Saturday, January 8, 2022

බුද්ධඝෝෂ භික්ෂුව - කෙටි හැඳින්වීමක්

 බුද්ධඝෝෂ භික්ෂුව

මෙම කෙටි ලිපිය තුළින් බුද්ධඝෝෂ භික්ෂුව සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කිරීමට බලාපොරොත්තු වේ.

හැඳින්වීම

මහායාන බුදුදහම තුළ දී නාගර්ජුනයන්ට ලැබෙන පිළිගැනීම කෙසේද, ථෙරවාදී බුදුදහම තුළ ඊටත් වඩා වැඩි පිළිගැනීමක් බුද්ධඝෝෂ භික්ෂුවට ලැබේ. කෙසේවෙතත් එක් පාර්ශ්වයක් බුද්ධඝෝෂ භික්ෂුව ථෙරවාදී හෙළ බුදු දහමට විනාශයක් කළ ලෙසින් දක්වද්දී තවත් පිරිසක් එසේ නොවන බවට කියයි. තවත් පිරිසක් බුද්ධඝෝෂ භික්ෂුව යනු කවරෙක්දැයි පවා නොදනී.

බුද්ධඝෝෂ - ආරම්භය

ලංකාවේ වංශකතා අතරින් ප්‍රමුඛස්ථානය ගන්නා මහාවංශය තුළ 37 වන පරිච්ඡේදයේ දී බුද්ධඝෝෂ භික්ෂුව ගැන සටහන් ව තිබේ. මීට අමතරව ලංකාවේ ම ලියැවුණ බවට කියැවෙන බුද්ධඝෝෂුප්පත්ති නම් පොතේ ද බුද්ධඝෝෂ භික්ෂුව ගැන සඳහන් වේ. විනය අට්ඨකථා තුළින් ද උන්වහන්සේ ගැන යම් අදහසක් ලබා ගත හැකි වේ.

මහාවංශයට අනුව බුද්ධඝෝෂ භික්ෂුව ඉපැදී ඇත්තේ දඹදිව බුද්ධගයාව ආශ්‍රිත ගමක ගම්පතියකුට පුත්‍රවය. බුද්ධඝෝෂුප්පත්තිහි දී මේ සිදුවීම කථාවක් ලෙසින් නිර්මාණය කර තිබේ. ඒ අනුව එහිදී කියන්නේ භික්ෂූන්වහන්සේලාගේ ආරාධනය පිට දිව්‍යපුත්‍රයකුව සිට බුද්ධඝෝෂ, එකී බමුණු ගම්පතියාගේ වන කේසි බිරිඳගේ කුස පිළිසිඳගත් බවයි. එම කථාව නාගසේන, මොග්ගලීපුත්තතිස්ස කථාව හා සමානව යන කථාවක් බව බැලුබැල්මට පෙනේ. එවකට දඹදිව විසූ භික්ෂූන්වහන්සේලාට බුදු දහම ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මතුව තිබේ. ඒ සඳහා කටයුතු කිරීමට ගැලපෙන පුද්ගලයකු සොයාගැනීමේ අවශ්‍යතාවය මත දෙව් ලොවින් දිව්‍යපුත්‍රයකු කැඳ වූ බවට බුද්ධඝෝෂුප්පතියට අනුව කියයි.

මෙසේ ඉපැදෙන කුමරා ඝෝෂ නම් වූ අතර ඉක්මණින් ත්‍රිවේදය මැනවින් හදාරයි. ඔහුගේ පියා, කේසී එම ගම අයත් රාජ්‍යයේ රජුට උපදෙස් දෙන්නකු වී සිට ඇත. ඔහු මගින් කුමරා රජු වෙත ද ඉදිරිපත්ව තිබේ. එසේ ඉදිරිපත්වන්නේ රජුට හෝ ඔහුගේ උපදෙස් දෙන්නන්ට විසඳීමට නොහැකි වූ ප්‍රශ්නයකට උත්තර ලබා දෙමිනි. එයට පිළිතුරු සැපයීමත් සමඟ කුමරා, පියාට වඩා ගෞරව සම්මානයට ලක් වේ. මහෞෂධ කුමාරයා ද වරක පියා ඔස්සේ රජුට ඉදිරිපත් වී පියාටත් වඩා ඉහළ තත්ත්වයකට රජු ඉදිරියේ පත් වූ කථාවක් ඔබ අසා ඇති බවට සැක නැත. ඒ කථාවම බුද්ධඝෝෂුප්පත්තියෙහිදී බුද්ධඝෝෂ භික්ෂුව වෙත ආරෝපනය කර ඇති බවක් පෙනී යයි.

මේ කුමරාට දිනක් රේවත නම් වූ බුද්ධගයාව ආශ්‍රිතව වැඩ වාසය කරන්නා වූ රහතන්වහන්සේ නමක් සම්මුඛ වේ. රේවත ස්වාමීන්වහන්සේගෙන් වේදය පිළිබඳව ප්‍රශ්න කර එයට ලැබෙන පිළිතුරු වලින් ප්‍රසාදයට පත් වන කුමරා, රේවත ස්වාමීන්වහන්සේගේ ධර්මය ඉගැනීම සඳහා ශාසනයට ඇතුල් වේ.

මහාවංශයේ දැක්වෙන ආකාරයට මහ හඬක් ඇති නිසා ‘බුද්ධඝෝෂ‘ නම ඔහුට ලැබී ඇත. බුද්ධඝෝෂුප්පත්තියේ දැක්වෙන්නේ මසක් ඇතුළත ත්‍රිපිටකය පිළිබඳව වන දැනුම උන්වහන්සේ විසින් ලබා ගත් බවයි. එසේම ඒ දැනුමත් සමඟ දඹදිව තුළ පමණක් නොව දිව්‍යලෝක තුළදී උන්වහන්සේ ප්‍රසාදයට පත් වූ බව එහි දැක් වේ.

මෙසේ සිටියදී රේවත ස්වාමීන්වහන්සේ විසින් බුද්ධඝෝෂ භික්ෂුවට ලංකාවට ගොස් සිංහල බසින් තිබූ බුද්ධ භාෂිතය මගධ බසට පෙරළීමට කාර්යය පවරයි. බුද්ධඝෝෂ සමඟ ලංකාවේ බෞද්ධයන් කොටසකගේ එක් ආරවුලක් ඇරඹෙන්නේ මෙතැනදී ය. සමහරු කියන්නේ මෙහිදී සිංහල බසින් තිබූ ත්‍රිපිටකය මගධ බසට පෙරලීම අදහස් කරන බවයි. තවත් මතයක් වන්නේ සිංහල බසින් තිබූ අටුවාව මගධ බසට පෙරලීම අදහස් කරන බවයි. බුද්ධඝෝෂුප්පත්තියේ දී දැක්වෙන්නේ බුද්ධ භාෂිතය ලෙසිනි. මහාවංශයේ දී දැක්වෙන්නේ අටඨකතාව මගධයට පෙරළන ලෙසින් දැන් වූ බවයි. මහාවංශය බුද්ධඝෝෂුප්පත්තියට වඩා මෙහිදී විස්තරයක් ඉදිරිපත් කරන අතර එය සාධාරණ බවද පෙනේ. එහි දැක්වෙන්නේ මෙලෙසිනි.

“මෙහි පෙළපමණක් පරම්පරානිතය. මෙහි අටුවා නැත. එසේම නානා ප්‍රකාර ආචාර්යවාදයෝද නොවෙති. තුන් සඟායනාවට නගණ ලද බුද්ධ වචනද සාරිපුත්‍රාදී මහ තෙරුන් විසින් වදාරණ ලද කථාමාර්ගයද මොනවට බලා, ප්‍රාඥ මිහිඳු මහතෙරුවන් විසින් සිංහල භාෂාවෙන් කරණ ලද ශුද්ධ වූ සිංහල අට්ඨකථා තොමෝ සිංහලයන් කෙරෙහි වැටෙයි. තෙපි එහි ගොස් ඒ අසා මාගධ නිරුක්තියට පෙරලව. ඕ තොමෝ සියලු ලොවට හිතඵල වන්නි වේ.“

මිහිඳු මහරහතන්වහන්සේ විසින් බුද්ධ භාෂිතය සිංහලයාට වැටහෙන ලෙසින් දේශනා කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම භාෂිතය මිහිඳු මහරහතන්වහන්සේට ලැබෙන්නේ තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව ය. සංගායනාවේදී සංගායනා කළ ධර්මයත් ඒ සම්බන්ධයෙන් තිබූ ආචාර්යවාදයත් මිහිඳු මහරහතන්වන්සේ විසින් දරා තිබේ. ඒ සියල්ල සහිතව සිංහලයන්ට සිංහල බසින් අට්ඨකතාව ඉදිරිපත් කිරීමට මිහිඳු මහරහතන්වහන්සේ විසින් කටයුතු කර ඇත. මහාවංශයේ දී කියන්නේ එයයි. රේවත ස්වාමීන්වහන්සේ විසින් කියන්නේ ඒ වන විට දඹදිව දී පෙළ දහම හමු වන්නේ නමුත් අට්ඨකතාව හමු නොවෙන බවයි. ඒ අනුව බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පැමිණෙන්නේ අට්ඨකතාව සිංහල බසින් මගධ බසට පෙරළීමට බව පෙනී යයි.

මෙනිසා බුද්ධඝෝෂ භික්ෂුව විසින් ත්‍රිපිටකය මගධයට පෙරලීමක් ගැන සිතිය නොහැකි අතර අට්ඨකතාව මගධයට පෙරලීම ගැන සිතිය හැක. අනෙක් අතට මහාවංශයේ ම දැක්වෙන ආකාරයට ඒ වන විට බුද්ධඝෝෂ භික්ෂුව විසින් අත්ථශාලිනී අටුවාව ලියා හමාර කර තිබේ.

මහාවංශයට අනුව බුද්ධඝෝෂ භික්ෂුවගේ ලංකාගමනය සිදුවන්නේ මහානාම රජ දවස ය. ඒ සාමාන්‍යයෙන් ක්‍රි.ව.5 වන සියවසේ පමණ වේ. ඒ වන විට ත්‍රිපිටකය ඇත්තේ ග්‍රන්ථාරූඩව ය. අට්ඨකතාව ද තිබෙන්නට ඇත්තේ ග්‍රන්ථාරූඩව ය.

රේවත ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීම මත බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පිටත් වෙයි.

ලංකා ගමන - සාගරයක් මැද

බුද්ධඝෝෂ භික්ෂුව ලංකාව බලා යාත්‍රා කරන අතරේ දී ලංකාවේ සිට දඹදිව බලා යාත්‍රා කරන තවත් බුද්ධදත්ත නම් භික්ෂුවක් හා සම්මුඛවීම ගැන බුද්ධඝෝෂුප්පත්තියේ දී දක්වා තිබේ. ඒ කතාවට අනුව බුද්ධදත්ත භික්ෂුවද ලංකාවට පැමිණ ඇත්තේ බුද්ධඝෝෂ භික්ෂුව පැමිණෙන කාර්යටම ය. බුද්ධඝෝෂ භික්ෂුවත් බුද්ධදත්ත භික්ෂුවත් අතර ඇතිවන සංවාදයේ දී බුද්ධදත්ත භික්ෂුව තමුන්ට ලංකාවේ දී ජිනාලංකාරය, දඨාවංශය, ධාතුවංශය හා බෝධිවංශය ලබා ගත් නමුත් අට්ඨකතා සහ ඨික පොත් නොලැබුන බව කියයි. එනිසා උන්වහන්සේ බුද්ධඝෝෂ භික්ෂුවට කියන්නේ අට්ඨකතා හා ඨික සිංහලයෙන් මගධයට පෙරලන ලෙසිනි.

මේ අනුව ද බුද්ධඝෝෂ භික්ෂුවගේ ලංකා ගමන සිදුවන්නේ ත්‍රිපිටකය සිංහල බසින් මගධයට පෙරලීමට නොව අට්ඨකතාව මගධයට පෙරලීමට බව පැහැදිලි වේ.

 

Labels: , , , , , , , ,

Thursday, October 14, 2021

සාවත්ථියං විහරති ජේතවනේ..

 

සාවත්ථියං විහරති ජේතවනේ..

ලෝක ප්‍රසිද්ධ ජේතවන දෙකකි. ඒ ඉන්දියාවේ ජේතවනාරාමයත් ශ්‍රී ලංකාවේ ජේතවනාරාමයත් ය. ලංකාවේ ජේතවනාරාමය ගැන මේ දිනවල වාහන නැවතුම්පොලක් හේතුවෙන් වැඩි වැඩියෙන් කථා කරයි. ඒ ගැන මෙහි කථා කිරීමට බලාපොරොත්තු නොවේ. මේ කථා කරන්නේ ඉන්දියාවේ ජේතවනාරාමය ගැනය.

දඹදිව චාරිකා යන අය අනිවාර්යෙන්ම සංචාරයට තෝරා ගන්නා ස්ථානයක් ලෙසින් ජේතවනාරාමය නම් කළ හැක. අද ඉන්දියානු රජය සංචාරක ව්‍යාපාරයෙන් ධනය ඉපැයීමේ ස්ථානයක් ලෙසින් ජේතවනාරාමය ආශ්‍රිත බිම පාවිච්චි කරයි.

ත්‍රිපිටකයට අනුව ජේතවනාරාමය, අනාථ පිණ්ඩික සිටුතුමා විසින් සැකසීම පිළිබඳව විනය පිටකයේ දැක් වේ. ඔහු රජගහ නුවරට ගිය අවස්ථාවේ දී බුදුරජාණන්වහන්සේ මුණ ගැසී උන්වහන්සේ ට සැවැත්නුවරට වැඩම කිරීමට ආරාධනාවක් කරයි. එම ආරාධනාව බුදුරජාණන්වහන්සේ පිළිගනී. ඉන් පසුව සැවැත්නුවරට පැමිණෙන සිටුතුමා, බුදුරජාණන්වහන්සේට වාසය කිරීමට ආරාමයක් තනවයි. විනය පිටකයේ දැක්වෙන ආකාරයට ජේතරාජ කුමාරයාට (රොක්හිල් විසින් ජේතරාජ කුමාරයා පසේනදි රජුගේ පුතකු ලෙසින් හඳුන්වයි. ඔහුට අනුව විඩූඩහ විසින් ජේතරාජ කුමාරයා මරා දමයි.) අයත් උද්‍යානයක් මේ සඳහා අනාථ පිණ්ඩික සිටුතුමා විසින් තෝරා ගෙන තිබේ. ඒ පහත පරිදි ය.

අනේපිඬු සිටු තෙම ගමට ඉතා දුරැ නොවූ ඉතා ළඟ ද නො වූ ගමනාගමනයට පහසු වූ, (බුදුරජුන් දැකීම් ආදිය) කැමැති කැමැති මිනිසුන් විසින් එළඹියැ හැකි වූ දහවල් ජනාකීර්‍ණ නොවූ, රාත්‍රියෙහි නිහඬ වූ නගර ඝොෂ රහිත වූ, ජනවාත විරහිත වූ, මිනිසුන්ගේ හුදෙකලාව කරන ක්‍රියාවනට යොග්‍ය වූ විවේක වාසයට සුදුසු වූ ජෙතරාජකුමාරයාගේ උයන දුටුයේ ය.

මෙහි දැක්වෙන ගම ශ්‍රාවස්තිය නැත්නම් සැවැත්නුවර වේ. කෙසේවෙතත් ජේතරාජ කුමාරයා එක්වරම තමුන්ගේ උයන මේ සඳහා ලබා දීමට සූදානම් නොවිනි. අවසානයේ ඉඩම පිළිබඳව වූ හබ විසඳෙන්නේ අධිකරණ නිලධාරීන්ගේ මැදිහත්වීමෙනි. බිම පිරෙන්නට කහවුණු ඇතිරීම සිදුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසින් බව සඳහන් වේ. කෙසේවෙතත් කහවුණු පිරවීමේ දී එක් ස්ථානයක් සඳහා යම් අඩුවක් තිබිණි. මේ අඩුව දුටු ජේතරාජ කුමාරයා එම ස්ථානය තමුන්ගේ නමින් පූජා කරන්නට විය. ඒ බව මෙසේ දැක් වේ.

එවිට ජේතරාජකුමාරයාට යම්හෙයකින් මේ ගැහැවි තෙම ඒ සා මහත් මසුරන් රැසක් පරිත්‍යාග කරන්නේ ද එ හෙයින් මෙ සුළු කාරියෙක් නො වන්නේ යැයි මේ සිත විය. ඉක්බිති හෙතෙම අනේපිඬු සිටුහට ගැහැවියනි, අවශ්‍ය නැත. ඒ අවකාශය නො අතුරවන්න. ඒ අවකාශය මට දෙන්න. එය මගේ දානය වන්නේයැයි කී ය.

එවිට අනේපිඬු මේ ජේතරාජකුමාර තෙම (මහ ජනයා විසින්) වෙසෙසින් දන්නා ලද ප්‍රකට මිනිසෙකි. මෙබඳු ප්‍රකට මිනිසුන් මෙ සස්නෙහි පැහැදීම මහත් වැඩ සිදුකරන්නේ වේයැ යි සිතා ඒ අවකාශ ප්‍රදේශය ජේතරාජකුමාරයාට දුන්නේ ය.

මේ ආකාරයට ඉඩම ලබා ගත් පසු අනාථ පිණ්ඩික සිටුතුමා කරන්නේ ආරාමය ඉදි කිරීමයි. ඒ ගැන මෙසේ සඳහන් වේ.

ඉක්බිත්තෙන් අනේපිඬු සිටු ජේතවනයෙහි විහාරයන් කැරැවිය. පිරිවෙන් කැරැවිය, දොරටු කැරැවිය, උවටන්හල් කැරැවිය, ගිනිහල් කැරැවිය, කැපකිළි කැරැවිය. වැසිකිළි කැරැවිය, කෙසකිළි කැරැවිය. සක්මන්මළු කැරැවිය, සක්මන් හල් කැරැවිය. ළින් කැරැවිය, ළින්හල් කැරැවිය, ජෙන්තාකගෘහ කැරැවිය, ජෙන්තාකගතෘහශාලා කැරැවීය. පොකුණු කැරැවිය මඩු කැරැවිය.

ජේතරාජ කුමාරයා ද, තමුන් ලබා ගත් බිම් කොටසේ දොරටුවක් සකස් කිරීමට යොමු ව ඇත. දැන් මේ ජේතරාජ කුමාරයාගේ උද්‍යානයේ සිටුතුමා විසින් කරවූ විහාරයේ අංග කීපයක් ම හඳුනා ගැනීමට ලැබේ. ඒ පහත ලෙසිනි.

පිරිවෙන්, දොරටු, උවටන්හල්, ගිනිහල්, කැපකිළි, වැසිකිළි, කැසිකිළි, සක්මන් මළු, සක්මන් හල්, ළින්, ළින්හල්, ජෙන්තාකගෘහ, ජෙනතාකගතෘශාලා, පොකුණු සහ මඩු

මේ ආරාම කර්මාන්තය අවසන් වූ පසුව බුදුරජාණන්වහන්සේ රජගහ නුවර සිට සැවැත්නුවරට වැඩි සේක. එසේ වැඩම කර ආරාමය පිළිගත් සේක.

ත්‍රිපිටකයේ කෙරෙන මේ විස්තරය අනුව ක්‍රි.පූ.5 වන සියවස වන විට සැවැත්නුවර ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබී ඇති බවට අමුතුවෙන් කිව යුතු නොවේ. මුදල් භාවිතාව ගැන දැක්වෙන කරුණු වලින් ම ඒ බව තහවුරු වේ.

සැවැත්නුවර කෝසල රාජ්‍යයේ අගනගරය විය. බුදුරජාණන්වහන්සේ මේ වන විට වැඩ සිටි රජගහ නුවර මගධයේ අගනුවර විය. බුද්ධ කාලයේ දී ඉන්දියාවේ තිබූ විශාලම රාජ්‍ය 6 අතරින් දෙකක් ලෙසින් මේ රාජ්‍ය දෙක හැඳින් වේ. ත්‍රිපිටකය තුළම සොළොස් මහ ජනපද පිළිබඳව නම් කරද්දී කෝසල ගැනත් කියයි. බුදුරජාණන්වහන්සේත් අයත් වූයේ කොසොල් රාජ්‍යයටම වේ.

ජාතක කථා ආශ්‍රයෙන් විමසීමේ දී මේ ආරාම පූජාව මාස 9 ක පමණ කාලයක් සිදුව තිබේ. ඒ සඳහා සිටුතුමාගේ චූල සුභද්‍රා, මහා සුභද්‍රා දූවරු මෙන්ම පුත්‍රයාද සම්බන්ධව ඇත.

ජේතවනාරාමයේ සිටියදී බුදුරජාණන්වහන්සේ පැන් පහසු වූ  පොකුණ, ජේතවණපොක්ඛරණී නැත්නම් ජේතවණ පොකුණ ලෙසින් හැඳින්විනි.

ජේතවනාරාමය ආශ්‍රිතව තිබුනේ වනයකි. අරණ්‍යයක් ලෙසින් එය දැක් වේ. එයට වටින් අඹ වනයක් විය. දොරටුවට ඉදිරියෙන් ආනන්ද බෝධිය පිහිටුවීමට සිටුතුමා කටයුතු කරන ලදි. ධම්මපදය සමඟ සැලකිල්ලට ගත් විට චින්චිමානවිකාව ද වාසය කරනු ලැබ ඇත්තේ ජේතවනාරාමය ආශ්‍රිතව ය. ජේතවනාරාමයට පිටින් තීර්ථකයන් පදිංචිව සිටිනු ලැබූ ස්ථානයකි. ජාතක කථා කියවන්නේ නම් ඔවුන් පසේනදි රජුට අල්ලස් දී ජේතවනාරාමයට හානි කිරීමට දරනු ලැබූ උත්සාහය ගැන අසා ඇතුවාට සැක නැත.

ජේතවනාරාමය අසල ළමයින්ගේ ක්‍රීඩා පිට්ටනියක් ද තිබී ඇත. එහි සෙල්ලම් කරනා ළමුන් පිපාසය දැනුන විට ජලය ලබා ගෙන ඇත්තේ ජේතවනාරාමයෙනි. සැවැත්නුවරට ගමන් කරනා ප්‍රධාන මාර්ගය ද වැටී තිබී ඇත්තේ ජේතවනයට මායිම් ව ය. මෙනිසා මාර්ගයේ ගමන් ගන්නා මගීන් විවේකය සඳහා මෙහි සෙවන ලබා තිබේ.

දිව්‍යාවදානයේ දැක්වෙන ආකාරයට සැරියුත් සහ මුගලන් දෙනම වෙනුවෙන් සැකසූ ස්ථූප අශෝක කාලය දක්වාත් මෙහි තිබී ඇත. ෆා හියන් භික්ෂුව මෙන්ම හ්‍යුත් සාං භික්ෂුව විසින් ද ජේතවනාරාමය පිළිබඳව විස්තර කර තිබේ. ෆා හියන්ට අනුව විහාරය සත්මහල් ය. මීයකුගෙන් සිදු වූ අනතුරක් නිසා ගින්නෙන් පිළිස්සුණු විහාරය පසුව මහල් දෙකකට නවීකරණය කර ඇත. ෆා හියන් තවදුරටත් මෙහිදී බුදුරජාණන්වහන්සේට සම්බන්ධ කරමින් සකස් කර තිබූ ස්ථූප කීපයක් ම දැක තිබේ.

බුදුරජාණන්වහන්සේ වැඩ සිටි ඝන්ධකුටියේ ඇඳේ කණු හතර බිම වදින ස්ථානය, සෑම බුදු කෙනෙකුටම නොවෙනස්ව පවතින බවට කියයි. නමුත් විහාරය එක් එක් බුදුවරයාට අනුව වෙනස් විය හැක.

බුදුරජාණන්වහන්සේ වස් කාල 19 ක් ජේතවනාරාමයේ වැඩ වාසය කර තිබේ.

ඉන්දියානු රජය විසින් සහෙත් මහෙත් දිස්ත්‍රික්කයේ සහෙත් යන්නෙන් ජේතවනය අදහස් කරයි. 

අන්තර්ජාලය ආශ්‍රිත ජේතවනාරාමයේ ඡායාරූප එකතුව.


ජේතවනාරාමයේ සැලැස්ම 

 


 
සාරිපුත්ත චෛත්‍යය

ආනන්ද බෝධිය 

ජේතවනාරාමයේ කැණීම් වලින් හමුවන නටබුන්

ධර්මශාලාවේ නටබුන් 

ගන්ධකුටිය 

මූලගන්ධකුටි 

Labels: , , , , ,

Thursday, September 30, 2021

ඇවිලෙන ගින්නට පිදුරු [8] - වෛශාලී

 

වෛශාලී

බුදුරජාණන්වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී පාඨලීපුත්‍ර නුවර ගැන විස්තර කර තිබේ. එවකට අජාසත් රජුගේ සෙනෙවියන් දෙදෙනකු පාඨලීපුත්‍ර නුවර නිර්මාණය සඳහා යොදවා තිබිණි. ඒ සුනීධ සහ වස්සාකාරයි. පාඨලීපුත්‍රය, පසුව අජාසත් රජු විසින් මගධ රාජ්‍යයේ මුල් තැන බවට පත්කරන ලදි. මේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී ම බුදුරජාණන්වහන්සේ විසින් වජ්ජින් ගැන සඳහන් කරයි. වජ්ජීන් රාජ්‍ය කළේ විශාලා නුවර ය. අජාසත් රජු විසින් විශාලාව ද මගධ රාජ්‍යයට ඈඳා ගන්නා ලදි.

බුද්ධ කාලයේ දී විශාලා නුවර මෙන්ම පැළලුප් නුවර ද බොහෝ භික්ෂූන් වහන්සේලා වාසය කළ බව පෙනී යයි. අට්ඨකනාගර සූත්‍රයේදී මෙසේ දැක් වේ.

ඉක්බිති අට්ඨක නගර වැසි දශම ගෘහපති පැළලුප් නුවර වූ ද විසාලා නුවර වූ ද භික්‍ෂු සඞ්ඝයා රැස්කරවා ප්‍රණීත ඛාද්‍යභොජ්‍යයෙන් සියතින් සන්තර්පණ සම්ප්‍රවාරණ කැරැවී. යළි එකෙකි භික්‍ෂුවට එකෙකි වස්ත්‍ර යුග්මයක් දුන්නේ ය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධාතූන්වහන්සේලා වෙනුවෙන් විශාලාවේ ද චෛත්‍යයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳව මහා පරිනිර්වාණ සූත්‍රයේ දැක් වේ.

විනය පිටකයේ බොහෝ අවස්ථාවලදී විශාලාවේ පිහිටි ‘කූටාගාර‘ ශාලාව ගැන කියැ වේ. මේ අනුව කූටාගාර ශාලාව ද විශාලාවේ පිහිටා තිබී ඇත.

වජ්ජීන් පරාජය කිරීම සඳහා බුදරජාණන්වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට අජාසත් රජු උත්සුක වූ බව කියයි (වස්සාකාර සූත්‍රය). ඊට හේතුව වූයේ ඔවුන්ව පරාජය කිරීම ඉතා අපහසු කාර්යයක් වීම නිසාවෙනි. බුද්ධ කාලය වන විටත් වෛශාලිය මුල් කරගත් ප්‍රජාතාන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් පිහිටා තිබී ඇති අතර එවැනි පැරණිම ආණ්ඩුක්‍රමය එය ලෙසින් සැලකීමේ වරදක් ද නැත. 

මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩ වසන සේක. එ සමයෙහි මාගධරාජ වූ වේදේහී පුත්‍ර‍ වූ අජාතසත්තු තෙම වැදෑරජුන් මඩනට යනු කැමැතියේ වෙයි.

හේ මෙසේ කියයි: මම මෙසෙයින්, මහර්ධි ඇති මෙසෙයින් මහානුභාව ඇති මෙ ව්‍රජිරජුන් සිඳ ලන්නෙමි, ව්‍රජිරජුන් වනසන්නෙමි, ව්‍රජරාජයන් අනයව්‍යසනයට පමුණුවන්නෙමියි.

ඉක්බිති මාගධරාජ වූ වේදේහී පුත්‍ර‍ අජාතසත්තු රජ මගධ මහමාත්‍ර වූ වත්සකාර බ්‍රාහ්මණයා ඇමැතී ය: බ්‍රාහ්මණය, එව තෝ භාග්‍යවතුන් වහන්සේ කරා යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳුව. අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් සිරිරුබල පහසුවිහරණ පුළුවුස්ව.

වහන්ස, වේදේහී පුත්‍ර‍ අජාතසත්තු මාගධරාජ භාග්‍යවතුන් වහන්සේගේ පා වඳනේ ය. අල්පාබධ අල්පානඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ විචාරන්නේ ය. වහන්ස, වේදේහී පුත්‍ර‍ අජාතසත්තු මගධරජ වැදෑමහරජුන් මඩනට යනු කැමැත්තේ ය. හේ මෙසේ කියයි: මම මෙබඳු මහර්ධි ඇති මෙ බඳු මහානුභව ඇති මෙ වැදෑ රජුන් උසුන් කරන්නෙමි. මෙ වැදෑරජුන් වනසාලන්නෙමි. මෙ ව්‍ර‍ජීන් මම අනය ව්‍යසනයට පමුණුවන්නෙමියි. ඒ භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි පාළ කරණසේක් නම් එය මනාකොට උගෙණ මට සැළ කරව. තථාගතයෝ අසත්‍යයක් නො වදාරන්නාහයි.

වර්තමාන බිහාරයේ වෛශාලිය පිහිටා තිබේ. ඉන්දියාවේ දක්නට ලැබෙන වඩාත් හොඳින් ම ආරක්ෂා වී ඇති අශෝක ස්ථම්භය දක්නට ඇත්තේ මෙහි ය. ඒ අසල ආනන්ද ස්ථූපය ද තිබේ. අභිෂේක පොකුණ ද දක්නට ලැබේ. එපමණක් නොව ධාතූන්වහන්සේලා නිධන් කළ ස්ථූපයේ පාදම ද දක්නට ලැබේ. අද එය වහලකින් ආවරණය කර ඇත්තේ ආරක්ෂාව සඳහා ය. 

සමහරු සොළොස් මහජනපද ඔස්සේ යමින් විශාලා නුවර ඇත්තේ ලංකාවේ බව කියති. තමුන් කැමැති මතයක් දැරීමට තමුන්ට අයිතිය ඇති නිසා ඒ පිළිබඳව අපි වැඩිදුර කථා කිරීමේ අවශ්‍යතාවක් නැත.

කෙසේවෙතත් ලංකාවේ විශාලාව පෙන්වද්දී බුදුරජාණන්වහන්සේගේ සමකාලීනයකු වූ මහාවීර ශාස්තෘවරයා ගැනත් කථා කිරීමට සිදු වේ. මන්දයත් විශාලාව මහාවීරට ද නැත්නම් ජෛන දහමට සම්බන්ධ වන නිසාවෙනි. මහාවීරගේ උපත විශාලාවේ සිදුව තිබේ (https://timesofindia.indiatimes.com/travel/destinations/more-about-vaishali-the-worlds-first-republic/as67686085.cms).

විශාලා යන නම විශාලි රජු ගේ නමින් හැදී ඇති බවට විශ්වාස කරයි. බුදුදහම නැත්නම් ජෛන දහම පැතිරීයාමට පෙර සිට විශාලාව සමූහාණ්ඩුවක් ලෙසින් ක්‍රියාත්මක වී තිබේ. ග්‍රීසියේ සමූහාණ්ඩුව ඇරඹෙන්නේ මින් පසුව ය. ඒ විශාලාව මිථිලාවට සම්බන්ධ වේ.

මිථිලා නම විදේහ රාජ්‍යයත් සමඟ බැඳී පවතී. ඒ අනුව විශාලාවේ ඉතිහාසය වෛදික යුගයට දිවයයි. මයිකල් විට්සෙල්ගේ Tracing the Vedic dialects in Dialectes dans les litteratures Indo-Aryennes කෘතියට අනුව ඉන්දු ආර්යන් විසින් මිථිලාව ප්‍රසිද්ධ කර ඇත්තේ විදේහ රාජ්‍යය ඇති කිරීමටත් සමඟ ය. ක්‍රි.පූ.1100 – 500 අතර කාලයේ දී කුරු, පංචාල ආදී රාජ්‍යයන් සමඟ විදේහ රාජ්‍යය අතීත ඉන්දියාවේ ප්‍රභල රාජ්‍යයක් බවට පත් වෙයි. විදේහයේ රජුන් හඳුන්වා ඇත්තේ ‘ජනක‘ යන නාමයෙනි. ආර් හේමචන්ද්‍රගේ Political History of Ancient India කෘතියට අනුව විදේහ රාජ්‍යය වජ්ජි සමූහාණ්ඩුවට එකතු වන්නේ විශාලා අගනගරය බවට පත් කරමිනි. ඒ අනුව අතීත මිථිලාව විශාලාව හා බැඳේ.

ඉතින් ලාංකිකයන්ට කෙතරම් ආඩම්බරයක් ද? මිථිලාවත් ලංකාවේ වූ විට.

මිථිලාවේ රජුන් ජනක ලෙසින් හැඳින් වූ බව ඉහතින් සඳහන් කළෙමි. විදේහ රාජ්‍යය සිය ගමනේ සංධිෂ්ඨානයක් ලබා ගන්නේ ජනක රජුගේ කාලයේ ය. එය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 800 පමණ ලෙසින් සැල කේ. බ්‍රාහ්මණ ග්‍රන්ථ සහ බ්‍රිහදරන්‍යක උපනිෂද් ග්‍රන්ථ මේ ජනක රජු, දාර්ශනික රජකු ලෙසින් නම් කරයි.

දැන් මදකට රාවණ රජුටත් යොමු වෙමු. රාවණ රජු ගැන කථා කරද්දී රාමචන්ද්‍ර ගැන කථා නොකර බැරිය. ලංකාවේ රාවණ රජු ගැන කථා කරන්නෝත් රාමචන්ද්‍ර ගැන කථා කරති. සීතා චරිතය ලංකාවේ රාවණ රජු ගැන කථා කරන්නොත් ප්‍රතික්ෂේප කරන චරිතයක් නොවේ. රාමායණයට අනුව සීතා, විදේහයේ ජනක රජුගේ දුව වේ. රාමායණයට අනුව ඇය රාමචන්ද්‍ර සමඟ විවාහ වීම නිසා විදේහ රාජ්‍යයත් කෝසල රාජ්‍යයත් අතර රාජතාන්ත්‍රික සබඳතා ඇති වේ.

විෂ්ණු පුරාණයට අනුව විශාලාව මුල් කරගත් රාජ නාම ලැයිස්තුවක් ඇත. එහිදී රජවරු 34 දෙනකු ගැන සඳහන් වේ. පෙර කී විශාලි රජු සිටි බව කියන්නේ මහාභාරත යුගයේ ය. ඔහුගේ කාලයේ දී මෙහි බලකොටුවක් තිබූ බව කියයි. විශාලි රජු ගැන කථාව https://www.wisdomlib.org/hinduism/book/the-garuda-purana/d/doc59317.html හරහා ඔබට කියවිය හැක. විශාලාව ලංකාවේ ඇති බවට වන මතය දරන්නන්ට මෙය ඉතා සතුටු විය හැකි අවස්ථාවකි. කෙසේවෙතත් විශාලාව ඉන්දියාවේ බවට වන මතය ද ඇති නිසා ඊට අදාළ ගූගල් සිතියම ද මේ ලිපියට අමුණා ඇත්තේ ය. 

 

එසේම අද වන විට විශාලා රජුගේ මාළිගය ලෙසින් ඉන්දියාවේ සලකන ස්ථානයේ ඡායාරූප දෙකක් ද මේ සමඟ වේ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

හෙළ බුදුන් නැත්නම් බුදුරජාණන්වහන්සේ ලංකාවේ බවට වන මතය දරන්නෝ ද සිටිති. ඔවුන් සමඟ මගේ ගැටීමක් නැත. එය ඔවුන් විසින් සනාථ කර ඇත. බෞද්ධ සාහිත්‍ය තුළ ලිච්ඡවි රජුන් 7707 ගැන සඳහන් වේ. ලංකාවේ එවැනි රාජ පරම්පරාවක් සිටි බවට පිළිගත හැකි සාක්ෂි නැතත් හෙළ බුදු මතය දරන්නන්ට අනුව සිතිය හැක්කේ ලංකාවේ ප්‍රාදේශික රජ පරම්පරාවක් ලෙසිනි. ඉන්දියාව තුළදී ත් මේ සම්බන්ධයෙන් ප්‍රභල සාක්ෂි නැති අතර ඇත්තේ පෙර කී සාහිත්‍යමය සටහන් පමණි. නමුත් ඉහත තැනකදී සඳහන් කළ රජ ලැයිස්තුවක් ද ඇත. එවැන්නක් ලංකාවේ සොයා ගැනීමට මෙතෙක් නොහැකි විණි.

පෙර දී මහාවීර ගැන සඳහන් කළෙමි. මහාවීර ගැන කියද්දී ඔහුගේ පියා ලෙසින් හැඳින්වෙන්නේ සිද්ධාර්ත රජු ය. මව, ත්‍රිෂාලා වේ. මේ ත්‍රිෂාලා, විශාලාවේ රජු වූ චේතකගේ සහෝදරිය ලෙසින් දක්වා තිබේ. මොහුට වර්ධමාන නම් නම ලැබී ඇත්තේ මව්කුසයේ සිටින කාලයේ දී රාජ්‍යය සමෘද්ධිමත් වීම නිසාවෙන් බව කියයි. කෙසේවෙතත් ඔහුට අවුරුදු 30 දී ඔහුගේ දෙමාපියන් අහිමි වී ඇති අතර ඒ වන විට මහාවීර නමින් හඳුන්වා ද තිබේ. අවුරුදු 30 දී මහාවීර, රජ සැප අතහැර යයි. වර්ධමාන කුමාරයාගේ මුද්‍රාව මෙහි දැක් වේ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

බෞද්ධ සාහිත්‍යයේදී හමුවන තවත් ප්‍රසිද්ධ චරිතයක් වන්නේ අම්බපාලී යි. ඇය ද විශාලාවට සම්බන්ධ ය. 

අම්බපාලී ගණිකා තොමෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වැඩ විසල්පුරට නොදුරු වූ මාගේ අඹවෙනෙහි වසන සේකැ’ යි ඇසුවා ය. ඉක්බිති ඕ තොම සොඳුරු සොඳුරු යානයන් යොදවා, සොඳුරු යානයකට නැඟ, සොඳුරු සොඳුරු යානයන්ගෙන් උපලක්‍ෂිත වැ විසල්පුරෙන් නික්මුණා ය. සිය අරම කරා එළැඹියා ය. යානයට බිම යම් තාක් ද ඒ තාක් යානයෙන් ගොස් එයින් බැස පාගමන් ඇත්තී ම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නා ය. එක් පසෙක හුන් අම්බපාලිගණිකාවට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දොලෝවැඩ දක්‍වා වදාළ සේක. එය සිතට ගැන්වූ සේක. එහි සිත් තියුණු කළ සේක. එහි සිත සතුටු කරැවූ සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්‍වන ලද, එය සිතට ගන්නව ලද, එහි සිත තියුණු කරන ලද, එහි සතුටු කරන ලද අම්බපාලි ගණිකා තොමෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන සමඟ ව සෙට දිනට මගේ බත ඉවසන සේක් වා’ යි අයැද සිටියා ය. භාග්‍යව‍‍‍තුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති අම්බපාලි ගණිකා තොම භාග්‍යවතුන් වහන්සේ තම අයැදුම ඉවැසූ නියා දැන හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මියා ය. (මහාපරිනිර්වාණ සූත්‍රය)

ආපසු බුදුරජාණන්වහන්සේගේ කාලයට යොමුවුවහොත් පෙර දී ද දැක්වූ පරිදි අජාසත් රජු විසින් විශාලාවත් තමුන්ගේ මගධ රාජ්‍යයට ඈඳා ගනී. ඉන් පසු විශාලාව ගැන එතරම් කථා වන්නේ නැත. ඔහු විසින් පාටලීපුත්‍රයට මුල් තැන දෙයි. නමුත් නැවතත් විශාලාව ගැන බෞද්ධ සාහිත්‍යයේදී කාලාශෝක කාලයේදී කථා වෙයි. ඒ එය දෙවැනි ධර්ම සංගායනාව පැවැත්වූ ස්ථානය නිසාවෙනි.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය තුළ විශාලාව ඇති බව කියයි. එහි අද දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ පෙන්වන ඡායාරූප කීපයක් මේ සමඟ අමුණා තිබේ.

පසු ලිපියකදී ඉන්දියාවේ විශාලාවට අදාළ තවත් විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ඡායාරූපය අන්තර්ජාලයෙනි. අභිෂේක පුෂ්කර්ණී.

       
ඡායාරූප අන්තර්ජාලයෙනි. බුද්ධ ධාතු ස්ථූපයේ පාදම/වර්තමානයේ ආරක්ෂාවට සාදා ඇති ආවරණය ද සහිතව



 





ඡායාරූප අන්තර්ජාලයෙනි. ආනන්ද ස්වාමීන්වහන්සේගේ ධාතූන් තැන්පත් කල ස්ථූපය සහ අශෝක කුළුණ

ඡායාරූපය අන්තර්ජාලයෙනි. වෛශාලියේ අශෝක කුළුණ

ඡායාරූපය අන්තර්ජාලයෙනි. අශෝක කුළුණේ සටහන්

 

Labels: , , , ,