුණකදී ප්‍රවේශම් වෙති. ඒ ලංකාවතර සූත්‍රයේ දී කථා කරන බුදුරජාණන්වහන්සේ ගෞතම ද වෙනත් බුදුකෙනෙක්දැයි නිශ්චිතව කිව නොහැකි බව කියමිනි. මේ ආකාරයට ලිස්සා යෑමට ඔවුන්ට පුළුවන් ව ඇත්තේ වෙනත් කිසිවක් නිසා නොවේ අද සිංහලයා පොත් පත් නොකියන්නෙකු වන නිසාවෙනි.

 ලංකාවතර සූත්‍රය කුමක්දැයි සමහරු දන්නේ නැත. මහාවංශයට හා දිපවංශයට අපි දැන් ආපසු යා යුතු ය. ලෝකයටම ‘ධර්ම සංගායනා‘ ගැන විස්තර නැත්නම් මූලාශ්‍ර සපයන්නේ මේ වංශකතාය. කෙසේවෙතත් මේ වංශකතා මූලාශ්‍රය නොසපයන සිව්වන ධර්ම සංගායනාවක් වේ. ඒ කණිෂ්ක රජුගේ ධර්ම සංගායනාවයි. වසුමිත්‍රගේ මූලිකත්වයෙන් සිදු වූ මේ ධර්ම සංගායනාවේ දී සංස්කෘත ත්‍රිපිටකයක් සංගෘහිත විය. මේ හා සමාන ලංකාවේ සිදුවීම නම් වළගම්බා රජුගේ කාලයේ මහාරක්ඛිත මහතෙරගේ මූලකත්වයෙන් ථෙරවාද ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමයි. මෙය ථෙරවාදයේ සිව්වන ධර්ම සංගායනාව ලෙසින් සැල කේ. 

 දැන් වසුමිත්‍රගේ මූලිකත්වයෙන් සිදුවන ධර්ම සංගායනාව කාශ්මීරයේ සිදුවෙන්නේ ක්‍රි.ව.1 ත් 2 ත් අතර සියවස්වලදී ය. ක්‍රි.ව.2 වන විට මහායාන ධර්මයද ඉන්දියාවේ තිබුන බව එයින් පැහැදිලි වේ. කණිෂ්ක රජු කරන්නේ ඒ ධර්මය වසුමිත්‍රගේ මූලිකත්වයෙන් විදිමත් කිරීම ය. ඔබ ථෙරවාදී බුදුදහම ගැන හදාරන්නෙකු නම් ක්‍රි.ව. 2 පමණ වන විට ඉන්දියාවේ ථෙරවාදය තිබූ තැන දන්නවා ඇත. ඒ කාලය වන විට ඉන්දියාවේ ථෙරවාදය පසුගාමී තත්ත්වයක තිබිණි. කෙසේවෙතත් කණිෂ්ක යටතේ මහායාන බුදු දහම චීනය දක්වා ම පැතිර ගියේ ය. ඒ ගැන පසු දිනයක අපි කථා කරමු. බෝධිධර්ම ගැන ද පසු දිනයක කථා කරමු. මේ මහායාන ධර්මය තුළින් සෙන් බුදුදහම පෝෂණය වෙයි. මේ තුළ ප්‍රධාන සූත්‍ර ධර්ම කීපයක් වෙයි. ඒවා පහත ලෙසින් අපට නම් කළ හැක.

 1. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය 2. අවලෝකිතේශ්වර වික්‍රවන නර්දේශ 3. අවතම්සක සූත්‍රය 4. ප්‍රඥා පාරමිතා සූත්‍රය 5. විමලකීර්ති සූත්‍රය 6. ශ්‍රීමල සූත්‍රය 7. සුඛාවතී ව්‍යුහ සූත්‍රය 8. පරිනිර්වාණ සූත්‍රය 9. ලංකාවතර සූත්‍රය 

 මෙයින් ලංකාවතර සූත්‍රය කවදා ලියැවුනා දැයි නිශ්චිතව කිව නොහැක. නමුත් එය ක්‍රි.ව. 443 ට පෙර ලියැවී ඇති බව ඉඳුරා කිව හැක්කේ පළමු චීන පරිවර්තනය ක්‍රි.ව. 443 දී සිදු කිරීමට උත්සාහ කර ඇති නිසාවෙනි. ලංකාවතර සූත්‍රය තුළ සමස්ථ මහායාන ධර්මය ම අඩංගු වේ යැයි කෙනෙකු කියන්නේ නම් එහි වරදක් දැකිය නොහැක. කෙසේවෙතත් පසු කාලීනව ලංකාවතර සූත්‍රයට කොහෙන් හෝ එකතු වී ඇති කෑලි ගොඩෙන් (මස් මාංශ ප්‍රශ්නය ඇතුළු) කෑලි දෙකක් වන්නේ ‘රාවණ‘ පිළිබඳ කොටසයි. මුල් ලංකාවතර සූත්‍රවල මේ කොටස ඇතුළත් නොවේ. ලංකාවතර සූත්‍රය ආරම්භයේ සහ අවසානයේ රාවණ ගැන සඳහන් වේ. මැද ඇත්තේ බෝධිසත්වයකු විසින් බුදුරජාණන්වහන්සේගෙන් ප්‍රශ්න අසා පිළිතුරු ලබා ගන්නා කොටසකි. ලංකාවේ රාවණ රජු සිටි බවට සනාථ කිරීමට ලංකාවතර සූත්‍රය යොදා ගන්නේ මෙන්න මේ කොටස් දෙක අනුව ය. ඉතින් ලංකාවතර සූත්‍රය ගැන දන්නෝ සිටී නම් ඒ ඔස්සේ රාවණ සනාථ කිරීමට යාම එතැනින්ම අවසන් වන්නේ ය. 

 කථාව මෙතැනින් අවසන් නොවේ. 

 පෙර කී ලෙස මේ ලංකාවතර සූත්‍රයේ දැක්වෙන බුදුරජාණන්වහන්සේ ගෞතම බුදුරජාණන්වහන්සේදැයි නිශ්චිතව සඳහනක් නැත. නමුත් ඒ ගෞතම බුදුරජාණන්වහන්සේ විය නොහැකි බව මගේ අදහසයි. ඊට හේතුවක් තිබේ. වෛශ්‍රවණ විසින් බුදුරජාණන්වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් ආටානාටිය සූත්‍රයේ සඳහන් වේ [https://www.thripitakaya.org/tipitakaya/Index/81?s=37]. මේ වෛශ්‍රවණ විසින් විස්තර කියද්දී චරිත කීපයක් පිළිබඳව දක්වා තිබේ. ඒවා මෙසේයි. ආ ඊට පෙර යමක් කිව යුතු ය. ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට වෛශ්‍රවණ විසින් මෙසේ දක්වයි.

 “පසැස් ඇති සිරිමත් වූ විපස්සී බුදුරජුනට නමස්කාර වේ වා. සියලු සත්නට අනුකම්පා ඇති සිඛී බුදුරජුනට ද නමස්කාර වේ වා. සෝදා හළ කෙලෙස් ඇති, තපස්වී වූ වෙස්සභූ බුදුරජුනට නමස්කාර වේ වා. මරසෙන් මැඩැලූ කකුසඳ බුදුරජුනට නමස්කාර වේ වා, බාහිත පාපී වූ, වැ නිමැ වූ මඟ බඹසර ඇති, කෝණාගමන බුදුරජුනට නමස්කාර වේ වා. හැම දැයෙහි මිදුණා වූ කසුප් බුදුරජුනට නමස්කාර වේ වා. යමෙක් සියලු දුක් දුරැ ලන මේ ධර්මය දෙසී ද, ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍ර අඞ්ගීරසයන් වහන්සේට නමස්කාර වේ වා,“ 

දැන් මේ අනුව ආටානාටිය සූත්‍රයේ දැක්වෙන වෛශ්‍රවණ යනු ගෞතම බුදුරජාණන්වහන්සේගේ කාලයේ සිටි වෛශ්‍රවණ වේ. දැන් අපි පෙර කී චරිත හඳුනාගමු.

 1. කුවෙර (සූත්‍රයට අනුව වෛශ්‍රවණ නම් වන්නේත් ඔහුම ය.) 2. තතොලා, 3. තත්තලා, 4. තතොතලා, 5. ඔජසී, 6. තෙජසී, 7. තතොජසී, 8. සුරරාජ, 9. අරිෂ්ටනෙමි 10. ඉන්ද්‍ර ය, 11. සෝමය, 12. වරුණ, 13. භාරද්වාජ, 14. ප්‍රජාපති, 15. චන්දන, 16. කාමශ්‍රෙෂ්ඨ, 17. කින්නිඝණ්ඩු, 18. නිඝණ්ඩු, 19. ප්‍රණාද, 20. ඔපමඤ්ඤ, 21. දෙව් සැරි මාතලී, 22. චිත්‍රසේන, 23. ගන්ධර්ව, 24. නළ, 25. රාජ, 26. ජනර්ෂ්භ, 27. සාතාගිර, 28. හෙමවත, 29. පූර්ණක, 30. කරතිය ය (කාර්තීකෙය ය), 31. ගුඩ 32. ගොපාල, 33. සුප්පගෙධ, 34. හිරිනෙත්ති, 35. මන්දිය, 36. පඤ්චාල චණ්ඩ, 37. ආළවක, 38. පර්ජන්‍ය, 39. සුමන, 40. සුමුඛ, 41. දධිමුඛ, 42. මණි, 43. මානී, 44. වර, 45. දීර්ඝ, 46. සෙරීසක 

මේ නම් වලින් කීයක් ඔබ දන්නේ දැයි බලන්න. අනිවාර්යෙන්ම ඔබ දන්නා නම් කීපයක් මෙහි ඇත. මතක තබා ගන්න ඒ නම් ඒ ආකාරයට පෙළ ගැහෙන්නේ කුමනාකාරයෙන් වුවත් ක්‍රි.පූ.1 ට පෙර ය. එසේම ලංකාවතර සූත්‍රය නැත්නම් මහායානය හැදෙන්නටත් පෙර ය. ඒත් වැඩේ අවසන් නැත. 

 රාවණ රජුට පරම්පරාවක් වෙයි. ඒ පරම්පරාවට අනුව වෛශ්‍රවණට ද ඔවුන් තැනක් දී ඇත. එනම් වෛශ්‍රවණ හා රාවණ අතර නෑ කමක් තිබේ. නෑ කම ඔබ දන්නා නිසා මා මෙහි ලියන්නේ නැත. දැන් ඒ නෑකම හැබෑවක් නම් රාවණ ඉන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේට පසුව ය. එය විය නොහැකි සිදුවීමකි. මෙනිසා මේ විය නොහැකි බව වසාගැනීමට සුදුසු ම ක්‍රමය වන්නේ ලංකාවතර සූත්‍රයේ දැක්වෙන බුදුරජාණන්වහන්සේ ගෞතම ද කව්දැයි නොදන්නේ යැයි කීම වේ. හා එසේ නොවේ ද?



ඇවිලෙන ගින්නට පිදුරු දැමීම

  ඇවිලෙන ගින්නට පිදුරු දැමීම... 

 කුඩා කළ සිට නොයෙක් ඉතිහාස කථා අපි අසා ඇත්තෙමු. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගලා විත් ඇත්තේ ය. කාලාම සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ යමක් පරම්පරාවෙන් ආ පමණින් ම ප්‍රඥාවන්තයා එය පිළිනොගන්නා බවයි. ඉතිහාසය ගැන මිනිසුන් හදාරන්නේ මේ නිසාවෙනි. මේ සොයා යෑම් නිසාවෙන් ම නොයෙකුත් වාද විවාද කලින් කලට මතු වී නැති වී යයි. කලින් කලට ඇවිලෙන ගින්නට පිදුරු වැටේ. 

 කරුණු කාරණා කොයිහැටිවෙතත් යමෙක් කියනා දේ එලෙසින් ම පිළිනොගන්නා අය ද සිටිති. අවාසනාවට මා ද ඉන් එකෙකි. එනිසා අනිත් දේ මෙන්ම ඉතිහාසය සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත්වෙන අයුරින් ම පිළිනොගෙන විමසා බැලීමට නිතර කටයුතු කරමි. මෙනිසා මා සමඟ ද නොයෙක් ආකාරයෙන් ගැටෙන්නෝ වෙති. නමුත් ඔවුන් සමඟ මාගේ තරහක් නැත. මන්දයත්, ඔවුන්ගෙන් ද බොහෝ දේ මා උගන්නා නිසාවෙනි.  

හැඳින්වීමට එය ප්‍රමාණවත් යැයි සිතමි. 

 මහාවංශය හා දීපවංශය. මේවා නොකිය වූ සහ මේ ගැන නොඇසූ සිංහලයෙක් සිටිය නොහැක. මහාවංශයේ දී අතීතයේ යම් යම් දිනවල ප්‍රසිද්ධියේ දීපවංශය කියැවීමට නියම කර තිබූ බව දක්වා ඇත. අද නම් එවැනි දේ සිදු නොවේ. මහාවංශය ක්‍රි.ව 5 වන සියවසේ පමණ රචනා වූවක් වන අතර දීපවංශය ක්‍රි.ව 4 වන සියවසේ පමණ රචනා වූවක් ලෙසින් හඳුනා ගත හැක. මේ වංශකතා දෙකම ඉතිහාස ග්‍රන්ථ නොවුනත් ඒ ඒ යුගයන්හි ලංකාවේ සිදු වූ දේ ගැන කරුණු අන්තර්ගත කොට තිබේ. පණ්ඩුකාභය රජු, දුටුගැමුණු රජු, මහසෙන් රජු, බුද්ධදාස රජු, ධාතුසේන රජු, සීගිරි කාශ්‍යප, විජයබාහු රජු, පරාක්‍රමබාහු රජු ආදීන් ගැන අපේ පැරැන්නෝ දරු මුණුපුරුන්ට කථා කියා දුන්නේ මේ වංශකථා අනුව ය. 

 මහාවංශය මෙන්ම දීපවංශය ලියැවෙන කාලය වන විට ලංකාවේ මුල් බැසගත් රාජ්‍ය පාලනයක් තිබිණි. එය ලෝකයේ එවකට දැකිය හැකි අනිකුත් ශිෂ්ටාචාර සමඟ බලනවිට ඉතා දියුණු ශිෂ්ටාචාරයක් විය. කෙසේවෙතත් වංශකතා දෙකම විජයට සිංහල රාජාවලියේ ආරම්භය ලබා දෙන ආකාරය දක්නට ලැබේ. විජය, ලංකාවට තම්බපන්නියයැයි නම තැබූ බව වංශකතාවල දී හැඳින්වූවද විජය ලංකාවට පැමිණීමට පෙරත් ලංකාව හඳුන්වන්නට ඇත්තේ ඒ නමින් ම බව සිතීමට බාධාවක් නැත්තේ ක්‍රි.ව. පටන් ගැනීමට පෙර පටන් පෙරදිග ලෝකය තුළ තැප්‍රොබේන් නමින් ලංකාව හැඳින්වීම නිසාවෙනි. ඉතා පැහැදිලිව විජයට ලංකාවේ නම තැබීමට අවස්ථාව ලබා දීම උත්තරයට ගැලපෙන ලෙසින් ප්‍රශ්නය නිර්මාණය කිරීමේ අවස්ථාවකි. ඒ සඳහා වංශකථා නිර්මාණකරුවාට වුවමනා තරම් අවකාශය ලැබී තිබේ. 

 ක්‍රි.ව.4 සියවස වද්දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර අවසන් අතර ලංකාවේ සිට පබළු රැගෙන ඒමට රාජදූතයන් රෝමයට ගොස් ද අවසන් ය. ස්ථිරවම සනාථ වී නැතත් වංශකථාවල සඳහන් නොවන මහා ඇලෙක්සැන්ඩර් ලංකාවට පැමිණීම ද සිදු වී හමාර ය. යම් හෙයකින් ඇලෙක්සැන්ඩර් සත්‍ය ලෙසම ලංකාවට පැමිණියා නම් මිහිඳු හිමි ලංකාවට වැඩීමට පෙර එය සිදු වී තිබේ. ෆා හියං හිමි ලංකාවට වැඩම කරන්නේ මහාවංශය ලියැ වී කෙටි කාලපරාශයක් තුලදී ය. ෆා හියං හිමිගේ ලංකා විස්තරය අනුව ලංකාව ඒ වන විට ඉතා දියුණු ශිෂ්ටාචාරයකි. නමුත් ලංකාවට වඩා නැත්නම් සමාන දියුණු ශිෂ්ටාචාර ඒ වෙද්දී ලෝකය තුළ ඇති වී තිබේ. වංශකථාකරුවා සිදු කරන්නේ එම ලෝක ශිෂ්ටාචාර සමඟ ලංකා ශිෂ්ටාචාරය ද ගැලපීමයි. වැඩි තොරතුරු සපයා ගත නොහැකි ක්‍රි.පූ. යුගය ඒ සඳහා ඔහු යොදා ගනී. 

 හිතන්න. හෝමර්ගේ ඔඩිසි කාව්‍යයේදී අපි හමුවන යුලීසියස් සහ සර්කා යුවළ වෙනත් නමකින් අපේ මහාවංශයේ සිටී. විජය - කුවේණි. නමුත් කුවේණිය දීපවංශයේ සඳහන් නොවන චරිතයකි. මේ ගැන පෙර අවස්ථාවකදී ද කථා කර ඇති නිසා නැවත කථා නොකරමි. 

 පෙර දී සඳහන් නොකළ වෙනත් කථාවක් කියමි. ජාතක පොත්වහන්සේ තුළ ඝත ජාතකය ලෙසින් ජාතක කථාවක් ඇතුළත් වේ [http://jathakakatha.lk/sinhala/index.php?option=com_content&view=article&id=363:442-&catid=58:401-450-&Itemid=101]. මේ ජාතක කථාවේ මුල් කොටසේ කංස නම් රජ කුමාරයකු ගැන සහ දේවගර්භා නම් රාජ කුමාරිය ගැන සඳහන් වේ. මේ දේවගර්භාට උපදින කුමාරයා රජු නසා රජකම ගන්නා බව නිමිති පාඨකයන් කීවේලු. ඉතින් මහරජු කරන්නේ කුමක් ද? දේවගර්භාව ගලින් කළ මැදුරක සිරගත කිරීමයි. මහරජුගේ මරණයෙන් පසුව රජවෙන්නේ කංස ය. කංස විසින් ද දේවගර්භාව මරන්නේ නැත. පසු අවස්ථාවකදී මධුරාවේ සිට පැමිණෙන උපසාගර කුමාරයා මේ මැදුර දැක විස්තර අසා දේවගර්භා සමඟ සංවාසයේ යෙදේ. පසුව කංසා, උපසාගරට දේවගර්භා විවාහ කර දෙයි. මුලින් ම ඔවුන්ට ලැබෙන දරුවා ගැහැණු දරුවෙකි. දෙවැනි දරුවා ලැබීමට සිටිනා විට දේවගර්භාගේ සේවිකාව ද ගැබ්බරව සිටී. ඇයට ගැහැණු දරුවකු උපදින අතර දේවගර්භාට පිරිමි දරුවකු උපදී. මේ පිරිමි දරුවාව සේවිකාවගේ ගැහැණු දරුවා සමඟ මාරු කරන්නේ මාමාවරු විසින් ඝාතනය කරනු ලැබේවියැයි ඇති වන බිය නිසාවෙනි. මේ ජාතක කථාව තුළ මේ කියන කුමරා පසුව හඳුන්වන්නේ වාසුදේව ලෙසිනි. වාසුදේව යන චරිතය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ශ්‍රී ක්‍රිෂ්ණා හඳුන්වන තවත් නමකි එය. ජාතක කථාව අවසානයේ බුදුරජාණන්වහන්සේ පූර්වාපර සන්ධි ගැලපීමේ දී වාසුදේව නම් වූයේ සැරියුත් තෙරණුවෝ යැයි දක්වති. සිංහල ජාතක කථාවේ ආරම්භයේ කණ්හා නම සඳහන්ව නැතත් තායි ජාතක කථාවේ වැනි ඉංග්‍රීසියෙන් කියවිය හැකි මේ ජාතක කථාවේ ආරම්භයේ දී කණ්හා යන නම භාවිතා කර තිබේ. කණ්හා යනු ‘බඩබෝල කණ්හා‘ ලෙසින් ඔබ පහුගිය කාලයේ අසනු ලැබූ නම ම ය. "

Black Kaṇha, rise," etc. This story the Master told in Jetavana about a son's death. The circumstances are like those in the Maṭṭha-Kuṇḍali Birth 2. Here again the Master asked the lay brother, "Are you in grief, layman?" He replied, "Yes, Sir." "Layman," said the Master, "long ago wise men listened to the bidding of the wise, and did not grieve for the death of a son." And at his request, he told a story of the past. [https://www.sacred-texts.com/bud/j4/j4018.htm] 

හරිවංශ පුරාණ නම් සංස්කෘත ග්‍රන්ථයේ දී ක්‍රිෂ්ණ කතාව ඇතුළත් වේ. ඒ ක්‍රිෂ්ණ කථාව සමඟ මේ ඝත ජාතකයේ කථාව කියවා බලන්න. ඉන්පසු මේ මා ඉහතින් දැක් වූ ඝත ජාතකයේ කොටස සමඟ ගැලපෙන ඔබ අසා ඇති ඉතිහාස කථාවක් තිබේදැයි කල්පනා කර බලන්න. වං

වංශකථාකරුවා විසින් ලංකාවට ගෞතම බුදුරජාණන්වහන්සේ තෙවරක් වැඩි බව සඳහන් කරයි. ඊට පෙර සිටි බුදුවරුන් විසින් ද ලංකාවට වැඩම කරනු ලැබූ බව සඳහන් කරයි. මිහිඳු හිමියන් විසින් දෙවානම්පියතිස්ස රජුට මේ ගැන දේශනා කරයි. පෙර බුදුවරුන්ගේ කාලයේ දී ලංකාව හඳුන්වන නම් වංශකථාවේ දක්වා තිබේ. ඒ මෙලෙසිනි. කකුසඳ බුදුන්ගේ කාලයේ දී ඕජදීප ලෙසත්, කෝණාගමන බුදුන්ගේ කාලයේ දී වරදීප ලෙසත් කාශ්‍යප බුදුන්ගේ කාලයේ දී මණ්ඩදීප ලෙසත් ය. ගෞතම බුදුරජාණන්වහන්සේගේ කාලයේ දී ලංකාව හඳුන්වා ඇත්තේ ලංකා දීප ලෙසිනි. වර්තමාන සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මුද්‍රණය කරන්නා වූ මහාවංශයේ දී ‘ලක්දිව්‘ ලෙසින් එය පරිවර්තනය කර තිබේ. මහාවංශය දෙවනපෑතිස් රජුගේ කථාව කියද්දී විජයගේ කථාව එක්කෝ අමතක කර ඇත. නැත්නම් එය මග හැර ඇත. මන්දයත් තම්බපන්නිය ලෙසින් විජය නම් කර ඇති බවට මහාවංශයේ ම දක්වා ඇති නිසාවෙනි. එනිසාය ඉහතින් මා කීවේ වංශකථා කතුවරයා තැප්‍රොබේන් යන විදෙස් නාමය ගෙන විජය හරහා තම්බපන්නිය බවට සඳහන් කර ඇති බව. ලංකාව පෙර දී හැඳින් වූ බවට වංශකතාවේ දැක්වෙන නම් සමඟ බැලූ විට තම්බන්පන්නි නම නොගැලපෙන අතර වංශකතා ලියැවෙන විටත් ‘දූපත‘ යනු කුමක්දැයි සිංහලයා දැන සිට ඇත. ඒ ආකාරයෙන් ලෝකය සමඟ ඉතා පහසුවෙන් මේ රට සම්බන්ධ කිරීමට වංශකතාකරුවා කටයුතු කර තිබීම ප්‍රශංසනීය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඡායාරූප අන්තර්ජාලයෙනි 

 



ජම්බුද්වීපය හා පුරාවිද්‍යා පර්යේෂණ 

 ජම්බුද්වීපය හා පුරාවිද්‍යා පර්යේෂණ 

පුරාවිද්‍යාවත් බුදු දහමත් දෙකකි. 🇱🇰 මේ දෙක එකට යන්නේ බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුතු දේ නැත්නම් ස්ථාන බුදු දහමත් සමඟ බැඳී ඇති නිසාවෙනි. සමහරක් අය මේ දෙක දෙකක් නොව එකක් ලෙසින් සලකන්නට යාමෙන් නොයෙක් ගැටුම්කාරී තත්ත්වයන් ඇති වේ. විශේෂයෙන්ම මතවාදී ගැටුම් ඒ අතර වේ. පුරාවිද්‍යාවෙන් බුදු දහම සනාථ කළ නොහැකි නමුත් එහි විකාශනය, බලපෑම ආදී කරුණු සනාථ කල හැක. නිදසුනකට යම් ස්ථාන ආශ්‍රිතව බෞද්ධ මූලස්ථාන තිබූ බව ආදී කරුණු. ජම්බුද්වීපයේ පැවැත්ම සහ බුදු දහම, පුරා විද්‍යාව සහ ජම්බුද්වීපය 🇱🇰 තුළ මේ ආකාරයට විවිධ මතවාද ඇති වන්නා වූ තවත් මාතෘකාවකි.

 අද වනතුරු අප දන්නා ආකාරයට ජම්බුද්වීපය යනු 🇱🇰 යැයි සනාථ කිරීමට පුරා විද්‍යාත්මක පර්යේෂණයක් සිදු ව නැත. අප දන්නා තරමට යැයි කීවේ නොදන්නා පර්යේෂණ තිබිය හැකි නිසාවෙනි. පුරාවිද්‍යාත්මකව එවැනි පර්යේෂණයක් සිදු කිරීම අනවශ්‍ය වන්නේ එයින් ලැබෙන ප්‍රයෝජනයක් නොමැති වීම විය හැක. අනෙක් අතට ජම්බුද්වීපය 🇱🇰 නොවන බවට පිළිගත හැකි සාධක, මතවාද පවතින නිසාවෙන් ද විය හැක. කෙසේවෙතත් මෙවැනි පිළිගත් පර්යේෂණයක් සිදු නොවීමේ වාසිය මත ගැටුම් ඇති කිරීම ම අරමුණු කරගත්තවුන්ට නම් නිධානයකි. 

 සාමාන්‍ය පිළිගැනීම අනුව ජම්බුද්වීපය යනු ලංකාව වැනි දූපතක් නොවේ. ජම්බුද්වීපය යන නම ව්‍යවහාර වන්නේ සියළු මහද්වීප එක්ව පවතින අවස්ථාවේදී ය. මේ පිළිබඳව අප විසින් පසුගිය ලිපියක කරුණු දක්වන්නට යෙදී තිබේ. භූ විද්‍යාත්මකව කරුණු දැක්වීමේ දී මහද්වීප එක්ව පිහිටි කාලයක් ගැන සහ ඒ මහද්වීප එකිනෙකා හා වෙන්වීම ගැන ද කථා කරයි. සමහරුන්ට අනුව 🇱🇰 ද අතීතයේ දී ඉන්දියාවට ඈඳී තිබී ඇත. අදට ද 🇱🇰 අතීත මානවයා පැමිණි ආකාරය ගැන නිශ්චිතව ස්ථිර සාර අදහසක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බව අපගේ මතයයි. නමුත් 🇱🇰 බිමට ද කොහෙන් හෝ අතීත මානවයා කුමන හෝ ආකාරයෙන් සංක්‍රමණය වී තිබේ. අග්ගඤ්ඤ සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ මනුස්සයාගේ පහල වීම පිළිබඳව දේශනා කරන අතර එය පරිණාමවාදයට එරෙහිව යන මතයකි. කෙසේවෙතත් අද වන විට පිටසක්වලින් පෘථිවියට ජීවය පැමිණි බවට වන මතයක් ද තිබේ. පරිණාමවාදය ද ස්ථිර නිගමනයක් නොවේ. මේ සියල්ල මතයන් ය. බුදුරජාණන්වහන්සේ පහල වීමට පෙර මැවුම්වාදය මිනිසාගේ පහලවීම සම්බන්ධයෙන් පිළිගත් ඉගැන්වීම විය. අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ භාෂාව පාවිච්චි කරන්නේ එක්තරා ආකාරයකට ය. උදාහරණයක් පහතින් දක්වමි. “

වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.” 

 මෙහිදී බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙන්නේ පොළොවේ කොටසක් නොවෙයි, සම්පූර්ණ පොළොවමය. එකල්හි පොළොවට ජම්බුද්වීපය හෝ වෙනත් නමක් කියන්නේ නැත. මේ පොළොව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නා වූ පළමු රජු ලෙසින් "මහා සම්මත" රජු අග්ගඤ්ඤ සූත්‍රයේදී හඳුනා ගැනීමට ලැබේ. ඒ ඉතා ඈත අතීතයේ දී ය. පසු කාලයේ දී මේ සම්පූර්ණ පොළොව ජම්බුද්වීපය නමින් හඳුන්වා ඇති බවට සාක්ෂි ත්‍රිපිටකයේ ඇත. මාපුඤ්ඤභායී සූත්‍රයේදී මෙසේ දැක් වේ.

 "නොයෙක්වර ධාර්මික වූ ධර්මරාජ වූයෙම් සිවුසයුර හිම් කොට ඇති මිහිපල් වූයෙම් දිනූ සඞ්ග්‍රාම ඇතියෙම්, ජනපදයන්හි ස්ථාවරභාවයට පැමිණියෙම් සත්රුවනින් සමන්වාගත වූයෙම් සක්විතිරජවීමි. .... මම ජම්බුදීපේශ්වර වූයෙම් සක්විති රජ වීමි. මුර්ධාභිෂික්තව ක්ෂත්‍රිය මනුෂ්‍යයනට අධිපති වීමි...... ජම්බුද්වීපෙශ්වර වූයෙම් ඍද්ධිමත් ද යශස්වී ද වෙමි. කෘෂ්ණාභිජාතික වූ ද (පාපකර්‍ම විපාකයෙන් උපන්නා වූ ද) කවරෙක් නම් එය අසා නො පහදනේ ද?" 

 සේල ස්ථවීර ගාථා හිදී මෙසේ දැක් වේ. 

 "මහාරථික වූ සිව්සයුරු හිම් කොට ඇති පොළොවට අධිපති වූ කළ දික් විජය ඇති ජම්බුද්වීපයට ඊශ්වර වූ සක්විතිරජ වන්නට සුදුස්සෙහි යැ. .... " 

 ඔබවයිහ ස්ථවිරාවදානයේ මෙසේ දැක් වේ. 

 "මම අටවිසිවරක් මහත් බල ඇති සතරමහ දිවයින් හා සිවු මහ සයුරු කෙළවර කොට ඇති පෘථිවියෙහි අධිපති වූ සතුරු රජුන් ජය ගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සක්විතිරජ වීමි."  

බක්කුල ස්ථවිරාවදානයේ මෙසේ දැක් වේ. 

 "පස්පණස්වන කපෙහි සිවුමහදිවයින් හා සිවුසයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ (සතුරු රජවරුන්) ජයගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සත්රුවනින් යුත් මහත් බල ඇති අනොම නම් ක්‍ෂත්‍රියයෙක් වූයේ තව්තිසාව ද කළඹා ආධිපත්‍යය කරවන්නේ ය." 

 මෙත්තගු ස්ථවිරාවදානයේ මෙසේ දැක් වේ.

 "එක්පණස් වරක් සිවුමහදිවයින් හා සිවුසයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ (සතුරු රජුන්) ජයගන්නාසුලු වූ ජම්බුද්වීපයට ඊශ්වර වූ සක්විතිරජ වන්නෙහි ය." 

 මේ කීපයක් පමණි. මේ අනුව ජම්බුද්වීපය යන පාඨය යෙදීමේ දී එයට විශාල බිම් ප්‍රමාණයක් ආවරණය වන අතර එහි සමස්ථ පාලකයා සක්විති රජ ලෙසින් හඳුන්වන්නේ ය. මෙය, අග්ගඤ්ඤ සූත්‍රයේදී පොළොව සම්බන්ධයෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කරනා ඉගැන්වීම සමඟ ගැල පේ. එම පොළොව ක්‍රම ක්‍රමයෙන් වෙන් වී ගොස් අද දක්වා විකශනය වී ඇති බව පෙනී යයි.

 ඒ අනුව බලන විට අද ලෝකයේ ඇති මහද්වීප සියල්ලේ එකතුව ජම්බුද්වීපය වේ. එවැනි තත්ත්වයක් ජම්බුද්වීපය සම්බන්ධයෙන් පවතින විට 🇱🇰 ජම්බුද්වීපය බව පෙන්වීමට පුරාවිද්‍යා පර්යේෂණ කිරීමේ අවශ්‍යතාවක් නොපවතින බව බුදු දහම පවත්නා රටක් වන මෙරට ට අවශ්‍යතාවක් නොමැතිවීමේ අයුක්තියක් ද නැත.