Wednesday, August 10, 2022

උර් නම්මුගේ නීති සංග්‍රහය

උර් නම්මුගේ නීති සංග්‍රහය

ශ්‍රී ලංකාවේ අපි ඉස්සරට වඩා දැන් ඉතිහාසය, පුරා විද්‍යාව ගැන උනන්දුයි. විශේෂයෙන්ම රාවණ ගැන කතිකාවත, බුදුරජාණන්වහන්සේ ඉපැදුනේ ලංකාවේ ය කියන මාතෘකාව ඒ උනන්දුව පෝෂණය කරන්න එක පැත්තකින් හේතු වෙලා තියෙනවා. තව ඔය සීගිරිය ගැන තියෙන විවිධ මතවාද එහෙමත් ඒකට හේතුවක්. මේ මොන හේතු නිසාවෙන් හරි ඉතිහාසය ගැන දැන් ලාංකිකයෝ වෙනදට වඩා උනන්දුයි කියලා පේනවා. ඒ උනන්දුවට අපේ මේ පුරා විද්‍යා සමාජ මාධ්‍ය සමූහයත් එක හේතුවක් බව අවිවාදයෙන් පිළිගන්න ඕනා. මේ හැඳින්වීම එක්ක අද මම කථා කරන්න හිතුවෙ උර් නම්මු කියන රජු විසින් හැදූ බවට පිළිගන්න නීති සංග්‍රහය ගැන.

වර්තමාන ලෝකය විසින් පිළිගන්න පැරණි ශිෂ්ඨාචාර කීපයක් ම තියෙනවා. ඒ අතරින් සුමේරියානු ශිෂ්ඨාචාරයට හම්බ වෙන්නෙ ප්‍රමුඛස්ථානයක්. මේ ශිෂ්ඨාචාරයට අයත් පුරා විද්‍යාත්මක සොයා ගැනීම් තවමත් සිදු වෙමින් පවතිනවා. දැන් ඔය ලංකාවේ ඉන්න සමහරු කියනවා සුද්දො ඇවිත් අපේ ඉතිහාසය වෙනස් කරලා කියලා. මේ සොයා ගැනීම් කරන්නෙත් ඒ සුද්දොම තමයි. මට හිතා ගන්න බෑ අපේ ඒවා වෙනස් කරලා මේවාට එහෙම නොකරන්නෙ ඇයි කියලා. මොකද සුමේරියාව කියන්නේ යුරෝපය නෙමෙයිනේ. 

උර් නම්මුගේ ප්‍රසිද්ධ ස්ථම්බය - ඡායාරූප අන්තර්ජාලයෙනි.

අපි මේ කථා කරන උර් නම්මු හිටියා කියන්නේ ක්‍රි.පූ.2047 – 2030 අතර කාලයේ. බුදුරජාණන්වහන්සේ ඉපැදෙන්න අවුරුදු 1000 කටත් කලින්. රාජාවලියෙ තියෙන කාල රාමු හැටියට රාවණගේ කාලයේ වගේ. නමුත් උර් නම්මුගේ පැවැත්ම පුරා විද්‍යාත්මකව තහවුරු කරනවා. මේ රාජ්‍ය කාලය හැඳින්වෙන්නෙ සුමේරියාවේ පුනරුද යුගය කියලා. උර් නම්මු ඇති කරන රාජ්‍ය කාලය තවදුරටත් හැඳින්වෙනවා සුමේරියාවේ තුන්වන උර් පාලන කාලය කියලත්. 

 

උර් නම්මු - ඡායාරූප අන්තර්ජාලයෙනි.

ක්‍රි.පූ. 2334-2279 කාලයේ මෙසපොතේමියාව පාලනය කරන්නේ ආකේඩියානු (Akkadian) රාජ්‍ය වංශිකයො. අක්කඩ්හි සර්ගොන් ආරම්භ කල ආකේඩියානු පාලනය. ඒ කාලයේ වර්තමාන ඉරානයේ ඉන්නෙ ගුටියානුවො (Gutians). ඔවුන් නිතරම මේ පාලනයත් එක්ක ආරවුල් කර ගත්තා. ක්‍රි.පූ. 2083 දි විතර ගුටියානුවො ආකේඩියානු පාලනය තමුන්ගේ අතට අර ගන්නවා. ඔවුන් කියන්නේ ඔවුන් තමයි සර්ගොන්ගේ උරුමකාරයො කියලා. සර්ගොන් පාලනය අවුරුදු සිය ගණනක් රාජ්‍ය පාලනය කරන් ගියත් රට වැසියන්ව නිසි ආකාරයෙන් බලාගන්න සමත් වෙන්නෙ නෑ. මේකෙ ප්‍රතිඵලය විදියට මේ රාජ්‍ය කාලය තුළ නොයෙක් විප්ලව, කැරැලි සිද්ධ වෙනවා. ඒ කැරැලි උදව් කරගෙන තමයි ගුටියන්ස්ලා රාජ්‍ය අල්ල ගන්නෙ. ඕනාම රටක් ඇතුලෙ අරගල වෙද්දි පාලනය බිඳ වැටීම සාමාන්‍ය දෙයක්.

ක්‍රි.පූ. 2055-2047 අතර කාලයේ උරුක් ප්‍රදේශයෙන් බිහිවෙන උටු හෙගල් ගුටියන් පාලනයට විරුද්ධව සටන් අරඹනවා. මොහු ඒ සටනකින් ජයග්‍රහණය කරලා ඉන්න අතර තුරේ බන්ට් එකක් හදද්දි වතුරට වැටිලා ගිලිලා මැරෙනවා. ඊට පස්සෙ උරු දේශයේ පාලනය හෙගල්ගේ බෑණා වෙච්චි උරු නම්මුට පැවරෙනවා. මෙහමෙයි උරු නම්මු රාජ්‍ය පාලනයට එන්නෙ. ඒ වගේම තුන්වන උර් පාලන කාලය ඇරඹෙන්නෙ.

උර් නම්මු රාජ්‍යයේ පිහිටුවීමට අදාළ ඵලකය - ඡායාරූප අන්තර්ජාලයෙනි.
 

උර් නම්මු ආපසු ගුටියන්ස්ලා එක්ක සටන් පටන් ගන්නවා. ඒ සටන් වලින් ගුටියන් පාලනයෙ තිබුන ප්‍රධාන නගර කීපයක් ම ඔහුගේ පාලනයට යටත් කර ගන්න සමත් වූ බවයි ඉතිහාසය කියන්නෙ. ගුටියානු පාලන කාලය තුළ රාජ්‍යයේ සංවර්ධනයක් වුන බවක් සඳහන් වෙන්නෙ නෑ. ඉතින් නම්මුට සිද්ධ වෙනවා ඒ ගැන හිතලා වැඩ කරන්න. ඔහු විසින් සංවර්ධන ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා ඒ අනුව රට පාලනය කරනවා.

ඔබ දැනටමත් දන්නවා ඇති ඕනම රටක නීතියේ පාලනය යටපත් වුනාම ඒ රට කඩා වැටෙනවා. හරි හමන් නීති රාමුවක් නැතිව රටක් සංවර්ධනය කරන්න අපහසුයි. ඒ වගේම තමයි රටක තියෙන ආගමික විශ්වාස නැත්නම් ආගමට තියෙන තැන. මේකත් රටක් සංවර්ධනය කරන්න, හොඳින් පානය කරන්න වැදගත් කරුණක්. මේකත් නම්මු හඳුනා ගත් බව පැහැදිලියි. ඉතින් උර් නම්මු නීත සංග්‍රහයක් ඉදිරිපත් කරනවා රට වැසියන්ට පිළිපදින්න. මේ තුළ උර් නම්මු මිනිස්සුන්ට ඒත්තු ගන්වනවා රජු කියන්නේ පාලකයා පමණක් බවත්, නීතිය නිර්මාණය කරන්නා පමණක් බවත්, කවුරුන් හරි ඒ නීති කඩනවා කියන්නේ ඒ කෙනා දේව කැමැත්තට එරෙහිව විප්ලව කරන්නෙක් බවත්.

දැන් මේ උර් නම්මුගේ නීති සංග්‍රහය ලෝකෙ ප්‍රථම නීති සංග්‍රහය කියලා පිළිගත්තට මීට කලිනුත් මේ වගේ නීති සංග්‍රහයන් තිබිලා තියෙනවා. ක්‍රි.පූ.24 වන සියවසට අයත් මෙසපොතේමියාවේ උරුකගිනා නීති සංග්‍රහය තමයි පැරණිම නීති සංග්‍රහය කියලා කියන්නේ. හැබැයි මේකෙ කොටසක්වත් අද අපිට හොයා ගන්න නෑ.  මේ නීති සංග්‍රහය ගැන සඳහන් කරපු පසු කාලන සටහන් තමයි හම්බ වෙන්නෙ. උරු නම්මුගේ නීති සංග්‍රහයෙ  කොටස් අපිට දකින්න පුළුවන්. කියවන්න පුළුවන්. ඒ නිසයි ඒ නීති සංග්‍රහයට අද පැරණිම නීති සංග්‍රහය කියන විරුදාවලිය ලැබෙන්නෙ. ආරක්ෂිතවම තියෙන පැරණිම නීති සංග්‍රහය තමයි හමුරාබිගේ නීති සංග්‍රහය.

උර් නම්මු හදන මේ නීති සංග්‍රහය ඔහුගේ අනුප්‍රාප්තිකයා වුන ශුල්ගිගෙ කාලයේ දී රාජ්‍ය පුරාම ප්‍රචලිත වෙලා තියෙනවා. සමහරු මේ නීති සංග්‍රහය ශුල්ගිගෙ නිර්මාණයක් කියලා කියන්නත් ඒක හේතුවක්.  මේ තියෙන්නෙ දැනට දකින්න පුළුවන් උර් නම්මුගේ නීති සංග්‍රහය. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 

Labels: , , , , , , ,

Thursday, September 23, 2021

ඇවිලෙන ගින්නට පිදුරු (7) - බුදුරජාණන්වහන්සේ සහ කිඹුල්වත් නුවර


  

ඇවිලෙන ගින්නට පිදුරු (7) 

බුදුරජාණන්වහන්සේ සහ කිඹුල්වත් නුවර

 

මහා පරිනිබ්බාන සූත්‍රය අවසානයේ මෙසේ දැක් වේ.

එවිට වෙදෙහි පුත්‍රවූ මගධ රටට අධිපති අජාසත් මහරජතෙම රජගහනුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජාසත්කාර කෙළේය. විසාලා මහනුවර වාසීවූ ලිච්ඡවි රජ දරුවෝද විසාලා නම් නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. කිඹුල්වත් නම් නුවර වාසීවූ ශාක්‍ය රජ දරුවෝද කිඹුල්වත් නම් පුරයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. අල්ලකප්ප නම් නුවර වාසීවූ බුලය නම් රජදරුවෝද, අල්ලකප්ප නම් නුවර භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජාසත්කාර කළාහුය. රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කොලිය රජහුද රාම නම් ගමෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. වෙඨදීප නම් නුවර වාසීවූ බ්‍රාහ්මණ තෙමේද, වෙඨදීපයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළේය. පාවා නම් නුවර වාසීවූ මල්ල රජ දරුවෝද පාවා නම් පුරයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය. කුසිනාරා වැසි මල්ල රජ දරුවෝද කුසිනාරා නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලාට චෛත්‍යයන් කරවා පූජා සත්කාර කළාහුය. ද්‍රොණ නම් බ්‍රාහ්මණතෙමේද ධාතු මැන බෙදන ලද නැළිය තබා චෛත්‍යයක් කරවා පූජා සත්කාර කෙළේය. පිප්ඵලිවනිය නම් මොරිය රජහුද පිප්ඵලි වන නම් පුරයෙහි අංගාර ථූප නම්වූ දාගැබක් කරවා පූජා සත්කාර කළාහුය. මෙසේ ශාරීරික චෛත්‍යයෝ අටක් වූවෝය. කුම්භථුප චෛත්‍යය නව වැනි වූයේය. අංගාර චෛත්‍යය දසවැනි වූයේය.

මෙහි බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධාතූන්වහන්සේලා සඳහා චෛත්‍යයන් කරවූ ස්ථානයන් පිළිබඳව සඳහන් කර තිබේ. එක්තරා මතයක් දරන්නා වූ පිරිසක් මේ ස්ථාන ශ්‍රී ලංකාවේ පිහිටා ඇති බව කියයි. තවත් පිරිසක් ඒවා ඉන්දියාවේ ඇති බව කියයි. මේ කථාව නම් ඒ ගැන නොවේ. මේ කථාව 1898 දී ඉංග්‍රීසි ජාතික වතු හිමිකරුවකු විසින් සිදු කරනු ලැබූ සොයා ගැනීමක් සම්බන්ධයෙනි.

ඉන්දු නේපාල සීමාවේ පිප්රාවා නම් ගම මේ ඉංග්‍රීසි ජාතිකයා විසින් පාලනය කළ වත්තක් විය. ඔහුගේ සේවකයන් ද සමඟ ඔහු මේ වත්තේ එක්තරා ස්ථානයක කැණීමක් සිදුකරන ලදි. එම කැණීමේ දී පෙපේ නම් වූ ඔහුට අස්ථි කැබලි කීපයක් සහ ස්වර්ණාභරණ දමා තිබූ බඳුන් කීපයක් හමු විනි. දුටු පමණින් මෙය කුමක්දැයි ඔවුන්ට අදහසක් නොවුන ද බඳුනක තිබූ සටහනක් නිසා ඔවුන්ගේ පුදුමය වැඩි විය. මේ සටහනේ අරුත මුල් අවස්ථාවේ දී සොයා ගැනීමට නොහැකි වුවත් පසුව තහවුරු වූයේ බුදුරජාණන්වහන්සේගේ ධාතූන්වහන්සේලා ඒ බඳුනෙහි ඇති බවයි. එයින් ම 1898 දී සිදු කළ මේ සොයාගැනීම වැදගත් ම සොයාගැනීමක් බවට පත් විය.

ඉහතින් දක්වන්නට යෙදුන මහා පරිනිබ්බාන සූත්‍රයේ දී කිඹුල්වත් නුවර ශාක්‍ය වංශිකයන් විසින් චෛත්‍යයක් තනා බුද්ධ ධාතූන්වහන්සේලාට වන්දනා කළ බවට දැක් වේ. එම චෛත්‍ය නිර්මාණය වීම මේ අනුව ක්‍රි.පූ. 5 වන සියවසේ පමණ විය යුතු ය. සිදුහත් බෝසතුන් ශාක්‍ය වංශිකයෙකි. ලුම්බිණියේ දී බෝසතුන් ඉපදුනත් අවුරුදු 29 ක කාලයක් උන්වහන්සේ ගත කලේ කිඹුල්වත් නුවර ය. ශුද්ධෝදන නැත්නම් සිදුහත් බෝසතුන්ගේ පියා ශාක්‍ය වංශිකයන්ගේ නායකයා විය. එම වංශිකයන්ට ය බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ධාතූන්වහන්සේලා කොටසක් ලැබුනේ. එය ශාක්‍ය වංශිකයන්ට එක් අතකට උරුමයෙන් ලැබූවක් ලෙසින් ද සැලකිය හැකි වේ. ඔවුහු එම ධාතූන්වහන්සේලා චෛත්‍යයක තැන්පත් කිරීමට කටයුතු කරනු ලැබූ හ.

කාලයත් සමඟ ඊයේ දිනය යටපත් වේ. එය සාමාන්‍ය ලෝක ස්වභාවයයි. කාලයේ බලපෑම කෙසේද යත්, ගංගා මාර්ග පවා වෙනස් වේ. දේශ සීමා වෙනස් වේ. මහා වනාන්තර කාන්තාර බවට පරිවර්තනය වේ. බොහෝ දේ කාලයාගේ ඇවෑමෙන් මිනිස් මතකයෙන් ද මැකී යයි.

ඉන්දියාවේ දී බුදුදහමට සිදුවූයේ ද එයයි. 12 වන සියවස අවසන් වන විට දී පමණ ඉන්දියාවේ බුදුදහම භාවිතා වීම අවම තත්ත්වයට පත් විනි. නමුත් ක්‍රි.ව 6 වන සියවස පමණ වන විටදී බුදු දහම ඉන්දියාවේ රාජ්‍ය දහමක් ලෙසින් ද තිබිණි. බලන්න කාලය මැව් වෙනසක අරුම ය. බුදුදහම පරිහානියට පත්වීමත් සමඟ බෞද්ධ සිද්ධස්ථාන ද පරිහානියට පත්වන්නට විය. ඒ සඳහා සතුරු ආක්‍රමණ මෙන්ම අන්‍යාගාමික බලපෑමද හේතු විනි.

කෙසේවෙතත් ඉංග්‍රීසීන් විසින් ඉන්දියාව යටත් කර ගැනීමත් සමඟ 19 වන සියවසේදී මේ තත්ත්වය ද වෙනස් වන්නට විය. ඒ සඳහා අවුරුදු 800 ක් පමණ බලා සිටීමට සිදු ව තිබිණි. ඉංග්‍රීසි ජාතිකයෝ ඒ වන විට පරිහානියට පත් ව තිබූ බෞද්ධ සිද්ධස්ථානවලට පණ දීම සඳහා උත්සාහ දරන්නට විය. සමහරුන් මෙය හැඳුන්වන්නේ පුරාවස්තු මංකොල්ලයක් ලෙසිනි. ඕනෑම දෙයක් නොයෙක් ආකාරයෙන් දැකීමේ හැකියාව මනුෂ්‍යයාට ඇත.

මා ඉහතින් සඳහන් කළ විලියම් පෙපේ යනු පුරාවිද්‍යාඥයකු නොවේ. 1898 දී ඔහු වර්තමාන උත්තර් ප්‍රදේශයේ සිද්ධාර්ත් නගර් (එදා බිර්ද්පූර්) හි පිප්රාවා හි ඔහුට අයත් වත්තේ කැණීමක් සඳහා තම සේවකයන් යොමු කළේ ය. ඒ කැණීමට ලක් වූ ස්ථානය ගල් මත ගොඩ නැගී තිබූ කන්දකි. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි - කැණීමට පෙර ස්ථූපය

 

අඩි 18 ක් පමණ ගැඹුරට කණින විට ඔවුන්ට හමු වූයේ කුඩා බඳුන් පහක් තැන්පත් කර තිබූ විශාල ප්‍රමාණයේ ගල් වලින් තැනූ පෙට්ටියකි. ඒ බඳුන් තුළ අස්ථි කැබලි, අළු, රත්‍රං මෙන්ම සිය ගණනක් වූ ස්වර්ණාභරණ විය. 

ඡායරූපය අන්තර්ජාලයෙනි - පෙට්ටිය

 
ඡායාරූපය අන්තර්ජාලයෙනි - ගල් පෙට්ටිය

ඉන් එක් බඳුනක පහත සඳහන් සටහන ලියා තිබිණි.

‘සුඛිතිභතිනම් සභාගිනිකනම් සපුතදලානම් යම් සලිලනිධානෙ බුධස භගවතෙ සකියානම්‘

සරලව ගත්විට මෙහි අර්ථය වන්නේ ‘බුදුරජාණන්වහන්සේගේ ශාක්‍ය වංශිකයන්ට ලැබුණු ධාතූන් වහන්සේලා‘ යන්නයි. 

ඡායාරූප අන්තර්ජාලයෙනි - ධාතු මංජුසා

 
ඡායාරූප අන්තර්ජාලයෙනි - බෙදා හැරීමට පෙර ධාතූන්වහන්සේලා

ඡායාරූප අන්තර්ජාලයෙනි - බෙදාහැරීමට පෙර ධාතූන්වහන්සේලා සහ අයිතම 


ඡායාරූප අන්තර්ජාලයෙනි - හමු ව ඇති තවත් අයිතම

 
ඡායාරූපය අන්තර්ජාලයෙනි - මෙය පෙපේ විසින් සියම් රජු වෙත පරිත්‍යාග කරන ලදි.

කෙසේවෙතත් මේ සටහන ටික කලකදී ප්‍රශ්නගත විනි. ඒ එහි නිර්ව්‍යාජත්වය කීප දෙනකු විසින් ම ප්‍රශ්න කිරීම හේතුවෙනි. අදාළ සටහන, ඉදිරිපත් වූ මතයට අනුව අවම වශයෙන් බුද්ධ පරිනිර්වානයට අවුරුදු 100 ක් හෝ 150 ක් පමණ පසුව කරනු ලැබූ සටහනක් විය. එවිට මේ හමු වූ අයිතම බුදුරජාණන්වහන්සේගේ ම ද යන ප්‍රශ්නය ඇති විනි. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි

 

මේ ප්‍රශ්නයට පිළිතුරු සැඟ වී තිබුනේ ක්‍රි.පූ.3 වන සියවසේ දී අශෝක රජු විසින් කරවනු ලැබූ සාංචි ස්ථූපයේ ය. එහි අශෝක රජු විසින් බුදුරජාණන්වහන්සේගේ ධාතූන්වහන්සේලා මුල් අවස්ථාවේදී තැන්පත් කර තිබූ ස්ථානවලින් රැගෙන ඉන්දියාව පුරා බෙදා හැරීම පිළිබඳව වන රූප නිර්මාණය කර තිබේ. එයින් පෙපේ සොයාගත් ධාතූන්වහන්සේලා ශාක්‍ය වංශිකයන් විසින් ම තැන්පත් කරනු ලැබූ ඒවා නොව එසේ තැන්පත් කරනු ලැබූ ධාතූන්වහන්සේලා නැවත අශෝක රජු විසින් තැන්පත් කරනු ලැබූ බවට වන මතය ඉදිරිපත් විනි.

මේ ඔස්සේ ගමන් කරන විට තවත් ප්‍රශ්නයක් මතු වෙයි. පිපරාවා ස්ථූපය සොයා ගත් ස්ථානය බෝධිසත්වයන්වහන්සේ වාසය කළ කිඹුල්වත් නුවර ද යන්න ඒ ප්‍රශ්නය යි.

උක්ත ප්‍රශ්නයට ඉදිරිපත් වූ විශේෂඥ මත කීපයකි. ඒවා තනි මතයක් නොවිනි. එක් පිරිසක් ෆා හියන් සහ හ්‍යුත් සාන් වාර්තා ද ආශ්‍රිත කර ගනිමින් කියන්නට වූයේ නේපාලයේ තිලාර්කොට් ලුම්බිණිය වන බවයි. ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කරනු ලැබූ කැණීම් වලින් සොයාගත් පුරාවස්තු අනුව තිලාර්කොට් ද අතීතයේ වැදගත් ස්ථානයක් බවට සනාථ කරන ලදි.

මේ විවාදය අවසන් වූයේ 1971 දී ය. ඉන්දියානු පුරාවිද්‍යා ආයතනයේ කේ.එම්. ශ්‍රීවස්ථව් විසින් පිප්රාවාහි කැණීම් නැවතත් සිදු කරන ලදි. ඔහු පෙපේ සිදු කලාට වඩා වැඩි ගැඹුරට කැණීම් සිදු කල අතර එහිදී තවත් අයිතම හමු විය.

මෙසේ හමු වූ එක් බඳුනක අස්ථි කැබලි 12 ක් වූ අතර එකක අස්ථි කැබලි 10 ක් තිබිණි. එම අයිතම කිසිඳු ගැටළුවකින් තොරව ක්‍රි.පූ. 5 වන සියවසේ බවට කාල නිර්ණය කිරීමට හැකි විය. හමු වුණු ටෙරාකොටා මුද්‍රාවල ‘ඕම් දේවපුත්‍ර විහාරෙ කපිලවස්තු සංඝ‘ සහ ‘මහා කපිලවස්තු භිඛු සංඝ‘ යන සඳහන් තිබිණි. ඒ අනුව මේ කපිලවස්තුව බවත්, එය ඉන්දියාවේ බවත් නිශ්චිතව සනාථ ව තිබේ.

අද පෙපේ විසින් සොයාගත් බඳුන කල්කටාවේ ඉන්දියානු කෞතුකාගාරයේ ද, ශ්‍රීවාස්ථව් විසින් සොයා ගත් ධාතූන්වහන්සේලා නව දිල්ලියේ ජාතික කෞතුකාගාරයේ ද ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබේ. පෙපේ විසින් සොයා ගත් ධාතූන්වහන්සේලාගෙන් කොටසක් ලංකාවේ ද තැන්පත් කර ඇත්තේ වස්කඩුවේ ශ්‍රී සුභූති ස්වාමීන්වහන්සේ සහ සියම් ජාතික ජිනවරාවංශ හිමි හේතුවෙනි. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි - ජිනවරාවංශ හිමි

 

ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

 

ශ්‍රී ලංකාවේ දී බුදුන් වහන්සේ ලංකාවේ යැයි කියන අය සිටින්නා සේම තවත් රටවල ඒ ඒ රටවල බුදුන් වහන්සේ උපන්නායැයි කියන්නෝ සිටී. නමුත් ඔවුන්ට බුදුරජාණන්වහන්සේ හා සෘජුව සම්බන්ධ කළ හැකි පිළිගත හැකි කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට නොහැක. එවැනි තත්ත්වයකදී පිප්රාවෙන් හමු වූ ධාතූන්වහන්සේලා බුදුරජාණන්වහන්සේගේ ගිහි වංශය පිළිබඳව සහ එය පැතිර තිබූ ප්‍රදේශය පිළිබඳව නිශ්චිත සාධක ඉදිරිපත් කර තිබේ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි - අද ඔබට හමුවන ස්ථූපය


Labels: , , , , , ,

Wednesday, September 15, 2021

සනුලි සහ මානව ශිෂ්ටාචාරය

 සනුලි සහ මානව ශිෂ්ටාචාරය

සොහොනක් යනු සාමාන්‍යයෙන් මිනිසාට ප්‍රියවඩන ස්ථානයක් නොවේ. නමුත් මානව ශිෂ්ටාචාරයේ අක්මුල් සොයා යන විට සොහොන් ඉතා පුළුල් මෙහෙයක් ඉටු කරයි. ලංකාවේදී සොහොන් බිම් ආශ්‍රය කර ගනිමින් අපේ මුතුන් මිත්තන් ගැන වටිනා සහ වැදගත් කරුණු අනාවරණය කර ගැනීමට සමත් ව ඇත. ඔබට ඒ පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ඇති බව මා දන්නෙමි. එනිසා ඒ ගැන මෙහිදී කථා කිරීමට යොමු නොවෙමි.

මේ කථා කරන්නේ ඉන්දියාවේ එවැනි එක් සොහොන් බිමක් ගැන ය. උත්තර් ප්‍රදේශයේ සනුලි (Sanauli) ගමේ ගොවියකු වූ ශ්‍රීරාම් ශර්මා 2005 වසරේ එක්තරා දවසක තමන්ගේ ගොවිතැන් කටයුතු වල පෙර දිනවල මෙන්ම නිරත වී සිටින ලදි. එසේ කටයුතු කරද්දී හදිසියේම ඔහුට මිනිස් ඇට සැකිලි, තඹ මුට්ටි කීපයක් හමු විනි. ඔහු මේ පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යයන්ට දැනුම් දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් ඉන්දියානු පුරාවිද්‍යා ආයතනය ද එම ස්ථානයට පැමිණ කැණීම් ආරම්භ කරන ලදි. එහිදී අනාවරණය වූයේ එය සොහොන් බිමක් බවයි. මාස 13 ක කාලයක් පුරා කරනු ලැබූ මුල් කැණීමේ දී කරත්ත, මළ සිරුරු, මුට්ටි, ඇට සැකිළි, ලොව පැරණිම තඹ සෙබළ හිස්වැසුම යැයි සැලකෙන හිස්වැසුමක් සොයා ගැනීමට හැකියාව ලැබිණි. මේවා වසර 2000 ක් පමණ පැරණි ය.

මේ අයිතමයන්ගෙන් සමහරක් තුළ දැව ද දක්නට ලැබේ. අවුරුදු 4000 ක් පමණ කාලයක් විනාශ නොවී පැවතීමට හේතුව වී ඇත්තේ ඒ වටා තඹ ආලේප කර තිබීම නිසාවෙනි.

කෙසේවෙතත් සොහොන් බිමෙන් සොයා ගත් ශේෂ 125 කාබන් කාල නිර්ණයට අනුව වසර 4000 ක් පමණ පැරණි බව අනාවරණය කර ඇත. එය ලංකාවේ දේවාලපොල කැණීම්වලින් හමු වූ ශේෂයන්ටත් වඩා පැරණි බව පෙනී යයි.

නමුත් මෙහි ඇති වැදගත් ම සොයා ගැනීම වන්නේ මෙය නොවේ. කැණීම්වලදී අනාවරණය වූ කරත්ත තුනයි. ස්වභාවය අනුව එම කරත්ත අශ්වයන් යොදා ධාවනය කරනු ලැබූ කරත්ත බවට මත පල වී ඇත. ඉන්දියාවට අශ්වයන් හඳුන්වා දෙන්නේ ක්‍රි.පූ.1500 වැනි කාලයේදී මධ්‍යම ආසියාවේ සිට පැමිණි ආර්යයන් විසින් බවට ඉතිහාසඥයන් කියයි. සුමේරියානු, මෙසපොතේමියානු සංස්කෘතිය තුළ ක්‍රි.පූ. 3000 පමණ වන විටත් අශ්ව කරත්ත පිළිබඳව සඳහන් වේ. හරප්පා ශිෂ්ටාචාරය තුළ කරත්ත භාවිතා වී ඇතත් ඒවා අශ්වයන් විසින් නොව ගොනුන් බැඳි කරත්ත ලෙසින් හැඳින් වේ. එවිට මේ සොයාගැනීම මඟින් ඉන්දියාව තුළ මෙසපොතේමියානු නැත්නම් සුමේරියානු ශිෂ්ටාචාර හා සමඟ යන ශිෂ්ටාචාරයක් පැවැති බවට මත ඉදිරිපත් වේ. එසේම හරප්පා ශිෂ්ටාචාරය හා සනුලි සමකාලීන ද යන්න පිළිබඳව ද විවිධ මත ඉදිරිපත්වීමට ද හේතුවක් වේ.

සනුලිවලින් හමු ව ඇති බොහෝ අයිතම හරප්පා ශිෂ්ටාචාරයෙන් හමුව ඇති අයිතම හා සමාන ය. නමුත් වෙනස්කම් ද දැකිය හැකිවේ. තඹ ආලේප කිරීම ඒ ප්‍රධාන වෙනස්කමයි. ඒ අනුව සිතිය හැක්කේ හරප්පා ශිෂ්ටාචාරයට සමකාලීන විය හැකි නමුත් ඉන් වෙනස්ව සනුලි පැවත ඇති බවයි. එසේම හරප්පා ශිෂ්ටාචාරයේ දී හමුවන ගඩොල් වලට වඩා විශාල ගඩොල් සනුලි කැණීමේ දී හමු වී ඇත.

තවදුරටත් සනුලිහි කැණීම් අනුව සොහොන් බිම රාජකීය සෙබළ කණ්ඩායමකට අයත්යැයි සැලකෙන සාධක ද හමු වී තිබේ. හරප්පා වලදී හමුවනවාට වඩා ප්‍රමාණයෙන් කුඩා කරත්ත සනුලිවලදී හමු ව ඇත. ඒ අනුව මෙම කරත්ත බර හෝ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත් ඒවාට වඩා පුද්ගලයන් දෙදෙනකුට නැත්නම් අයකුට ගමන් කිරීම සඳහා සකස් කර තිබෙන්නට ඇතැයි මත පල වේ. එසේම කරත්ත ආවරණය කර ඇති තඹ ආලේපනය ද යුධ කටයුතු සඳහා ඒවා යොදා ගැනීමට ඇති බවට සාක්ෂි වේ. තවද, හමුව ඇති සෙබළ හිස්වැස්ම, කඩු සහ පළිහ ද ඊට සාධකයකි.

තවදුරටත් සනුලි හි කැණීම් සිදු කරමින් පවතී. ඒ අනුව ඉදිරියේ දී තවත් තොරතුරු අනාවරණය වනු ඇත. ඒ තොරතුරු මඟින් වසර 3000 – 4000 පමණ අතීතයේ දී දකුණු ආසියානු කලාපයේ ජීවත් වූ විශේෂ ජන කොට්ඨාශයක් ගැන තොරතුරු හෙළිදරව් වනු ඇත. 

ඇමුණුම් සියල්ල අන්තර්ජාලයෙනි. 

 

කඩු


කරත්තයේ තඹ ආලේපිත රෝදයේ පැත්තක්

ඇට සැකිල්ලක්


හිස්වැසුම





 

Labels: , , , ,