Wednesday, August 10, 2022

උර් නම්මුගේ නීති සංග්‍රහය

උර් නම්මුගේ නීති සංග්‍රහය

ශ්‍රී ලංකාවේ අපි ඉස්සරට වඩා දැන් ඉතිහාසය, පුරා විද්‍යාව ගැන උනන්දුයි. විශේෂයෙන්ම රාවණ ගැන කතිකාවත, බුදුරජාණන්වහන්සේ ඉපැදුනේ ලංකාවේ ය කියන මාතෘකාව ඒ උනන්දුව පෝෂණය කරන්න එක පැත්තකින් හේතු වෙලා තියෙනවා. තව ඔය සීගිරිය ගැන තියෙන විවිධ මතවාද එහෙමත් ඒකට හේතුවක්. මේ මොන හේතු නිසාවෙන් හරි ඉතිහාසය ගැන දැන් ලාංකිකයෝ වෙනදට වඩා උනන්දුයි කියලා පේනවා. ඒ උනන්දුවට අපේ මේ පුරා විද්‍යා සමාජ මාධ්‍ය සමූහයත් එක හේතුවක් බව අවිවාදයෙන් පිළිගන්න ඕනා. මේ හැඳින්වීම එක්ක අද මම කථා කරන්න හිතුවෙ උර් නම්මු කියන රජු විසින් හැදූ බවට පිළිගන්න නීති සංග්‍රහය ගැන.

වර්තමාන ලෝකය විසින් පිළිගන්න පැරණි ශිෂ්ඨාචාර කීපයක් ම තියෙනවා. ඒ අතරින් සුමේරියානු ශිෂ්ඨාචාරයට හම්බ වෙන්නෙ ප්‍රමුඛස්ථානයක්. මේ ශිෂ්ඨාචාරයට අයත් පුරා විද්‍යාත්මක සොයා ගැනීම් තවමත් සිදු වෙමින් පවතිනවා. දැන් ඔය ලංකාවේ ඉන්න සමහරු කියනවා සුද්දො ඇවිත් අපේ ඉතිහාසය වෙනස් කරලා කියලා. මේ සොයා ගැනීම් කරන්නෙත් ඒ සුද්දොම තමයි. මට හිතා ගන්න බෑ අපේ ඒවා වෙනස් කරලා මේවාට එහෙම නොකරන්නෙ ඇයි කියලා. මොකද සුමේරියාව කියන්නේ යුරෝපය නෙමෙයිනේ. 

උර් නම්මුගේ ප්‍රසිද්ධ ස්ථම්බය - ඡායාරූප අන්තර්ජාලයෙනි.

අපි මේ කථා කරන උර් නම්මු හිටියා කියන්නේ ක්‍රි.පූ.2047 – 2030 අතර කාලයේ. බුදුරජාණන්වහන්සේ ඉපැදෙන්න අවුරුදු 1000 කටත් කලින්. රාජාවලියෙ තියෙන කාල රාමු හැටියට රාවණගේ කාලයේ වගේ. නමුත් උර් නම්මුගේ පැවැත්ම පුරා විද්‍යාත්මකව තහවුරු කරනවා. මේ රාජ්‍ය කාලය හැඳින්වෙන්නෙ සුමේරියාවේ පුනරුද යුගය කියලා. උර් නම්මු ඇති කරන රාජ්‍ය කාලය තවදුරටත් හැඳින්වෙනවා සුමේරියාවේ තුන්වන උර් පාලන කාලය කියලත්. 

 

උර් නම්මු - ඡායාරූප අන්තර්ජාලයෙනි.

ක්‍රි.පූ. 2334-2279 කාලයේ මෙසපොතේමියාව පාලනය කරන්නේ ආකේඩියානු (Akkadian) රාජ්‍ය වංශිකයො. අක්කඩ්හි සර්ගොන් ආරම්භ කල ආකේඩියානු පාලනය. ඒ කාලයේ වර්තමාන ඉරානයේ ඉන්නෙ ගුටියානුවො (Gutians). ඔවුන් නිතරම මේ පාලනයත් එක්ක ආරවුල් කර ගත්තා. ක්‍රි.පූ. 2083 දි විතර ගුටියානුවො ආකේඩියානු පාලනය තමුන්ගේ අතට අර ගන්නවා. ඔවුන් කියන්නේ ඔවුන් තමයි සර්ගොන්ගේ උරුමකාරයො කියලා. සර්ගොන් පාලනය අවුරුදු සිය ගණනක් රාජ්‍ය පාලනය කරන් ගියත් රට වැසියන්ව නිසි ආකාරයෙන් බලාගන්න සමත් වෙන්නෙ නෑ. මේකෙ ප්‍රතිඵලය විදියට මේ රාජ්‍ය කාලය තුළ නොයෙක් විප්ලව, කැරැලි සිද්ධ වෙනවා. ඒ කැරැලි උදව් කරගෙන තමයි ගුටියන්ස්ලා රාජ්‍ය අල්ල ගන්නෙ. ඕනාම රටක් ඇතුලෙ අරගල වෙද්දි පාලනය බිඳ වැටීම සාමාන්‍ය දෙයක්.

ක්‍රි.පූ. 2055-2047 අතර කාලයේ උරුක් ප්‍රදේශයෙන් බිහිවෙන උටු හෙගල් ගුටියන් පාලනයට විරුද්ධව සටන් අරඹනවා. මොහු ඒ සටනකින් ජයග්‍රහණය කරලා ඉන්න අතර තුරේ බන්ට් එකක් හදද්දි වතුරට වැටිලා ගිලිලා මැරෙනවා. ඊට පස්සෙ උරු දේශයේ පාලනය හෙගල්ගේ බෑණා වෙච්චි උරු නම්මුට පැවරෙනවා. මෙහමෙයි උරු නම්මු රාජ්‍ය පාලනයට එන්නෙ. ඒ වගේම තුන්වන උර් පාලන කාලය ඇරඹෙන්නෙ.

උර් නම්මු රාජ්‍යයේ පිහිටුවීමට අදාළ ඵලකය - ඡායාරූප අන්තර්ජාලයෙනි.
 

උර් නම්මු ආපසු ගුටියන්ස්ලා එක්ක සටන් පටන් ගන්නවා. ඒ සටන් වලින් ගුටියන් පාලනයෙ තිබුන ප්‍රධාන නගර කීපයක් ම ඔහුගේ පාලනයට යටත් කර ගන්න සමත් වූ බවයි ඉතිහාසය කියන්නෙ. ගුටියානු පාලන කාලය තුළ රාජ්‍යයේ සංවර්ධනයක් වුන බවක් සඳහන් වෙන්නෙ නෑ. ඉතින් නම්මුට සිද්ධ වෙනවා ඒ ගැන හිතලා වැඩ කරන්න. ඔහු විසින් සංවර්ධන ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා ඒ අනුව රට පාලනය කරනවා.

ඔබ දැනටමත් දන්නවා ඇති ඕනම රටක නීතියේ පාලනය යටපත් වුනාම ඒ රට කඩා වැටෙනවා. හරි හමන් නීති රාමුවක් නැතිව රටක් සංවර්ධනය කරන්න අපහසුයි. ඒ වගේම තමයි රටක තියෙන ආගමික විශ්වාස නැත්නම් ආගමට තියෙන තැන. මේකත් රටක් සංවර්ධනය කරන්න, හොඳින් පානය කරන්න වැදගත් කරුණක්. මේකත් නම්මු හඳුනා ගත් බව පැහැදිලියි. ඉතින් උර් නම්මු නීත සංග්‍රහයක් ඉදිරිපත් කරනවා රට වැසියන්ට පිළිපදින්න. මේ තුළ උර් නම්මු මිනිස්සුන්ට ඒත්තු ගන්වනවා රජු කියන්නේ පාලකයා පමණක් බවත්, නීතිය නිර්මාණය කරන්නා පමණක් බවත්, කවුරුන් හරි ඒ නීති කඩනවා කියන්නේ ඒ කෙනා දේව කැමැත්තට එරෙහිව විප්ලව කරන්නෙක් බවත්.

දැන් මේ උර් නම්මුගේ නීති සංග්‍රහය ලෝකෙ ප්‍රථම නීති සංග්‍රහය කියලා පිළිගත්තට මීට කලිනුත් මේ වගේ නීති සංග්‍රහයන් තිබිලා තියෙනවා. ක්‍රි.පූ.24 වන සියවසට අයත් මෙසපොතේමියාවේ උරුකගිනා නීති සංග්‍රහය තමයි පැරණිම නීති සංග්‍රහය කියලා කියන්නේ. හැබැයි මේකෙ කොටසක්වත් අද අපිට හොයා ගන්න නෑ.  මේ නීති සංග්‍රහය ගැන සඳහන් කරපු පසු කාලන සටහන් තමයි හම්බ වෙන්නෙ. උරු නම්මුගේ නීති සංග්‍රහයෙ  කොටස් අපිට දකින්න පුළුවන්. කියවන්න පුළුවන්. ඒ නිසයි ඒ නීති සංග්‍රහයට අද පැරණිම නීති සංග්‍රහය කියන විරුදාවලිය ලැබෙන්නෙ. ආරක්ෂිතවම තියෙන පැරණිම නීති සංග්‍රහය තමයි හමුරාබිගේ නීති සංග්‍රහය.

උර් නම්මු හදන මේ නීති සංග්‍රහය ඔහුගේ අනුප්‍රාප්තිකයා වුන ශුල්ගිගෙ කාලයේ දී රාජ්‍ය පුරාම ප්‍රචලිත වෙලා තියෙනවා. සමහරු මේ නීති සංග්‍රහය ශුල්ගිගෙ නිර්මාණයක් කියලා කියන්නත් ඒක හේතුවක්.  මේ තියෙන්නෙ දැනට දකින්න පුළුවන් උර් නම්මුගේ නීති සංග්‍රහය. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 

Labels: , , , , , , ,

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home