Monday, June 20, 2022

බ්‍රහ්මචාරී සහ අබ්‍රහ්මචාරී

බ්‍රහ්මචාරී සහ අබ්‍රහ්මචාරී

පහුගිය කාලේ දෙමාපියො බොරු කිව්වම ගෑණු දැරිවියො උපදිනවා කියලා බණ දෙසලා, පස්සෙ වැඩේ ජෝන් බාස්ට ගියාම ඒකෙ ඉතුරු ටිකේ පිරිමි ළමයිත් ඒ විදියට උපදිනවා කියලා කිව්ව මහණක් මතක ඇති. මේ මහණුන්ගේ බණ වල සෑහෙන්න බ්‍රහ්මචර්යාව ගැන නැත්නම් අබ්‍රහ්මචර්යාව ගැන දේශනා කරනවා. ඒ මහණ විතරක් නෙමෙයි, තවත් බොහෝ අය නොසෑහෙන්න මේ වචන අරන් බණ කියනවා ඇහෙනවා. ඒවා අහන් ඉන්න උපාසකැයි උපාසිකායි කියන ඇත්තොත් එහෙයි හාන්දුරුවනේ කියන් අහන් ඉන්නවා. අනුමත කරනවා. සමහරක් වෙලාවට ඒ කියන විදියට ජීවත් වෙන්නත් යනවා. ඒකෙ වරදක් නෑ. තම තමුන්ගේ කැමැත්තනේ. ඒ මොනවා වුනත් මේ ගැන ටිකක් කථා කළොත් හොඳයි කියලත් හිතුනා. ඒකයි මේ ලිපිය ලියන්නේ.

බ්‍රහ්මචරිය නැත්නම් බඹසර කියලත් කියන වචනය ත්‍රිපිටකය ඇතුලෙ හුඟක් පාවිච්චි වෙන වචනයක්. මේ වචනයත් එක්කම අබ්‍රහ්මචරිය කියන වචනයත් පාවිච්චි වෙනවා. බ්‍රහ්මචරියෙ විරුද්ධාර්තය තමයි අබ්‍රහ්මචරිය. වචනය දැක්ක නැත්නම් ඇහෙන කොටම ඔයාට තේරෙනවා ඇති මේ වචනය ඇතුලෙ බ්‍රහ්මයා නැත්නම් බ්‍රාහ්මණ කියන චරිතය තියෙනවා කියන එක. බ්‍රහ්මයාගේ චර්යාව නැත්නම් බ්‍රහ්මයා හැසිරෙන විදිය කියන අර්ථයත් ඒ අනුව වචනයට ලැබෙනවා. ඕකෙ අනිත් පැත්ත තමයි අබ්‍රහ්මචරිය කියන්නේ. මේක හරිම ලේසියෙන් තේරුම් ගතෑකි බ්‍රහ්මවිහාර ධර්ම කියන පාඨය සැලකිල්ලට ගත්තම. මොනාද බ්‍රහ්මවිහාර ධර්ම කියන්නෙ? මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා කියන ගුණාංග හතර. මේ ගුණ තියෙන්නෙ බ්‍රහ්මයාගේ නිසා ඒ ගුණ වලට බ්‍රහ්මවිහාර ධර්ම කියලත් කියනවා. ඕකම තමයි බ්‍රහ්මචරිය කියන එකටත් යෙදෙන්නේ.

බුදුරජාණන්වහන්සේ පහලවෙද්දිත් බ්‍රහ්මචර්යාව කියන එක ඉන්දියාවේ තිබුනා. නැත්නම් ඉතින් දේශනා කරන්න දෙයක් නෑ නේ. දේශනා කළාට මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ නේ.

දැන් අපේ රටේ කථා කරනවා කුමරි බඹසර, කුමර බඹසර කියලා. ඕක කථා කරන්නේ ලිංගික චර්යාවන් එක්ක. අර මන් කලින් කිව්ව මහණුන් හරි හරියට මේ වචන යොදා ගන්නවා. එක්කො උන්නැහෙලා බුද්ධ කාලෙ ඉන්දියාවේ සමාජය ගැන දන්නෙ නෑ. නැත්නම් උන්නැහෙලා වෙන මොකක් හරි දෙයක් ඔළුවෙ තියන් තමයි කථා කරන්නෙ.

විනය පිටකයට යොමු වුනාම ඔයාට දකින්න ලැබේවි ‘ස්වයං වින්දනය‘ ගැන කියැවුන අවස්ථා කීපයක් ම. ශුක්‍රාණු කියන වචනයට විනයෙදි පාවිච්චි කෙරෙන්නෙ ‘සුකුරු‘ කියන වචනය. බුදුරජාණන්වහන්සේ පැහැදිලිව දක්වනවා උපක්‍රමයක් නොකර සුකුරු පිටකිරීම භික්ෂුවට වරදක් නොවේ කියලා. නමුත් උපක්‍රමයකින් සුකුරු පිටකිරීම විවිධ අවස්ථාවලදී විනයෙ භික්ෂුවකට වරදක් වෙන හැටි දක්වලා තියෙනවා. දැන් ඔය අපේ මහණුන් ගිහියන්ගේ කුමර සහ කුමරි බඹසර ගැන කථා කරද්දි ස්වයං වින්දනයත් ඒකට දාලා තමයි කථා කරන්නෙ. හැබැයි සූත්‍ර පිටකයෙදි ගිහියන් ගැන කථා කරද්දී බුදුරජාණන්වහන්සේ සුකුරු ගැන කථා කරන්නෙ නෑ.

අශෝක අධිරාජ්‍යයගේ කාලය වෙනකම් ‘අභිධර්ම‘ පිටකය කියලා එකක් තිබ්බෙ නෑ නේ. තිබුනෙ සූත්‍ර සහ විනය පිටකය. තෙවැනි ධර්ම සංගායනාවේ ඉඳන් තමයි අභිධර්ම පිටකය කියලා අභිධර්මයට අදාළ දේශනා වෙනම ම සංගායනා වෙන්නේ. එතකොට ධර්ම විනය ගත්තම සියල්ලම නැතත් සූත්‍ර බහුතරයක් ක්‍රි.පූ.5 – 4 සියවස්වලට අයිති ඒවා. ඒ කාලේ ඉන්දියානු සමාජයට ගැලපෙන්න දේශනා කරපු සූත්‍ර. ජීවත්වුන මිනිස්සුන්ට දේශනා කරපුවනෙ ඉතින්. ඒ සූත්‍ර අනුව ගිහි චර්යාවයි පැවිදි චර්යාවයි බුදුරජාණන්වහන්සේ පැහැදිලිව වෙන් කරලා දක්වලා තියෙනවා. බ්‍රාහ්මණයන්ට කලේ එයාලට ගැලපෙන දේශනා. ගෘහපතියන්ට කලේ එයාලට ගැලපෙන දේශනා. ක්ෂත්‍රියන්ට කලේ එයාලට ගැලපෙන දේශනා. එහෙම නැතිව හැමෝටම එක විදියට ම බණ කියන්න ගියෙ නැහැ. හැබැයි පැවිදි චර්යාව ගැන කියද්දි හැමෝටම එකයි. මොකද මොන වංශෙන්, මොන කුලෙන් ඇවිත් පැවිදි උනත් පැවිදි උනාට පස්සෙ එකම කුලයක නිසා. ඒ පැවිදි චර්යාවට අදාළයි ‘විනය‘. විනයට අනුව තමයි කලින් කිව්ව සුකුරු පිටකිරීම ගැන සඳහන්වෙන්නෙ. දැන් ඕක කොහොමද ගිහියන්ට ගලපවන්නෙ?

හැබැයි අර කලින් කිව්ව මහණ වගේ අය කරන්නෙ අන්න ඒක. ඕක හරි භයානක දෙයක්. ඒ බණ අහන පෘථග්ජන මිනිස්සු තමුන්ගේ සැබෑ ජීවිතයට ඔය දේවල් එකතු කර ගෙන ජීවත් වෙන්න යද්දි පවුල් ප්‍රශ්න ඕනෑ තරම් ඇති වෙනවා. පවුල් ප්‍රශ්න කියන්නේ අන්තිමට සමාජීය ප්‍රශ්න. බුදුරජාණන්වහන්සේට එහෙම කරන්න ඕනා උනානම් ඒ කාලෙම ගිහි විනයට පැවිදි විනයෙ තියෙන දේවල් ඇතුළත් කරනවානේ. එහෙම කරලා නෑ. එතකොට බැලුවම මේ කියන බණැයි කියන ඒවා බුද්ධ ධර්මයට නම් ගැලපෙන්නෙ නෑ වගේ. ටිකක් හිතලා බලන්න.

ඒ ටික එහෙම තිබුනාවෙකො. අපි කථා කලානෙ කුමරි බඹසර, කුමර බඹසර ගැන. ඕක කෙලින්ම සිංහල ව්‍යවහාරයෙදි සම්බන්ධවෙන්නෙ කන්‍යාභාවයට. නැත්නම් නොඉඳුල් බවට. බුදු දහමට අනුව කන්‍යාවක් නොවන්නෙකුට නැත්නම් ඉඳුල් වෙච්චි කෙනෙක්ට මාර්ග ඵල ලබන්න බැරිද? ටිකක් හිතන්න ඕනා දෙයක්නෙ. දැන් බලන්න විශාඛාව, සුජාතා සිටු දියණිය වගේ අය අවුරුදු 7 දි සෝවාන් වෙච්චි අය. කසාද බැඳලා දරුවොත් ලැබිලා. එතකොට උත්තරා අවුරුදු 7 දී සෝවාන් වෙලා, දානෙ ලෑස්ති කරන්න කාලෙ හදා ගන්න තමුන්ගේ සැමියට සිරිමා ගණිකාව ගෙනත් දෙනවා ඒ කාලෙදි බිරිඳක් විදියට කටයුතු කරන්න කියලා. උග්ග සිටුතුමාට බිරින්දෑවරු හතරක් ද පහක් ද ඉද්දි තමයි මාර්ග ඵල ලැබෙන්නෙ. මේ වගේ තව නිදසුන් හුඟක් තියෙනවා. එහෙම තියෙද්දි කුමරි බඹසර, කුමර බඹසර ගැන අමුතු මතවාද දේශනා කරනවානේ. 

සත්තමෙථුන සූත්‍රය බලන්න. මේ සූත්‍රයෙදි ජානුස්සෝණි බ්‍රාහ්මණයා බුදුරජාණන්වහන්සේගෙන් අහනවා බ්‍රහ්මචර්යාවේ තියෙන දොස් මොනවාද කියලා. එතකොට බුදුරජාණන්වහන්සේ එහෙම දොස් 7 ක් දේශනා කරනවා. ඒ ටික පහතින් උපුටා දක්වන්නම් අධ්‍යයනයට.

(1) බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ ‘මනාකොට බ්‍ර‍හ්මචාරීයෙමි’යි පිළිණ කරන්නේ මාගමක් හා සමග ද්වයංද්වයසමාපත්තියට නො ම පැමිණෙන්නේ ය. වැලිදු මාගමක විසින් ඇඟඉළුම් පිරිමැඩුම් නැහැවීම් සම්බාහන ඉවසන්නේ ය. හේ එය ආස්වාද කරන්නේ ය. එය කැමැති වන්නේ ය. එයින් සතුටට පත් වන්නේ ය.

බ්‍රාහ්මණය, මෙ ද බ්‍ර‍හ්මචර්‍ය්‍යයාගේ ඛණ්ඩ ඡින්ද්‍ර ශබල කල්මාෂ වෙයි. බ්‍රාහ්මණය, මෙ තෙම මෛථුනසංයොගයෙන් සංයුක්ත වූයේ අපිරිසිදු බඹසර පුරන්නේ යයි ද ජාතියෙන් ජරාමරණයෙන් ශොකයෙන් පරිදෙවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ ය යි ද සසරදුකින් නො මිදේ යයි ද කියනු ලැබේ.

(2) තව ද බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් මහණෙක් වේවයි බමුණෙක් වේවයි ‘මනාකොට බ්‍ර‍හ්මචාරීමි’යි ප්‍ර‍තිඥා කරන්නේ මාගමක හා සමග ද්වයංද්වයසමාපත්තියට නො ම සමවදනේ ය. මාගමක විසින් සිරිරු ඉලීම් පිරිමැඩුම් නැහැවීම් සම්බාහන නො ද ඉවසන්නේ ය. වැලිදු මාගමක හා සමග සිනා කථායෙන් සෙයි, ක්‍රීඩා කෙරෙයි. මහසිනා කෙරෙයි ...

(3) මාගමක හා සමග නො ද සිනාබසින් සෙයි, ක්‍රීඩා නො කෙරෙයි, මහ හසිතයෙන් නො සෙයි. වැලිදු සියැසින් මාගම්හුගේ ඇස පිළිවිද දක්නේ ය, බලන්නේ ය ...

(4) මාගම්හුගේ ඇස තම ඇසින් නො ද පිළිවිද දක්නේ ය. නො බලන්නේ ය. වැලිත් බිතින් පිටත්හි වේවයි පවුරින් පිටත්හි වේවයි සෙන්නා වූ හෝ බණන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ මාගමගේ ශබ්දය අසයි ...

(5) බිතින් මුවායෙහි වේවයි පවුරින් මුවායෙහි වේවයි සෙන්නා වු හෝ බණන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ මාගමගේ ශබ්දය නො ද අසයි. වැලිත් මාගමක හා සමඟ ඔහු විසින් පෙර කළ යම් හසිත ලපිත කීළිතයෝ වෙත් නම් එ හැම අනුස්මරණ කෙරෙයි ...

(6) ඔහු විසින් පෙර මාගමක හා සමඟ කළ යම් හසිත - ලපිත - කීළිතයෝ වෙත් නම් ඔවුන් නො ද අනුස්මරණය කෙරෙයි. වැලිත් පස්කම් ගුණෙන් සමර්පිත වූ සමන්වාගත වූ පරිචරණය කරණු ලබන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ දක්නේ ය ...

(7) පස්කම් ගුණෙන් සමර්පිත වූ සමන්වාගත වූ පරිචරණය කරණු ලබන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ නො දක්නේ ය. නො ලබන්නේ ය. වැලිත් “මම් මෙ ශීලයෙන් හෝ ව්‍ර‍තයෙන් හෝ තවුස්දමින් හෝ බඹසරින් ප්‍ර‍කට දෙවියෙකිම් හෝ අප්‍ර‍කට දෙවියෙකිම් හෝ වෙමි”යි අන්‍යතර දෙවනිකායක් පතා බ්‍ර‍හ්මචර්‍ය්‍ය පුරයි. හෙ එය ආස්වාද විසින් විඳියි. එය පතයි. එයින් ම සෑහීමට පැමිණෙයි.ඉන් පස්සේ මොකක් ද බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ?

බ්‍රාහ්මණය, මෙතෙම අපරිශුද්ධ බ්‍ර‍හ්මචර්‍ය්‍යය පුරන්නේ යයි ද මෛථුනසංයොගයෙන් සංයුක්ත යයි ද ජාතියෙන් ජරාමරණයෙන් ශොකයෙන් පරිදෙවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ යයි කියනු ලැබේ. වර්ත්තදුක්ඛයෙන් නො මිදේ යයි කියමි.

බලන්න. මෙතැන දි මෛථුනය වගේම බ්‍රහ්මචර්යාව කියන පාඨ දෙකම යොදා ගෙන තියෙනවා. මෛථුනය කියන වචනය සූත්‍ර පිටකයේදී අර්ථ ගැන්වෙන්නේ නෑ. හැබැයි විනය පිටකයට ගිහින් ප්‍රථම පාරාජිකයේ සුදින්න බණවර බැලුවොත් පෙනෙයි මෙන්න මෙහෙම කොටසක් තියෙනවා.

“හිස් පුරුෂය, ඒ මෙබඳු වූ සාවද්‍යකර්‍මයෙහි තෝ නීචජනයන්ගේ ස්වභාවයක් වූ, ගම්වැස්සන්ගේ ස්වභාවයක් වූ, ලාමකපුරුෂයන්ගේ ස්වභාවයක් වූ, රාගාදි කෙලෙසුන්ගෙන් දූෂිත වූ, දියකිස අවසන් කොට ඇති, රහසේ කට යුතු වූ, දෙදෙනෙකුන් දෙදෙනෙකුන් විසින් සමවැද්දැ යුතු වූ මෛථුන ධර්‍මයට සමවන්නෙහි ය.

එතකොට පේනවා මෛථනුය කියන එකට දෙන්නෙක් අවශ්‍ය බව. මේක තමයි බුදුරජාණන්වහන්සේ පැවිදි විනයේ දේශනා කළ මෛථුනය.

හරි දැන් අපි බ්‍රහ්මචරියාව ගැන සූත්‍ර පිටකයේ තියෙන දේශනාවක් බලමු. සංයුක්ත නිකායේ බ්‍රහ්මචරිය සූත්‍රය කියලම සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ දැක්වෙන්නෙ මෙහෙමයි.

මහණෙනි, තොපට බඹසරත් බඹසරෙහි ඵලත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, බඹසර කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි එ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ බඹසරැ යි කියනු ලැබේ. මහණෙනි, බඹසරඵල කවරෙ යත් සෝවත්ඵල සෙදගැමිඵල අනගැමිඵල රහත්ඵල යි. මහණෙනි, මොහු බඹසරඵලැ යි කියනු ලැබේ යි.

මෙතැනම තියෙනවා දෙවන බ්‍රහ්මචරිය සූත්‍රයත්. ඒකෙ දැක්වෙන්නෙ මෙහෙම.

මහණෙනි, තොපට බඹසරත් බඹසරෙහි අර්ථත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි බඹසර කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි මේ බඹසරැ යි කියනු ලැබේ. මහණෙනි, බඹසරෙහි අර්ත්‍ථ කවරෙ යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මේ බඹසරෙහි අර්ත්‍ථ යි කියනු ලැබේ යි.

ඉතින් බලන්නකො. දැන් අපි බඹසරගැන අහන්නෙ කියවන්නෙ මේ අර්ථයෙන් ද? ටිකක් හිතලා බලන්න. ඔය කලින් කිව්ව සූත්‍ර දේශනා ඇවිල්ලා බුදුරජාණන්වහන්සේගේ සූත්‍ර දේශනා. බලන්න ආනන්ද හාමුදුරුවො කුක්කුටාරාම සූත්‍රයේදී මේ ගැන කරන දේශනාව.

එක්සමයෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝත් ආයුෂ්මත් භද්ධ තෙරණුවෝත් පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් භද්ද තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටුවියයුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩ හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කීහ. “ඇවත් ආනන්දයෙනි, “අබ්‍රහ්මචරිය ය අබ්‍රහ්මචරිය යි කියනු ලැබේ. ඇවැත්නි අබ්‍රහ්මචරියය කවරේදැ?” යි.

ඇවත් භද්දයෙනි, මැනවි මැනවි. ඇවත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති. වැටහීම යහපති. පිළිවිසීම යහපති. ඇවත් භද්දයෙනි තෙපි “ඇවත් ආනන්දයෙනි, අබ්‍රහ්මචරිය ය අබ්‍රහ්මචරිය යි කියනු ලැබේ. ඇවැත්නි, අබ්‍රහ්මචරිය ය කවරේදැ? යි මෙසේ පුළුවුසිවු දැ?” යි ඇවැත්නි, එසේ ය යි. ඇවැත්නි, මේ අට්ඨඞ්ගිකමිච්ඡා මාර්ගය ම අබ්‍රහ්මචරිය යයි. එනම් මිච්ඡාදිට්ඨි, මිච්ඡාසඞ්කප්ප, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්ත, මිච්ඡාආජීව, මිච්ඡාවායාම, මිච්ඡාසති, මිච්ඡාසමාධි යි.

පේනවා නේද? අපි මේක තව ටිකක් පැහැදිලි කර ගමු. මෙතැනම තියෙනවා දෙවන කුක්කුටාරාම සූත්‍රය. ඒක මෙහෙමයි.

එකත්පස්ව හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කීහ: “ඇවත් ආනන්දයෙනි, බඹසර බඹසරැ” යි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේ ද? බඹසර කෙළවර කවරේ දැ? යි.

ඇවත් භද්දයෙනි, මැනවි මැනවි. ඇවත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති, වැටහීම යහපති, පිළිවිසුම යහපති. ඇවැත්නි, භද්දයෙනි තෙපි “ඇවැත්නි ආනන්දයෙනි, බඹසර බඹසරැ යි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේද? බඹසර කෙළවර කවරේදැ” යි මෙසේ පුළුවුසිවු දැ?යි. ඇවැත්නි එසේ යයි.

ඇවැත්නි මේ අරි අටගි මග ම බඹසරය. එනම්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. ඇවැත්නි, යම් රාගක්ෂයයෙක් ද්වෙෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මේ බඹසර කෙළවරයි.

ඉතින්, දැන් මෙහෙම බැලුවම බඹසර කියන්නෙ ලිංගික හැසිරීම්වලට වඩා එහාට ගිය දෙයක් කියලා තේරෙනවා ඇති.

මෙතැනදි පේන්නෙ දැන් ඉන්න අරහතුන් නැත්නම් මහණුන් මෛථුනයයි බ්‍රහ්මචරියාවයි පටලවන් ඉන්නවා කියලා. ඒක පැහැදිලි වෙනවා උපෝසථ සූත්‍රයෙ මෙන්න මේ කොටසට අවධානය යොමු කළාම. මොකක් ද ඒ කියන්නේ.

රහත්හු දිවිහිම් අබ්‍රම්සර හැරදමා බඹසර ඇත්තාහු අබ්‍රම්සරින් දුරුව වසන්නාහු ගැමිදහම් වූ මෙවුන්දමින් වැළකුනාහු වෙති, මම ද අද මේ රෑ හා මේ දාවල හා අබ්‍රම්සර හැරදමා බඹසැරියෙම් ගැමිදම් වූ මෛථුනයෙන් වැළකීයෙම් වෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් ද වුසූයේ වෙයි.

මෙතැනදි රහතුන් අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව බ්‍රහ්මචරියාවේ හැසිරෙන බවත්, ගැමි දහම වූ මෛථුනයෙන් වැළකෙන බවත් කියලා කියනවා. ඒ දෙක එකම අර්ථයෙන් නෙමෙයි ගන්නෙ. දෙකක් විදියට. නැත්නම් ඉස්සෙල්ලා කියපු බ්‍රහ්මචරිය සූත්‍රයත් එක්ක ගැටෙනවානේ. මේක තවත් පැහැදිලිවෙනවා චුල්ලහත්ථිපදෝපම සූත්‍රය කියවද්දි. ඒ සූත්‍රයෙ මෙහෙම තියෙනවා.

අශ්‍රේෂ්ඨචර්යාව හැර ශ්‍රේෂ්ඨචර්යා ඇත්තේ අයහපත් හැසිරීමෙන් දුරු වුයේ වෙයි. ග්‍රාමධර්‍ම යයි කියන ලද මෛථුනයෙන් වැළකුණේ වෙයි.

පේනවා නේද? හැබැයි මේ කියන්නේ පැවිදි වූවකු ගැන. දැන් බලන්න මහාතණ්හාසඞ්ඛය සූත්‍රයෙ ඇති මේ සඳහන.

අබ්‍රහ්මචර්ය්‍යය පියා බඹසර ඇතියේ වෙයි. (මෙවුන් දමින්) දුරුහැසිරිම් ඇතියේ, ගැමිදහම් වන මෛථුනයෙන් විරත වෙයි.

මේකත් පැවිදිවූවකු ගැන ම තමයි. තවත් මේ ගැන පැහැදිලි වෙන සූත්‍රයක් තමයි ඝොටමුඛ සූත්‍රය. ඒකත් පැවිදිවූවකු ගැන. ඒකෙ මෙහෙම සඳහන් වෙනවා.

අබ්‍රම්සර හැරපියා බඹසර (ශ්‍රේෂ්ඨ ආචාර) ඇතියේ වෙයි, අබ්‍රම්සරින් දුරු වූ ආචාර ඇතියේ ග්‍රාම්‍යධර්‍ම වූ මෛථුනයෙන් වෙන් වූයේ වෙයි.

ඉතින් පේනවානේ. තව මේ වගේ සූත්‍ර කීපයක් ම සූත්‍ර පිටකයේ දකින්න පුළුවන්. බණක් කියන්න ගියාම මේ සේරම දිහා බලලා එපැයි කියන්න. එහෙම බවක් පේන්නෙ නෑ. දෙපැත්තම කියන්න ඕනා. දෙපැත්තම මිනිස්සුන්ට පෙන්වලා දෙන්න ඕනා. එතකොට මිනිස්සු කැමැති දේ තෝරා ගනීවි.

දැන් මේ කියන විදියට බැලුවම බඹසර කියන්නේ ආර්යෂ්ටාංගික මාර්ගයෙ ගමන් කිරීම. ඒකට කියන්නේ ශ්‍රේෂ්ට ආචාරය කියලා. මෛථුනය කියන්නෙ ග්‍රාම ධර්මයි. මේ ගැන තවත් පැහැදිලි වෙනවා තිස්සමෙත්තෙය්‍යසූත්‍රනිර්‍දෙශය බැලුවම. ඒකෙ තියෙනවා මෙහෙම සඳහනක්.

‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක් වසලධර්‍මයෙක් වේ ද, දුෂ්ඨුනිඃශ්‍රිත වූ දියකිස අන්ත කොට ඇති රහස්‍ය වූ ධර්‍මයෙක්, ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද එයයි. කුමක් හෙයින් ‘මෙථුනධම්ම’ යි කියනු ලැබේ ද යත්? රාගයෙන් රත් වූ වෙසෙසින් රැඳුණු ක්ලෙශයෙන් තෙත් වූ කුසලවාරය මැඩගෙන සිටි කුසල්සිත ගෙවාගෙන සිටි ස්ත්‍රීපුරුෂ දෙදෙනක්හුගේ සමාන කෙලෙස් ඇති දෙදෙනක්හුගේ ස්වභාවය නුයි, එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ. යම් සේ කලහකරුවෝ දෙදෙන මෛථුනක (-සදෘශ)යෝ යැයි කියනු ලැබෙත් ද, ඩබරකරුවෝ දෙදෙන මෛථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, බසින් කලහකරනුවෝ දෙදෙන - විවාදකරුවෝ දෙදෙන - අධිකරණකරුවෝ දෙදෙන - වාදපථය කියනුවෝ දෙදෙන - කථා කරනුවෝ දෙදෙන - මෛථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, එසෙයින් ම රාගයෙන් රත් වූ වෙසෙසින් රත් වූ කෙලෙසුන්ගෙන් තෙත් වූ කුසලවාරය මැඩගෙන සිටි හාත්පසින් යටකොට ගත් කුශලචිත්තය ඇති ස්ත්‍රීපුරුෂ දෙදෙනාගේ සමාන කෙලෙස් ඇති ස්ත්‍රීපුරුෂ දෙදෙනාගේ ස්වභාවය නුයි එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ.

මේවා දකිද්දි තමයි මන් කිව්වෙ අද බණ කියන සමහර මහණුන් බුද්ධධර්මයයි තව මොකක් හරි එකක් පටලවාගෙනයි කියලා. අනෙක පැවිදි විනයයි ගිහි විනයයිත් පටලවන්. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි බුදු දහම ඇතුළට සමහරක් මහණුන් ක්‍රිස්තියානි මතවාද අරන් එන එක. ඔය කියන හුඟක් දේවල ආරම්භය තියෙන්නෙ ක්‍රිස්තියානි ධර්මයේ.

ඒත් මේ ඉතින් ඒවා ගැන කථා කරන්න වෙලාව නෙමෙයි.

දැන් අපි මේ කථාව පටන් ගත්තෙ බ්‍රහ්මචර්යාවයි අබ්‍රහ්මචර්යාවයි ගැන කියලනෙ. කලින් කිව්ව උපෝසථ සූත්‍රයෙදි අටසිල් ගැන දේශනා කෙරෙනවා. එතැනදි කියන්නේ රහතුන් වහන්සේලාට මේ මේ ශීල ගුණ තියෙනවා, මමත් ඒවා කරනවා කියන පදනමෙන්. මන් කිව්වනෙ දැන් බණ කියද්දී මොකක් හෝ පටලවන් තියෙන්නෙ කියලා. ඒක තමයි ගිහි වතයි පැවිදි වතයි. ගිහියට අමතක වෙනවා තමුන් ගිහියෙක් ය කියලා. පැවිද්දට අමතක වෙනවා තමන් පැවිද්දෙක්ය කියලා. පැවිද්දා ගිහියන්ට බණ කියද්දි දන්නෙ නෑ යකෝ මන් මේ බණ කියන්නේ ගිහියන්ටනෙ කියලා. ගිහිය බණ අහද්දි දන්නෙ නෑ යකඩො මේ බණ කියන්නෙ පැවිද්දෙක්නෙ කියලා. ඕකයි සිද්ධිය.

බලන්න ධම්මික සූත්‍රය. මේ සූත්‍රයෙ දැක්වෙන විදියට දවසක් ධම්මික උපාසක බුදුරජාණන්වහන්සේ හම්බ වෙලා අහනවා ගිහිගෙදර ඉන්න අයයි පැවිදිවෙන අයයි ඒක හරියට කරන්නෙ කොහොමද කියලා. ඉතින් බුදුරජාණන්වහන්සේ මේ ආරාධනය අනුව මුලින්ම දේශනා කරන්නේ පැවිදි වත. ඉන්පස්සෙ ගිහි වත. මේ ගිහි වත දේශනා කරන්නෙ මෙහෙමයි.

ලොව්හි ස්ථාවර වූ යම් සත්ත්ව කෙනෙක් වෙත් නම්, යම් බඳු ජඞ්ගම සත්ත්ව කෙනෙක් වෙත් නම්, ඒ හැම සත්ත්වයන් කෙරෙහි දඬු බහාතබා පරපණ නො නසන්නේ ය, නො ද නස්වන්නේ ය, පරපණ නසන මෙරමාහට ද නො අනුදන්නේ ය.

ඉක්බිති ‘මේ පරාසතු දැයෙකැ’යි දන්නා ගිහි සවු (ගම්හි වේවයි වලැ වේවයි) කිසිදු තැනෙක්හි වූ ස්වල්ප හෝ බොහෝ වූ හෝ නුදුන් කිසිවක් නොගෙණ හරණේ ය. නො ද හැර ගන්වන්නේ ය. පැහැරගණුවනට නො ද අනුදන්නේ ය. එබඳු හැම අයිනාදන් හැරලන්නේ ය.

විඥශ්‍රාවක දිලියෙන අඟුරුවළක්සෙයින් අබ්‍ර‍හ්මචර්‍ය්‍යාව දුරු කරන්නේ ය. (උඩත් පිරිසෙයින්) බ්‍ර‍ම්සර රැකිය නොහෙනුයේ පරදාරයන් කරා නො යන්නේය.

සභාවකට ගියේ වේවයි පිරිස්මැදට ගියේ හෝ වේවයි එකලා වූයේ ම එකකහට මුසවා නො කියන්නේ ය. නො ද බණවන්නේ ය. බණනවුනට ද නො ද අනුදන්නේ ය. හැම අභූතය දුරලන්නේ ය.

ගෘහස්ථ තෙම මත්පැන් ද නො සෙවුනේ ය. යම් ගෘහස්ථයෙක් මේ මද්‍යපානවිරති ධර්මය රුස්නේ නම් මෙය උන්මාදනය ඇති කරවන්නෙකැයි දැන (අනුන් ලවා) නො ද පානය කරවන්නේ ය. බොනවුන්හට නො ද අනුදන්නේ ය.

මද හේතුයෙන් අඥයෝ පව් කෙරෙත්. අන් දනන් ද ප්‍ර‍මත්ත කෙරෙත්. පරලොව්හි උමතු බව ඇති කරණ මෙලොව්හි මුළාව දනවන බාලයනට කාන්ත වූ තෙල අපුණ්‍යායතනය හැරලන්නේ ය.

ප්‍රාණඝාත නොකරන්නේ ය, අයිනාදන් නොගන්නේ ය, මුසවා නො බණන්නේ ය, මද්‍යප ද නො වන්නේ ය, මෙථූනසඞ්ඛ්‍යාත අබ්‍ර‍ම්සරින් වෙන් වන්නේ ය, විකාලභොජන සඞ්ඛ්‍යාත රාත්‍රිභෝජන නො වළඳනේ ය.

මල්දම් නො දරන්නේ ය. සුවඳවිලෙවුන් ගැල්වීම් නො ද කරන්නේ ය, කැපසරුප් පරිදි අතුළ කැප හැඳෙහි හෝ බිම්හි හෝ හෝනේ ය, වර්ත්තදුඃඛයාගේ අන්තයට ගිය බුදුරදුන් විසින් ප්‍ර‍කාශිත වූ තෙල අෂ්ටාඞ්ගික වූ උපොසථ යයි කියත්.

ඉක්බිති පහන් සිතැතියේ පක්ෂය පිළිබඳ චාතුද්දසී උපොසථය ද පණ්ණරසී උපොසථය ද අටඨමි උපොසථය ද පාටිහාරිය පක්ඛ උපොසථය ද සුපිරිපුන් කොට අටඟින් යුත් පෙහෙවස් වසවු.

ඉක්බිති විඥ ගිහිසවු විසූ පෙහෙවස් ඇතියේ පසුදින පූර්‍වභාගයෙහි පහන් සිතැත්තේ නරතුරු මොදමාන වූයේ සුදුසුපරිද්දෙන් අහර පැනින් බික්සඟුන් වළඳවන්නේ ය.

ධර්මයෙන් ලත් භෝගයෙන් මාපියන් පුස්නේය. හෙ දැහැමි වණික්කර්ම කරන්නේ ය. අප්‍ර‍මත්ත වූ ගිහිගේ වැසි තෙම තෙල වත පවත්නේ ස්වයම්ප්‍ර‍භ නම් වූ (කාමවචර සදෙව්ලෝ වැසි) දෙවියන් කරා (උපත් විසින්) එළඹෙන්නේ යයි.

බලන්න. මේ ගිහිවත. පංචශීලයයි පොහොය අටසිල් ගැනයි මේ කියන්නෙ. පංචශීලය තමයි ගිහියට වැඩි කාලයක් කරන්න පුළුවන් වෙන්නෙ. හැබැයි ඒක අටසිල්ම උනත් නෙමෙයි වෙනවා නම් හොඳයි. සාමාන්‍ය දිනවල පංචශීලය, පොහොය දිනට අටසිල්.

කූටදන්ත සූත්‍රය ඔයාලා අහල ඇති. මේ සූත්‍රයෙ දි කූටදන්ත බමුණාට බුදුරජාණන්වහන්සේ මෙහෙම දේශනා කරනවා.

“පින්වත් ගෞතමයන් වහන්ස, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මේ සරණගමනයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති ඒ අන් යඥය කවරේ ද?”

“බමුණ, යමෙක් පහන් සිතැති වැ (තිසරණයෙහි පිහිටා) පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම, මුසවායෙන් වැළැක්ම, මදට පමාවට කරුණු වූ රහමෙරින් වැළැක්ම යන මේ සික කොටස් සමාදන් කොට ගන්නේ නම්, බමුණ මෙය මේ පළමු කී ත්‍රිවිධ යඥසම්පතටත් … මේ සරණගමනයටත් වඩා මඳ කටයුතු ඇති, … වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙක.”

මේ සූත්‍රයෙ හැටියට ගිහියකුට කරන්න පුළුවන් උපරිම ඵලදායි පින්කම තමයි මේ. තෙරුවන්සරණ තුළ පිහිටලා පංචශීලය ආරක්ෂා කිරීම. මීට ඉහළින් තව පින්කම් තියෙනවා. ඒවා බුදුරජාණන්වහන්සේ කූටදන්ත බමුණාට දේශනා කරනවා. ඒ ඊළඟ එක තමයි පැවිදි වෙන එක. ඉන්පස්සෙ බුදුරජාණන්වහන්සේ කූටදන්ත බමුණාට දේශනා කරනවා පැවිද්දගෙ ශීලය ගැන. මෙහෙම සඳහනක් එතැන තියෙනවා.

බමුණ, කෙසේ නම් මහණ තෙමේ ශීලසම්පන්න වේ ද? යත්: බමුණ, මෙහි මහණ තෙමේ පණිවා හැරැ පණිවායෙන් වැළැක්කේ, ඉවතැ ලූ දඬු ඇත්තේ, ඉවතැ ලු අවි ඇත්තේ, ලජ්ජා ඇත්තේ, මෙත් සිතින් යුත් වූසේ, සියලු සතුන් කෙරෙහි ඉත සිතැති වැ වෙසෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

අයිනාදන් හැරැ අයිනාදනින් වැළැක්කේ වෙයි. දුන් දැය ම ගන්නේ, දුන් දැය ම කැමැති වන්නේ, නොසොර වූ පිරිසිදු වූ සිතින් වෙසෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

නොබඹසර හැරැ බඹසර රක්නේ, නොබඹසරින් දුරැ වැ වසනුයේ, ගැමිදහම් වූ මෙවුන්දමින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙකි. ....

ඕකයි කථාව. පැහැදිලි ඇති මේ බණ කියන මහණුන්ට පටලැවිල්ලක් වෙලා තියෙනවා කියලා.

කාමමිච්ඡාචාර සූත්‍රයෙදි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මෙහෙමයි.

මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණින් යත්:

තෙමේත් කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරෙහි අනුදන්නේත් වෙයි. කාමයෙහි මිසහසර පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]

මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණින් යත්:

තෙමේත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.]

මේවා ගිහියො මතක තබා ගත යුතු යි. හැබැයි ස්වභාවයෙන්ම අපිට මේ දේවල් ගැන අහන්න ලැබෙන්නෙ නෑ. අර වගේ මහණුන් මේවා අහන්න දෙන්නෙ නෑ. පටලවනවා. ඒකයි කාමේසුමිච්ඡාචාර සූත්‍රයෙදී බුදුරජාණන්වහන්සේ මෙහෙම දේශනා කරන්නේ.

මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් කාමයෙහි මිසහසරින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් කාමයෙහි මිසහසරින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.

පේනවද? බොරුවට බුද්ධ ධර්මයට බැන බැන උන්නට ඔතැන තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. කරන්න ඕන දේ නෙමෙයි කරන්නෙ.

හොඳින් සාවධානව අවබෝධයෙන් එක එක මහණුන්ගෙ බණ අහන්න. නැත්නම් ඒ මහණ විතරක් නෙමෙයි බණ අහන ඔයත් නිරයෙ තමයි. අපිව රවට්ටන්න හරි ලේසියි. ඇස් ලොකු කරලා දත් පෙන්නලා එක්කො අඬලා එක්කො හිනාවෙලා කන හිරිවැටෙන ගීතස්වරයෙන් බණේ කිව්වම ඇඳිලා නෙමෙයි ඇදගෙන ඇඳන් නාලා ඉවරයි. අවබෝධය ඇති කරගන්න. නියම බුද්ධ ධර්මය ඒ කියන්නේ ක්‍රිස්තියානි, හින්දු මතවාදයන්ගෙන් කිළිටි නොවුන බුද්ධ ධර්මය අනුව ජීවිතය හදා ගන්න. කලවන් වෙන්නෙපා. එච්චරයි.



0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home