Thursday, September 30, 2021

ඇවිලෙන ගින්නට පිදුරු [8] - වෛශාලී

 

වෛශාලී

බුදුරජාණන්වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී පාඨලීපුත්‍ර නුවර ගැන විස්තර කර තිබේ. එවකට අජාසත් රජුගේ සෙනෙවියන් දෙදෙනකු පාඨලීපුත්‍ර නුවර නිර්මාණය සඳහා යොදවා තිබිණි. ඒ සුනීධ සහ වස්සාකාරයි. පාඨලීපුත්‍රය, පසුව අජාසත් රජු විසින් මගධ රාජ්‍යයේ මුල් තැන බවට පත්කරන ලදි. මේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී ම බුදුරජාණන්වහන්සේ විසින් වජ්ජින් ගැන සඳහන් කරයි. වජ්ජීන් රාජ්‍ය කළේ විශාලා නුවර ය. අජාසත් රජු විසින් විශාලාව ද මගධ රාජ්‍යයට ඈඳා ගන්නා ලදි.

බුද්ධ කාලයේ දී විශාලා නුවර මෙන්ම පැළලුප් නුවර ද බොහෝ භික්ෂූන් වහන්සේලා වාසය කළ බව පෙනී යයි. අට්ඨකනාගර සූත්‍රයේදී මෙසේ දැක් වේ.

ඉක්බිති අට්ඨක නගර වැසි දශම ගෘහපති පැළලුප් නුවර වූ ද විසාලා නුවර වූ ද භික්‍ෂු සඞ්ඝයා රැස්කරවා ප්‍රණීත ඛාද්‍යභොජ්‍යයෙන් සියතින් සන්තර්පණ සම්ප්‍රවාරණ කැරැවී. යළි එකෙකි භික්‍ෂුවට එකෙකි වස්ත්‍ර යුග්මයක් දුන්නේ ය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධාතූන්වහන්සේලා වෙනුවෙන් විශාලාවේ ද චෛත්‍යයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳව මහා පරිනිර්වාණ සූත්‍රයේ දැක් වේ.

විනය පිටකයේ බොහෝ අවස්ථාවලදී විශාලාවේ පිහිටි ‘කූටාගාර‘ ශාලාව ගැන කියැ වේ. මේ අනුව කූටාගාර ශාලාව ද විශාලාවේ පිහිටා තිබී ඇත.

වජ්ජීන් පරාජය කිරීම සඳහා බුදරජාණන්වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට අජාසත් රජු උත්සුක වූ බව කියයි (වස්සාකාර සූත්‍රය). ඊට හේතුව වූයේ ඔවුන්ව පරාජය කිරීම ඉතා අපහසු කාර්යයක් වීම නිසාවෙනි. බුද්ධ කාලය වන විටත් වෛශාලිය මුල් කරගත් ප්‍රජාතාන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් පිහිටා තිබී ඇති අතර එවැනි පැරණිම ආණ්ඩුක්‍රමය එය ලෙසින් සැලකීමේ වරදක් ද නැත. 

මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩ වසන සේක. එ සමයෙහි මාගධරාජ වූ වේදේහී පුත්‍ර‍ වූ අජාතසත්තු තෙම වැදෑරජුන් මඩනට යනු කැමැතියේ වෙයි.

හේ මෙසේ කියයි: මම මෙසෙයින්, මහර්ධි ඇති මෙසෙයින් මහානුභාව ඇති මෙ ව්‍රජිරජුන් සිඳ ලන්නෙමි, ව්‍රජිරජුන් වනසන්නෙමි, ව්‍රජරාජයන් අනයව්‍යසනයට පමුණුවන්නෙමියි.

ඉක්බිති මාගධරාජ වූ වේදේහී පුත්‍ර‍ අජාතසත්තු රජ මගධ මහමාත්‍ර වූ වත්සකාර බ්‍රාහ්මණයා ඇමැතී ය: බ්‍රාහ්මණය, එව තෝ භාග්‍යවතුන් වහන්සේ කරා යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳුව. අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් සිරිරුබල පහසුවිහරණ පුළුවුස්ව.

වහන්ස, වේදේහී පුත්‍ර‍ අජාතසත්තු මාගධරාජ භාග්‍යවතුන් වහන්සේගේ පා වඳනේ ය. අල්පාබධ අල්පානඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ විචාරන්නේ ය. වහන්ස, වේදේහී පුත්‍ර‍ අජාතසත්තු මගධරජ වැදෑමහරජුන් මඩනට යනු කැමැත්තේ ය. හේ මෙසේ කියයි: මම මෙබඳු මහර්ධි ඇති මෙ බඳු මහානුභව ඇති මෙ වැදෑ රජුන් උසුන් කරන්නෙමි. මෙ වැදෑරජුන් වනසාලන්නෙමි. මෙ ව්‍ර‍ජීන් මම අනය ව්‍යසනයට පමුණුවන්නෙමියි. ඒ භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි පාළ කරණසේක් නම් එය මනාකොට උගෙණ මට සැළ කරව. තථාගතයෝ අසත්‍යයක් නො වදාරන්නාහයි.

වර්තමාන බිහාරයේ වෛශාලිය පිහිටා තිබේ. ඉන්දියාවේ දක්නට ලැබෙන වඩාත් හොඳින් ම ආරක්ෂා වී ඇති අශෝක ස්ථම්භය දක්නට ඇත්තේ මෙහි ය. ඒ අසල ආනන්ද ස්ථූපය ද තිබේ. අභිෂේක පොකුණ ද දක්නට ලැබේ. එපමණක් නොව ධාතූන්වහන්සේලා නිධන් කළ ස්ථූපයේ පාදම ද දක්නට ලැබේ. අද එය වහලකින් ආවරණය කර ඇත්තේ ආරක්ෂාව සඳහා ය. 

සමහරු සොළොස් මහජනපද ඔස්සේ යමින් විශාලා නුවර ඇත්තේ ලංකාවේ බව කියති. තමුන් කැමැති මතයක් දැරීමට තමුන්ට අයිතිය ඇති නිසා ඒ පිළිබඳව අපි වැඩිදුර කථා කිරීමේ අවශ්‍යතාවක් නැත.

කෙසේවෙතත් ලංකාවේ විශාලාව පෙන්වද්දී බුදුරජාණන්වහන්සේගේ සමකාලීනයකු වූ මහාවීර ශාස්තෘවරයා ගැනත් කථා කිරීමට සිදු වේ. මන්දයත් විශාලාව මහාවීරට ද නැත්නම් ජෛන දහමට සම්බන්ධ වන නිසාවෙනි. මහාවීරගේ උපත විශාලාවේ සිදුව තිබේ (https://timesofindia.indiatimes.com/travel/destinations/more-about-vaishali-the-worlds-first-republic/as67686085.cms).

විශාලා යන නම විශාලි රජු ගේ නමින් හැදී ඇති බවට විශ්වාස කරයි. බුදුදහම නැත්නම් ජෛන දහම පැතිරීයාමට පෙර සිට විශාලාව සමූහාණ්ඩුවක් ලෙසින් ක්‍රියාත්මක වී තිබේ. ග්‍රීසියේ සමූහාණ්ඩුව ඇරඹෙන්නේ මින් පසුව ය. ඒ විශාලාව මිථිලාවට සම්බන්ධ වේ.

මිථිලා නම විදේහ රාජ්‍යයත් සමඟ බැඳී පවතී. ඒ අනුව විශාලාවේ ඉතිහාසය වෛදික යුගයට දිවයයි. මයිකල් විට්සෙල්ගේ Tracing the Vedic dialects in Dialectes dans les litteratures Indo-Aryennes කෘතියට අනුව ඉන්දු ආර්යන් විසින් මිථිලාව ප්‍රසිද්ධ කර ඇත්තේ විදේහ රාජ්‍යය ඇති කිරීමටත් සමඟ ය. ක්‍රි.පූ.1100 – 500 අතර කාලයේ දී කුරු, පංචාල ආදී රාජ්‍යයන් සමඟ විදේහ රාජ්‍යය අතීත ඉන්දියාවේ ප්‍රභල රාජ්‍යයක් බවට පත් වෙයි. විදේහයේ රජුන් හඳුන්වා ඇත්තේ ‘ජනක‘ යන නාමයෙනි. ආර් හේමචන්ද්‍රගේ Political History of Ancient India කෘතියට අනුව විදේහ රාජ්‍යය වජ්ජි සමූහාණ්ඩුවට එකතු වන්නේ විශාලා අගනගරය බවට පත් කරමිනි. ඒ අනුව අතීත මිථිලාව විශාලාව හා බැඳේ.

ඉතින් ලාංකිකයන්ට කෙතරම් ආඩම්බරයක් ද? මිථිලාවත් ලංකාවේ වූ විට.

මිථිලාවේ රජුන් ජනක ලෙසින් හැඳින් වූ බව ඉහතින් සඳහන් කළෙමි. විදේහ රාජ්‍යය සිය ගමනේ සංධිෂ්ඨානයක් ලබා ගන්නේ ජනක රජුගේ කාලයේ ය. එය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 800 පමණ ලෙසින් සැල කේ. බ්‍රාහ්මණ ග්‍රන්ථ සහ බ්‍රිහදරන්‍යක උපනිෂද් ග්‍රන්ථ මේ ජනක රජු, දාර්ශනික රජකු ලෙසින් නම් කරයි.

දැන් මදකට රාවණ රජුටත් යොමු වෙමු. රාවණ රජු ගැන කථා කරද්දී රාමචන්ද්‍ර ගැන කථා නොකර බැරිය. ලංකාවේ රාවණ රජු ගැන කථා කරන්නෝත් රාමචන්ද්‍ර ගැන කථා කරති. සීතා චරිතය ලංකාවේ රාවණ රජු ගැන කථා කරන්නොත් ප්‍රතික්ෂේප කරන චරිතයක් නොවේ. රාමායණයට අනුව සීතා, විදේහයේ ජනක රජුගේ දුව වේ. රාමායණයට අනුව ඇය රාමචන්ද්‍ර සමඟ විවාහ වීම නිසා විදේහ රාජ්‍යයත් කෝසල රාජ්‍යයත් අතර රාජතාන්ත්‍රික සබඳතා ඇති වේ.

විෂ්ණු පුරාණයට අනුව විශාලාව මුල් කරගත් රාජ නාම ලැයිස්තුවක් ඇත. එහිදී රජවරු 34 දෙනකු ගැන සඳහන් වේ. පෙර කී විශාලි රජු සිටි බව කියන්නේ මහාභාරත යුගයේ ය. ඔහුගේ කාලයේ දී මෙහි බලකොටුවක් තිබූ බව කියයි. විශාලි රජු ගැන කථාව https://www.wisdomlib.org/hinduism/book/the-garuda-purana/d/doc59317.html හරහා ඔබට කියවිය හැක. විශාලාව ලංකාවේ ඇති බවට වන මතය දරන්නන්ට මෙය ඉතා සතුටු විය හැකි අවස්ථාවකි. කෙසේවෙතත් විශාලාව ඉන්දියාවේ බවට වන මතය ද ඇති නිසා ඊට අදාළ ගූගල් සිතියම ද මේ ලිපියට අමුණා ඇත්තේ ය. 

 

එසේම අද වන විට විශාලා රජුගේ මාළිගය ලෙසින් ඉන්දියාවේ සලකන ස්ථානයේ ඡායාරූප දෙකක් ද මේ සමඟ වේ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

හෙළ බුදුන් නැත්නම් බුදුරජාණන්වහන්සේ ලංකාවේ බවට වන මතය දරන්නෝ ද සිටිති. ඔවුන් සමඟ මගේ ගැටීමක් නැත. එය ඔවුන් විසින් සනාථ කර ඇත. බෞද්ධ සාහිත්‍ය තුළ ලිච්ඡවි රජුන් 7707 ගැන සඳහන් වේ. ලංකාවේ එවැනි රාජ පරම්පරාවක් සිටි බවට පිළිගත හැකි සාක්ෂි නැතත් හෙළ බුදු මතය දරන්නන්ට අනුව සිතිය හැක්කේ ලංකාවේ ප්‍රාදේශික රජ පරම්පරාවක් ලෙසිනි. ඉන්දියාව තුළදී ත් මේ සම්බන්ධයෙන් ප්‍රභල සාක්ෂි නැති අතර ඇත්තේ පෙර කී සාහිත්‍යමය සටහන් පමණි. නමුත් ඉහත තැනකදී සඳහන් කළ රජ ලැයිස්තුවක් ද ඇත. එවැන්නක් ලංකාවේ සොයා ගැනීමට මෙතෙක් නොහැකි විණි.

පෙර දී මහාවීර ගැන සඳහන් කළෙමි. මහාවීර ගැන කියද්දී ඔහුගේ පියා ලෙසින් හැඳින්වෙන්නේ සිද්ධාර්ත රජු ය. මව, ත්‍රිෂාලා වේ. මේ ත්‍රිෂාලා, විශාලාවේ රජු වූ චේතකගේ සහෝදරිය ලෙසින් දක්වා තිබේ. මොහුට වර්ධමාන නම් නම ලැබී ඇත්තේ මව්කුසයේ සිටින කාලයේ දී රාජ්‍යය සමෘද්ධිමත් වීම නිසාවෙන් බව කියයි. කෙසේවෙතත් ඔහුට අවුරුදු 30 දී ඔහුගේ දෙමාපියන් අහිමි වී ඇති අතර ඒ වන විට මහාවීර නමින් හඳුන්වා ද තිබේ. අවුරුදු 30 දී මහාවීර, රජ සැප අතහැර යයි. වර්ධමාන කුමාරයාගේ මුද්‍රාව මෙහි දැක් වේ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

බෞද්ධ සාහිත්‍යයේදී හමුවන තවත් ප්‍රසිද්ධ චරිතයක් වන්නේ අම්බපාලී යි. ඇය ද විශාලාවට සම්බන්ධ ය. 

අම්බපාලී ගණිකා තොමෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වැඩ විසල්පුරට නොදුරු වූ මාගේ අඹවෙනෙහි වසන සේකැ’ යි ඇසුවා ය. ඉක්බිති ඕ තොම සොඳුරු සොඳුරු යානයන් යොදවා, සොඳුරු යානයකට නැඟ, සොඳුරු සොඳුරු යානයන්ගෙන් උපලක්‍ෂිත වැ විසල්පුරෙන් නික්මුණා ය. සිය අරම කරා එළැඹියා ය. යානයට බිම යම් තාක් ද ඒ තාක් යානයෙන් ගොස් එයින් බැස පාගමන් ඇත්තී ම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නා ය. එක් පසෙක හුන් අම්බපාලිගණිකාවට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දොලෝවැඩ දක්‍වා වදාළ සේක. එය සිතට ගැන්වූ සේක. එහි සිත් තියුණු කළ සේක. එහි සිත සතුටු කරැවූ සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්‍වන ලද, එය සිතට ගන්නව ලද, එහි සිත තියුණු කරන ලද, එහි සතුටු කරන ලද අම්බපාලි ගණිකා තොමෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන සමඟ ව සෙට දිනට මගේ බත ඉවසන සේක් වා’ යි අයැද සිටියා ය. භාග්‍යව‍‍‍තුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති අම්බපාලි ගණිකා තොම භාග්‍යවතුන් වහන්සේ තම අයැදුම ඉවැසූ නියා දැන හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මියා ය. (මහාපරිනිර්වාණ සූත්‍රය)

ආපසු බුදුරජාණන්වහන්සේගේ කාලයට යොමුවුවහොත් පෙර දී ද දැක්වූ පරිදි අජාසත් රජු විසින් විශාලාවත් තමුන්ගේ මගධ රාජ්‍යයට ඈඳා ගනී. ඉන් පසු විශාලාව ගැන එතරම් කථා වන්නේ නැත. ඔහු විසින් පාටලීපුත්‍රයට මුල් තැන දෙයි. නමුත් නැවතත් විශාලාව ගැන බෞද්ධ සාහිත්‍යයේදී කාලාශෝක කාලයේදී කථා වෙයි. ඒ එය දෙවැනි ධර්ම සංගායනාව පැවැත්වූ ස්ථානය නිසාවෙනි.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය තුළ විශාලාව ඇති බව කියයි. එහි අද දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ පෙන්වන ඡායාරූප කීපයක් මේ සමඟ අමුණා තිබේ.

පසු ලිපියකදී ඉන්දියාවේ විශාලාවට අදාළ තවත් විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ඡායාරූපය අන්තර්ජාලයෙනි. අභිෂේක පුෂ්කර්ණී.

       
ඡායාරූප අන්තර්ජාලයෙනි. බුද්ධ ධාතු ස්ථූපයේ පාදම/වර්තමානයේ ආරක්ෂාවට සාදා ඇති ආවරණය ද සහිතව



 





ඡායාරූප අන්තර්ජාලයෙනි. ආනන්ද ස්වාමීන්වහන්සේගේ ධාතූන් තැන්පත් කල ස්ථූපය සහ අශෝක කුළුණ

ඡායාරූපය අන්තර්ජාලයෙනි. වෛශාලියේ අශෝක කුළුණ

ඡායාරූපය අන්තර්ජාලයෙනි. අශෝක කුළුණේ සටහන්

 

Labels: , , , ,

Thursday, September 23, 2021

ඇවිලෙන ගින්නට පිදුරු (7) - බුදුරජාණන්වහන්සේ සහ කිඹුල්වත් නුවර


  

ඇවිලෙන ගින්නට පිදුරු (7) 

බුදුරජාණන්වහන්සේ සහ කිඹුල්වත් නුවර

 

මහා පරිනිබ්බාන සූත්‍රය අවසානයේ මෙසේ දැක් වේ.

එවිට වෙදෙහි පුත්‍රවූ මගධ රටට අධිපති අජාසත් මහරජතෙම රජගහනුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජාසත්කාර කෙළේය. විසාලා මහනුවර වාසීවූ ලිච්ඡවි රජ දරුවෝද විසාලා නම් නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. කිඹුල්වත් නම් නුවර වාසීවූ ශාක්‍ය රජ දරුවෝද කිඹුල්වත් නම් පුරයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. අල්ලකප්ප නම් නුවර වාසීවූ බුලය නම් රජදරුවෝද, අල්ලකප්ප නම් නුවර භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජාසත්කාර කළාහුය. රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කොලිය රජහුද රාම නම් ගමෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. වෙඨදීප නම් නුවර වාසීවූ බ්‍රාහ්මණ තෙමේද, වෙඨදීපයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළේය. පාවා නම් නුවර වාසීවූ මල්ල රජ දරුවෝද පාවා නම් පුරයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. කුසිනාරා වැසි මල්ල රජ දරුවෝද කුසිනාරා නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයන් කරවා පූජා සත්කාර කළාහුය. ද්‍රොණ නම් බ්‍රාහ්මණතෙමේද ධාතු මැන බෙදන ලද නැළිය තබා චෛත්‍යයක් කරවා පූජා සත්කාර කෙළේය. පිප්ඵලිවනිය නම් මොරිය රජහුද පිප්ඵලි වන නම් පුරයෙහි අංගාර ථූප නම්වූ දාගැබක් කරවා පූජා සත්කාර කළාහුය. මෙසේ ශාරීරික චෛත්‍යයෝ අටක් වූවෝය. කුම්භථුප චෛත්‍යය නව වැනි වූයේය. අංගාර චෛත්‍යය දසවැනි වූයේය.

මෙහි බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධාතූන්වහන්සේලා සඳහා චෛත්‍යයන් කරවූ ස්ථානයන් පිළිබඳව සඳහන් කර තිබේ. එක්තරා මතයක් දරන්නා වූ පිරිසක් මේ ස්ථාන ශ්‍රී ලංකාවේ පිහිටා ඇති බව කියයි. තවත් පිරිසක් ඒවා ඉන්දියාවේ ඇති බව කියයි. මේ කථාව නම් ඒ ගැන නොවේ. මේ කථාව 1898 දී ඉංග්‍රීසි ජාතික වතු හිමිකරුවකු විසින් සිදු කරනු ලැබූ සොයා ගැනීමක් සම්බන්ධයෙනි.

ඉන්දු නේපාල සීමාවේ පිප්රාවා නම් ගම මේ ඉංග්‍රීසි ජාතිකයා විසින් පාලනය කළ වත්තක් විය. ඔහුගේ සේවකයන් ද සමඟ ඔහු මේ වත්තේ එක්තරා ස්ථානයක කැණීමක් සිදුකරන ලදි. එම කැණීමේ දී පෙපේ නම් වූ ඔහුට අස්ථි කැබලි කීපයක් සහ ස්වර්ණාභරණ දමා තිබූ බඳුන් කීපයක් හමු විනි. දුටු පමණින් මෙය කුමක්දැයි ඔවුන්ට අදහසක් නොවුන ද බඳුනක තිබූ සටහනක් නිසා ඔවුන්ගේ පුදුමය වැඩි විය. මේ සටහනේ අරුත මුල් අවස්ථාවේ දී සොයා ගැනීමට නොහැකි වුවත් පසුව තහවුරු වූයේ බුදුරජාණන්වහන්සේගේ ධාතූන්වහන්සේලා ඒ බඳුනෙහි ඇති බවයි. එයින් ම 1898 දී සිදු කළ මේ සොයාගැනීම වැදගත් ම සොයාගැනීමක් බවට පත් විය.

ඉහතින් දක්වන්නට යෙදුන මහා පරිනිබ්බාන සූත්‍රයේ දී කිඹුල්වත් නුවර ශාක්‍ය වංශිකයන් විසින් චෛත්‍යයක් තනා බුද්ධ ධාතූන්වහන්සේලාට වන්දනා කළ බවට දැක් වේ. එම චෛත්‍ය නිර්මාණය වීම මේ අනුව ක්‍රි.පූ. 5 වන සියවසේ පමණ විය යුතු ය. සිදුහත් බෝසතුන් ශාක්‍ය වංශිකයෙකි. ලුම්බිණියේ දී බෝසතුන් ඉපදුනත් අවුරුදු 29 ක කාලයක් උන්වහන්සේ ගත කලේ කිඹුල්වත් නුවර ය. ශුද්ධෝදන නැත්නම් සිදුහත් බෝසතුන්ගේ පියා ශාක්‍ය වංශිකයන්ගේ නායකයා විය. එම වංශිකයන්ට ය බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ධාතූන්වහන්සේලා කොටසක් ලැබුනේ. එය ශාක්‍ය වංශිකයන්ට එක් අතකට උරුමයෙන් ලැබූවක් ලෙසින් ද සැලකිය හැකි වේ. ඔවුහු එම ධාතූන්වහන්සේලා චෛත්‍යයක තැන්පත් කිරීමට කටයුතු කරනු ලැබූ හ.

කාලයත් සමඟ ඊයේ දිනය යටපත් වේ. එය සාමාන්‍ය ලෝක ස්වභාවයයි. කාලයේ බලපෑම කෙසේද යත්, ගංගා මාර්ග පවා වෙනස් වේ. දේශ සීමා වෙනස් වේ. මහා වනාන්තර කාන්තාර බවට පරිවර්තනය වේ. බොහෝ දේ කාලයාගේ ඇවෑමෙන් මිනිස් මතකයෙන් ද මැකී යයි.

ඉන්දියාවේ දී බුදුදහමට සිදුවූයේ ද එයයි. 12 වන සියවස අවසන් වන විට දී පමණ ඉන්දියාවේ බුදුදහම භාවිතා වීම අවම තත්ත්වයට පත් විනි. නමුත් ක්‍රි.ව 6 වන සියවස පමණ වන විටදී බුදු දහම ඉන්දියාවේ රාජ්‍ය දහමක් ලෙසින් ද තිබිණි. බලන්න කාලය මැව් වෙනසක අරුම ය. බුදුදහම පරිහානියට පත්වීමත් සමඟ බෞද්ධ සිද්ධස්ථාන ද පරිහානියට පත්වන්නට විය. ඒ සඳහා සතුරු ආක්‍රමණ මෙන්ම අන්‍යාගාමික බලපෑමද හේතු විනි.

කෙසේවෙතත් ඉංග්‍රීසීන් විසින් ඉන්දියාව යටත් කර ගැනීමත් සමඟ 19 වන සියවසේදී මේ තත්ත්වය ද වෙනස් වන්නට විය. ඒ සඳහා අවුරුදු 800 ක් පමණ බලා සිටීමට සිදු ව තිබිණි. ඉංග්‍රීසි ජාතිකයෝ ඒ වන විට පරිහානියට පත් ව තිබූ බෞද්ධ සිද්ධස්ථානවලට පණ දීම සඳහා උත්සාහ දරන්නට විය. සමහරුන් මෙය හැඳුන්වන්නේ පුරාවස්තු මංකොල්ලයක් ලෙසිනි. ඕනෑම දෙයක් නොයෙක් ආකාරයෙන් දැකීමේ හැකියාව මනුෂ්‍යයාට ඇත.

මා ඉහතින් සඳහන් කළ විලියම් පෙපේ යනු පුරාවිද්‍යාඥයකු නොවේ. 1898 දී ඔහු වර්තමාන උත්තර් ප්‍රදේශයේ සිද්ධාර්ත් නගර් (එදා බිර්ද්පූර්) හි පිප්රාවා හි ඔහුට අයත් වත්තේ කැණීමක් සඳහා තම සේවකයන් යොමු කළේ ය. ඒ කැණීමට ලක් වූ ස්ථානය ගල් මත ගොඩ නැගී තිබූ කන්දකි. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි - කැණීමට පෙර ස්ථූපය

 

අඩි 18 ක් පමණ ගැඹුරට කණින විට ඔවුන්ට හමු වූයේ කුඩා බඳුන් පහක් තැන්පත් කර තිබූ විශාල ප්‍රමාණයේ ගල් වලින් තැනූ පෙට්ටියකි. ඒ බඳුන් තුළ අස්ථි කැබලි, අළු, රත්‍රං මෙන්ම සිය ගණනක් වූ ස්වර්ණාභරණ විය. 

ඡායරූපය අන්තර්ජාලයෙනි - පෙට්ටිය

 
ඡායාරූපය අන්තර්ජාලයෙනි - ගල් පෙට්ටිය

ඉන් එක් බඳුනක පහත සඳහන් සටහන ලියා තිබිණි.

‘සුඛිතිභතිනම් සභාගිනිකනම් සපුතදලානම් යම් සලිලනිධානෙ බුධස භගවතෙ සකියානම්‘

සරලව ගත්විට මෙහි අර්ථය වන්නේ ‘බුදුරජාණන්වහන්සේගේ ශාක්‍ය වංශිකයන්ට ලැබුණු ධාතූන් වහන්සේලා‘ යන්නයි. 

ඡායාරූප අන්තර්ජාලයෙනි - ධාතු මංජුසා

 
ඡායාරූප අන්තර්ජාලයෙනි - බෙදා හැරීමට පෙර ධාතූන්වහන්සේලා

ඡායාරූප අන්තර්ජාලයෙනි - බෙදාහැරීමට පෙර ධාතූන්වහන්සේලා සහ අයිතම 


ඡායාරූප අන්තර්ජාලයෙනි - හමු ව ඇති තවත් අයිතම

 
ඡායාරූපය අන්තර්ජාලයෙනි - මෙය පෙපේ විසින් සියම් රජු වෙත පරිත්‍යාග කරන ලදි.

කෙසේවෙතත් මේ සටහන ටික කලකදී ප්‍රශ්නගත විනි. ඒ එහි නිර්ව්‍යාජත්වය කීප දෙනකු විසින් ම ප්‍රශ්න කිරීම හේතුවෙනි. අදාළ සටහන, ඉදිරිපත් වූ මතයට අනුව අවම වශයෙන් බුද්ධ පරිනිර්වානයට අවුරුදු 100 ක් හෝ 150 ක් පමණ පසුව කරනු ලැබූ සටහනක් විය. එවිට මේ හමු වූ අයිතම බුදුරජාණන්වහන්සේගේ ම ද යන ප්‍රශ්නය ඇති විනි. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි

 

මේ ප්‍රශ්නයට පිළිතුරු සැඟ වී තිබුනේ ක්‍රි.පූ.3 වන සියවසේ දී අශෝක රජු විසින් කරවනු ලැබූ සාංචි ස්ථූපයේ ය. එහි අශෝක රජු විසින් බුදුරජාණන්වහන්සේගේ ධාතූන්වහන්සේලා මුල් අවස්ථාවේදී තැන්පත් කර තිබූ ස්ථානවලින් රැගෙන ඉන්දියාව පුරා බෙදා හැරීම පිළිබඳව වන රූප නිර්මාණය කර තිබේ. එයින් පෙපේ සොයාගත් ධාතූන්වහන්සේලා ශාක්‍ය වංශිකයන් විසින් ම තැන්පත් කරනු ලැබූ ඒවා නොව එසේ තැන්පත් කරනු ලැබූ ධාතූන්වහන්සේලා නැවත අශෝක රජු විසින් තැන්පත් කරනු ලැබූ බවට වන මතය ඉදිරිපත් විනි.

මේ ඔස්සේ ගමන් කරන විට තවත් ප්‍රශ්නයක් මතු වෙයි. පිපරාවා ස්ථූපය සොයා ගත් ස්ථානය බෝධිසත්වයන්වහන්සේ වාසය කළ කිඹුල්වත් නුවර ද යන්න ඒ ප්‍රශ්නය යි.

උක්ත ප්‍රශ්නයට ඉදිරිපත් වූ විශේෂඥ මත කීපයකි. ඒවා තනි මතයක් නොවිනි. එක් පිරිසක් ෆා හියන් සහ හ්‍යුත් සාන් වාර්තා ද ආශ්‍රිත කර ගනිමින් කියන්නට වූයේ නේපාලයේ තිලාර්කොට් ලුම්බිණිය වන බවයි. ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කරනු ලැබූ කැණීම් වලින් සොයාගත් පුරාවස්තු අනුව තිලාර්කොට් ද අතීතයේ වැදගත් ස්ථානයක් බවට සනාථ කරන ලදි.

මේ විවාදය අවසන් වූයේ 1971 දී ය. ඉන්දියානු පුරාවිද්‍යා ආයතනයේ කේ.එම්. ශ්‍රීවස්ථව් විසින් පිප්රාවාහි කැණීම් නැවතත් සිදු කරන ලදි. ඔහු පෙපේ සිදු කලාට වඩා වැඩි ගැඹුරට කැණීම් සිදු කල අතර එහිදී තවත් අයිතම හමු විය.

මෙසේ හමු වූ එක් බඳුනක අස්ථි කැබලි 12 ක් වූ අතර එකක අස්ථි කැබලි 10 ක් තිබිණි. එම අයිතම කිසිඳු ගැටළුවකින් තොරව ක්‍රි.පූ. 5 වන සියවසේ බවට කාල නිර්ණය කිරීමට හැකි විය. හමු වුණු ටෙරාකොටා මුද්‍රාවල ‘ඕම් දේවපුත්‍ර විහාරෙ කපිලවස්තු සංඝ‘ සහ ‘මහා කපිලවස්තු භිඛු සංඝ‘ යන සඳහන් තිබිණි. ඒ අනුව මේ කපිලවස්තුව බවත්, එය ඉන්දියාවේ බවත් නිශ්චිතව සනාථ ව තිබේ.

අද පෙපේ විසින් සොයාගත් බඳුන කල්කටාවේ ඉන්දියානු කෞතුකාගාරයේ ද, ශ්‍රීවාස්ථව් විසින් සොයා ගත් ධාතූන්වහන්සේලා නව දිල්ලියේ ජාතික කෞතුකාගාරයේ ද ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබේ. පෙපේ විසින් සොයා ගත් ධාතූන්වහන්සේලාගෙන් කොටසක් ලංකාවේ ද තැන්පත් කර ඇත්තේ වස්කඩුවේ ශ්‍රී සුභූති ස්වාමීන්වහන්සේ සහ සියම් ජාතික ජිනවරාවංශ හිමි හේතුවෙනි. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි - ජිනවරාවංශ හිමි

 

ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

 

ශ්‍රී ලංකාවේ දී බුදුන් වහන්සේ ලංකාවේ යැයි කියන අය සිටින්නා සේම තවත් රටවල ඒ ඒ රටවල බුදුන් වහන්සේ උපන්නායැයි කියන්නෝ සිටී. නමුත් ඔවුන්ට බුදුරජාණන්වහන්සේ හා සෘජුව සම්බන්ධ කළ හැකි පිළිගත හැකි කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට නොහැක. එවැනි තත්ත්වයකදී පිප්රාවෙන් හමු වූ ධාතූන්වහන්සේලා බුදුරජාණන්වහන්සේගේ ගිහි වංශය පිළිබඳව සහ එය පැතිර තිබූ ප්‍රදේශය පිළිබඳව නිශ්චිත සාධක ඉදිරිපත් කර තිබේ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි - අද ඔබට හමුවන ස්ථූපය


Labels: , , , , , ,