Wednesday, August 10, 2022

උර් නම්මුගේ නීති සංග්‍රහය

උර් නම්මුගේ නීති සංග්‍රහය

ශ්‍රී ලංකාවේ අපි ඉස්සරට වඩා දැන් ඉතිහාසය, පුරා විද්‍යාව ගැන උනන්දුයි. විශේෂයෙන්ම රාවණ ගැන කතිකාවත, බුදුරජාණන්වහන්සේ ඉපැදුනේ ලංකාවේ ය කියන මාතෘකාව ඒ උනන්දුව පෝෂණය කරන්න එක පැත්තකින් හේතු වෙලා තියෙනවා. තව ඔය සීගිරිය ගැන තියෙන විවිධ මතවාද එහෙමත් ඒකට හේතුවක්. මේ මොන හේතු නිසාවෙන් හරි ඉතිහාසය ගැන දැන් ලාංකිකයෝ වෙනදට වඩා උනන්දුයි කියලා පේනවා. ඒ උනන්දුවට අපේ මේ පුරා විද්‍යා සමාජ මාධ්‍ය සමූහයත් එක හේතුවක් බව අවිවාදයෙන් පිළිගන්න ඕනා. මේ හැඳින්වීම එක්ක අද මම කථා කරන්න හිතුවෙ උර් නම්මු කියන රජු විසින් හැදූ බවට පිළිගන්න නීති සංග්‍රහය ගැන.

වර්තමාන ලෝකය විසින් පිළිගන්න පැරණි ශිෂ්ඨාචාර කීපයක් ම තියෙනවා. ඒ අතරින් සුමේරියානු ශිෂ්ඨාචාරයට හම්බ වෙන්නෙ ප්‍රමුඛස්ථානයක්. මේ ශිෂ්ඨාචාරයට අයත් පුරා විද්‍යාත්මක සොයා ගැනීම් තවමත් සිදු වෙමින් පවතිනවා. දැන් ඔය ලංකාවේ ඉන්න සමහරු කියනවා සුද්දො ඇවිත් අපේ ඉතිහාසය වෙනස් කරලා කියලා. මේ සොයා ගැනීම් කරන්නෙත් ඒ සුද්දොම තමයි. මට හිතා ගන්න බෑ අපේ ඒවා වෙනස් කරලා මේවාට එහෙම නොකරන්නෙ ඇයි කියලා. මොකද සුමේරියාව කියන්නේ යුරෝපය නෙමෙයිනේ. 

උර් නම්මුගේ ප්‍රසිද්ධ ස්ථම්බය - ඡායාරූප අන්තර්ජාලයෙනි.

අපි මේ කථා කරන උර් නම්මු හිටියා කියන්නේ ක්‍රි.පූ.2047 – 2030 අතර කාලයේ. බුදුරජාණන්වහන්සේ ඉපැදෙන්න අවුරුදු 1000 කටත් කලින්. රාජාවලියෙ තියෙන කාල රාමු හැටියට රාවණගේ කාලයේ වගේ. නමුත් උර් නම්මුගේ පැවැත්ම පුරා විද්‍යාත්මකව තහවුරු කරනවා. මේ රාජ්‍ය කාලය හැඳින්වෙන්නෙ සුමේරියාවේ පුනරුද යුගය කියලා. උර් නම්මු ඇති කරන රාජ්‍ය කාලය තවදුරටත් හැඳින්වෙනවා සුමේරියාවේ තුන්වන උර් පාලන කාලය කියලත්. 

 

උර් නම්මු - ඡායාරූප අන්තර්ජාලයෙනි.

ක්‍රි.පූ. 2334-2279 කාලයේ මෙසපොතේමියාව පාලනය කරන්නේ ආකේඩියානු (Akkadian) රාජ්‍ය වංශිකයො. අක්කඩ්හි සර්ගොන් ආරම්භ කල ආකේඩියානු පාලනය. ඒ කාලයේ වර්තමාන ඉරානයේ ඉන්නෙ ගුටියානුවො (Gutians). ඔවුන් නිතරම මේ පාලනයත් එක්ක ආරවුල් කර ගත්තා. ක්‍රි.පූ. 2083 දි විතර ගුටියානුවො ආකේඩියානු පාලනය තමුන්ගේ අතට අර ගන්නවා. ඔවුන් කියන්නේ ඔවුන් තමයි සර්ගොන්ගේ උරුමකාරයො කියලා. සර්ගොන් පාලනය අවුරුදු සිය ගණනක් රාජ්‍ය පාලනය කරන් ගියත් රට වැසියන්ව නිසි ආකාරයෙන් බලාගන්න සමත් වෙන්නෙ නෑ. මේකෙ ප්‍රතිඵලය විදියට මේ රාජ්‍ය කාලය තුළ නොයෙක් විප්ලව, කැරැලි සිද්ධ වෙනවා. ඒ කැරැලි උදව් කරගෙන තමයි ගුටියන්ස්ලා රාජ්‍ය අල්ල ගන්නෙ. ඕනාම රටක් ඇතුලෙ අරගල වෙද්දි පාලනය බිඳ වැටීම සාමාන්‍ය දෙයක්.

ක්‍රි.පූ. 2055-2047 අතර කාලයේ උරුක් ප්‍රදේශයෙන් බිහිවෙන උටු හෙගල් ගුටියන් පාලනයට විරුද්ධව සටන් අරඹනවා. මොහු ඒ සටනකින් ජයග්‍රහණය කරලා ඉන්න අතර තුරේ බන්ට් එකක් හදද්දි වතුරට වැටිලා ගිලිලා මැරෙනවා. ඊට පස්සෙ උරු දේශයේ පාලනය හෙගල්ගේ බෑණා වෙච්චි උරු නම්මුට පැවරෙනවා. මෙහමෙයි උරු නම්මු රාජ්‍ය පාලනයට එන්නෙ. ඒ වගේම තුන්වන උර් පාලන කාලය ඇරඹෙන්නෙ.

උර් නම්මු රාජ්‍යයේ පිහිටුවීමට අදාළ ඵලකය - ඡායාරූප අන්තර්ජාලයෙනි.
 

උර් නම්මු ආපසු ගුටියන්ස්ලා එක්ක සටන් පටන් ගන්නවා. ඒ සටන් වලින් ගුටියන් පාලනයෙ තිබුන ප්‍රධාන නගර කීපයක් ම ඔහුගේ පාලනයට යටත් කර ගන්න සමත් වූ බවයි ඉතිහාසය කියන්නෙ. ගුටියානු පාලන කාලය තුළ රාජ්‍යයේ සංවර්ධනයක් වුන බවක් සඳහන් වෙන්නෙ නෑ. ඉතින් නම්මුට සිද්ධ වෙනවා ඒ ගැන හිතලා වැඩ කරන්න. ඔහු විසින් සංවර්ධන ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා ඒ අනුව රට පාලනය කරනවා.

ඔබ දැනටමත් දන්නවා ඇති ඕනම රටක නීතියේ පාලනය යටපත් වුනාම ඒ රට කඩා වැටෙනවා. හරි හමන් නීති රාමුවක් නැතිව රටක් සංවර්ධනය කරන්න අපහසුයි. ඒ වගේම තමයි රටක තියෙන ආගමික විශ්වාස නැත්නම් ආගමට තියෙන තැන. මේකත් රටක් සංවර්ධනය කරන්න, හොඳින් පානය කරන්න වැදගත් කරුණක්. මේකත් නම්මු හඳුනා ගත් බව පැහැදිලියි. ඉතින් උර් නම්මු නීත සංග්‍රහයක් ඉදිරිපත් කරනවා රට වැසියන්ට පිළිපදින්න. මේ තුළ උර් නම්මු මිනිස්සුන්ට ඒත්තු ගන්වනවා රජු කියන්නේ පාලකයා පමණක් බවත්, නීතිය නිර්මාණය කරන්නා පමණක් බවත්, කවුරුන් හරි ඒ නීති කඩනවා කියන්නේ ඒ කෙනා දේව කැමැත්තට එරෙහිව විප්ලව කරන්නෙක් බවත්.

දැන් මේ උර් නම්මුගේ නීති සංග්‍රහය ලෝකෙ ප්‍රථම නීති සංග්‍රහය කියලා පිළිගත්තට මීට කලිනුත් මේ වගේ නීති සංග්‍රහයන් තිබිලා තියෙනවා. ක්‍රි.පූ.24 වන සියවසට අයත් මෙසපොතේමියාවේ උරුකගිනා නීති සංග්‍රහය තමයි පැරණිම නීති සංග්‍රහය කියලා කියන්නේ. හැබැයි මේකෙ කොටසක්වත් අද අපිට හොයා ගන්න නෑ.  මේ නීති සංග්‍රහය ගැන සඳහන් කරපු පසු කාලන සටහන් තමයි හම්බ වෙන්නෙ. උරු නම්මුගේ නීති සංග්‍රහයෙ  කොටස් අපිට දකින්න පුළුවන්. කියවන්න පුළුවන්. ඒ නිසයි ඒ නීති සංග්‍රහයට අද පැරණිම නීති සංග්‍රහය කියන විරුදාවලිය ලැබෙන්නෙ. ආරක්ෂිතවම තියෙන පැරණිම නීති සංග්‍රහය තමයි හමුරාබිගේ නීති සංග්‍රහය.

උර් නම්මු හදන මේ නීති සංග්‍රහය ඔහුගේ අනුප්‍රාප්තිකයා වුන ශුල්ගිගෙ කාලයේ දී රාජ්‍ය පුරාම ප්‍රචලිත වෙලා තියෙනවා. සමහරු මේ නීති සංග්‍රහය ශුල්ගිගෙ නිර්මාණයක් කියලා කියන්නත් ඒක හේතුවක්.  මේ තියෙන්නෙ දැනට දකින්න පුළුවන් උර් නම්මුගේ නීති සංග්‍රහය. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 

Labels: , , , , , , ,

Wednesday, September 15, 2021

සනුලි සහ මානව ශිෂ්ටාචාරය

 සනුලි සහ මානව ශිෂ්ටාචාරය

සොහොනක් යනු සාමාන්‍යයෙන් මිනිසාට ප්‍රියවඩන ස්ථානයක් නොවේ. නමුත් මානව ශිෂ්ටාචාරයේ අක්මුල් සොයා යන විට සොහොන් ඉතා පුළුල් මෙහෙයක් ඉටු කරයි. ලංකාවේදී සොහොන් බිම් ආශ්‍රය කර ගනිමින් අපේ මුතුන් මිත්තන් ගැන වටිනා සහ වැදගත් කරුණු අනාවරණය කර ගැනීමට සමත් ව ඇත. ඔබට ඒ පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ඇති බව මා දන්නෙමි. එනිසා ඒ ගැන මෙහිදී කථා කිරීමට යොමු නොවෙමි.

මේ කථා කරන්නේ ඉන්දියාවේ එවැනි එක් සොහොන් බිමක් ගැන ය. උත්තර් ප්‍රදේශයේ සනුලි (Sanauli) ගමේ ගොවියකු වූ ශ්‍රීරාම් ශර්මා 2005 වසරේ එක්තරා දවසක තමන්ගේ ගොවිතැන් කටයුතු වල පෙර දිනවල මෙන්ම නිරත වී සිටින ලදි. එසේ කටයුතු කරද්දී හදිසියේම ඔහුට මිනිස් ඇට සැකිලි, තඹ මුට්ටි කීපයක් හමු විනි. ඔහු මේ පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යයන්ට දැනුම් දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් ඉන්දියානු පුරාවිද්‍යා ආයතනය ද එම ස්ථානයට පැමිණ කැණීම් ආරම්භ කරන ලදි. එහිදී අනාවරණය වූයේ එය සොහොන් බිමක් බවයි. මාස 13 ක කාලයක් පුරා කරනු ලැබූ මුල් කැණීමේ දී කරත්ත, මළ සිරුරු, මුට්ටි, ඇට සැකිළි, ලොව පැරණිම තඹ සෙබළ හිස්වැසුම යැයි සැලකෙන හිස්වැසුමක් සොයා ගැනීමට හැකියාව ලැබිණි. මේවා වසර 2000 ක් පමණ පැරණි ය.

මේ අයිතමයන්ගෙන් සමහරක් තුළ දැව ද දක්නට ලැබේ. අවුරුදු 4000 ක් පමණ කාලයක් විනාශ නොවී පැවතීමට හේතුව වී ඇත්තේ ඒ වටා තඹ ආලේප කර තිබීම නිසාවෙනි.

කෙසේවෙතත් සොහොන් බිමෙන් සොයා ගත් ශේෂ 125 කාබන් කාල නිර්ණයට අනුව වසර 4000 ක් පමණ පැරණි බව අනාවරණය කර ඇත. එය ලංකාවේ දේවාලපොල කැණීම්වලින් හමු වූ ශේෂයන්ටත් වඩා පැරණි බව පෙනී යයි.

නමුත් මෙහි ඇති වැදගත් ම සොයා ගැනීම වන්නේ මෙය නොවේ. කැණීම්වලදී අනාවරණය වූ කරත්ත තුනයි. ස්වභාවය අනුව එම කරත්ත අශ්වයන් යොදා ධාවනය කරනු ලැබූ කරත්ත බවට මත පල වී ඇත. ඉන්දියාවට අශ්වයන් හඳුන්වා දෙන්නේ ක්‍රි.පූ.1500 වැනි කාලයේදී මධ්‍යම ආසියාවේ සිට පැමිණි ආර්යයන් විසින් බවට ඉතිහාසඥයන් කියයි. සුමේරියානු, මෙසපොතේමියානු සංස්කෘතිය තුළ ක්‍රි.පූ. 3000 පමණ වන විටත් අශ්ව කරත්ත පිළිබඳව සඳහන් වේ. හරප්පා ශිෂ්ටාචාරය තුළ කරත්ත භාවිතා වී ඇතත් ඒවා අශ්වයන් විසින් නොව ගොනුන් බැඳි කරත්ත ලෙසින් හැඳින් වේ. එවිට මේ සොයාගැනීම මඟින් ඉන්දියාව තුළ මෙසපොතේමියානු නැත්නම් සුමේරියානු ශිෂ්ටාචාර හා සමඟ යන ශිෂ්ටාචාරයක් පැවැති බවට මත ඉදිරිපත් වේ. එසේම හරප්පා ශිෂ්ටාචාරය හා සනුලි සමකාලීන ද යන්න පිළිබඳව ද විවිධ මත ඉදිරිපත්වීමට ද හේතුවක් වේ.

සනුලිවලින් හමු ව ඇති බොහෝ අයිතම හරප්පා ශිෂ්ටාචාරයෙන් හමුව ඇති අයිතම හා සමාන ය. නමුත් වෙනස්කම් ද දැකිය හැකිවේ. තඹ ආලේප කිරීම ඒ ප්‍රධාන වෙනස්කමයි. ඒ අනුව සිතිය හැක්කේ හරප්පා ශිෂ්ටාචාරයට සමකාලීන විය හැකි නමුත් ඉන් වෙනස්ව සනුලි පැවත ඇති බවයි. එසේම හරප්පා ශිෂ්ටාචාරයේ දී හමුවන ගඩොල් වලට වඩා විශාල ගඩොල් සනුලි කැණීමේ දී හමු වී ඇත.

තවදුරටත් සනුලිහි කැණීම් අනුව සොහොන් බිම රාජකීය සෙබළ කණ්ඩායමකට අයත්යැයි සැලකෙන සාධක ද හමු වී තිබේ. හරප්පා වලදී හමුවනවාට වඩා ප්‍රමාණයෙන් කුඩා කරත්ත සනුලිවලදී හමු ව ඇත. ඒ අනුව මෙම කරත්ත බර හෝ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත් ඒවාට වඩා පුද්ගලයන් දෙදෙනකුට නැත්නම් අයකුට ගමන් කිරීම සඳහා සකස් කර තිබෙන්නට ඇතැයි මත පල වේ. එසේම කරත්ත ආවරණය කර ඇති තඹ ආලේපනය ද යුධ කටයුතු සඳහා ඒවා යොදා ගැනීමට ඇති බවට සාක්ෂි වේ. තවද, හමුව ඇති සෙබළ හිස්වැස්ම, කඩු සහ පළිහ ද ඊට සාධකයකි.

තවදුරටත් සනුලි හි කැණීම් සිදු කරමින් පවතී. ඒ අනුව ඉදිරියේ දී තවත් තොරතුරු අනාවරණය වනු ඇත. ඒ තොරතුරු මඟින් වසර 3000 – 4000 පමණ අතීතයේ දී දකුණු ආසියානු කලාපයේ ජීවත් වූ විශේෂ ජන කොට්ඨාශයක් ගැන තොරතුරු හෙළිදරව් වනු ඇත. 

ඇමුණුම් සියල්ල අන්තර්ජාලයෙනි. 

 

කඩු


කරත්තයේ තඹ ආලේපිත රෝදයේ පැත්තක්

ඇට සැකිල්ලක්


හිස්වැසුම





 

Labels: , , , ,

Sunday, September 12, 2021

මහා ගං වතුර හා මුහුද ගොඩ ගැලීම

 

මහා ගං වතුර හා මුහුද ගොඩ ගැලීම.

2004 අවුරුද්දෙ සුනාමිය ඇවිත් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශයට ලොකු බලපෑමක් කරනවා. 2004 වෙද්දි ‘සුනාමි‘ කියන්නෙ අපිට පුරුදු වචනයක් නෙමෙයි. හැබැයි අද ගොයම් කපන මැෂිමටත් කියන්නෙ ‘සුනාමි‘ කියලා. සුනාමිය නිසා අදටත් දුක් වෙන ජීවිත අපි අතරෙ ජීවත් වෙනවා. හරි ඒක පැත්තකින් තියමුකො. මේ ගෘප් එකට මොකටද සුනාමි කථා නේද?

ඔය සුනාමිය ලංකාවට ආවට පස්සෙ අපේ කට්ටිය කියන්න ගත්තා සුනාමිය අලුත් දෙයක් නෙමෙයි මීට කලිනුත් ඒ ගැන ලංකාවේ සඳහන් වෙනවා කියලා. මතකනෙ කැළණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ විහාර මහා දේවිය මුහුදෙ පා කරන්නෙ ඔය සිද්ධිය නිසාවෙන් කියනවනේ. ඒ ක්‍රි.පූ. 200 – 100 ත් අතරෙ. ඓතිහාසිකව මේ මුහුද ගොඩ ගැලීමේ කථාව සනාථ වෙලා නැති බව හැබෑව තමයි. නමුත් එහෙම සඳහනක් තියෙනවා.

මේක මෙහෙම වෙද්දි ලෝකෙ අපි බැලුවොත් හුඟක් පැරණි ශිෂ්ටාචාරවල මේ වගේ කථාවක් තියෙනවා. එක අතකට ඒක ලෝකෙටම පොදු කථාවක්. මහා ජල ගැල්ම. මහා ජල ගැලුමක් ඇති වෙනවා. මිනිස්සු විනාශ වෙලා යනවා. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් ඉතිරි වෙනවා. එයාලගෙන් ආපහු පරම්පරාව හට ගන්නවා. මේක හරි ලස්සන කථාවක් විතරක් නෙමෙයි ඉතිහාසගත කථාවක්.

ඒ කථාවෙන් කීපයක් විතරක් අපි මෙතැනට ඇදලා ගන්නවා.

මුලින්ම ගන්නෙ ගිල්ගමේෂ්. මේක ඉතිහාසය ගැන දන්න හැමෝම දන්න කථාවක්. ගිල්ගමේෂ්ව දන්න නිසා එයා ගැන විස්තර කරන්න යන්නෙ නෑ. යාළුවා මැරුණට පස්සෙ ගිල්ගමේෂ් සියල්ල අතෑරලා අමරණීයත්වය හොයන් යද්දි එයාට හම්බවෙනවා උට්නපිෂ්ටිම්. මේ උට්නපිෂ්ටිම් තමයි ගිල්ගමේෂ්ට ජලගැල්මේ කථාව කියන්නෙ. ගිල්ගමේෂ් කාව්‍යයේ 11 වන පුවරුවේ 1 – 203 දක්වා කොටසේ මේක ඇතුළත්. ඒ හැටියට මහ දෙවිවරු කෝප වෙලා ගං වතුරක් ඇති කරලා මිනිස්සු ටික පොළොවෙන් අතුගාලා දාන්න ප්ලෑන් කරනවා. එතන උන්න එක දෙවියෙක් උට්නපිෂ්ටිම්ට මේක දැනුම් දෙනවා. එයා බෝට්ටුවක් හදලා ඒකට එයයි තව තෝරා ගත්ත පිරිසකුයි එක්ක ගොඩ වෙනවා. කිව්වා වගේ ගංවතුර ඇවිත් ඒ බෝට්ටුවට නැග්ග කට්ටිය හැර අනෙක් පිරිස විනාශ වෙලා යනවා. මේ සිද්ධියෙන් බේරෙන උට්නපිෂ්ටිම්ට හා එයාගේ බිරිඳට අමරණීය වෙන්න අවස්ථාව ලැබෙනවා.

මේක දිග කථාවක්. මේ දැම්මෙ සාරාංශය.

මේ වගේම කථාවක් අත්‍ර හසිස් කියන පැරණි ආකේඩියානු කාව්‍යයෙත් ඇතුළත් වෙනවා. ඒක ක්‍රි.පූ. 1800 වගේ කාලෙට දිව යන්නක්.

ඊළඟට බලන්න බයිබලයේ පැරණි ගිවිසුමේ දී හමුවෙන නෝවා ගේ නැව. ඒකත් මහ ගංවතුරකට සම්බන්ධයි නේ. කුරාණයෙත් මේ කථාවම තියෙනවා. සියළු දෙනා මැරුණට පස්සෙ නෝවා සහ පිරිසගෙන් තමයි අළුත් පරම්පරාව පටන් ගන්නෙ.

අනෙක් අතට බලන්න ඉන්දියාව. මත්ස්‍ය පුරාණයෙත් මේ වගේ කථාවක් තියෙනවා. ගං වතුරක් එක්ක මැරෙන මිනිස්සු සහ බේරෙන කීපදෙනා. ඒ පුරාණයේදී විෂ්ණු මත්ස්‍ය අවතාරයක්.

ඊජිප්තුවෙත් රාට අදාලව මෙහෙම කථාවක් තියෙනවා.

ලෝකෙ හුඟක් රටවල්වල මේ වගේ කථා තියෙනවා.

බුද්ධ ධර්මය තුළත් මෙවැනි කථාවක් තියෙනවා. කියවලා බලන්නකො සමුද්‍ර වාණිජ ජාතකය. ඊට අමතරව විඩූඩහටත් වෙන්නෙ මේ වගේම සිද්ධියක්.

දැන් ආයිත් අපි බලමු කැළණි තිස්ස රජ්ජුරුවො ගැන. මේ සිද්ධියට කලින් වුන මුහුද ගොඩ ගැලීමක් ගැන රාජාවලියෙ සඳහන් වෙනවා. දන්නවනේ නේද. ඒ රාවණාගේ කාලේ. රාවණාගේ නොහික්මුණ ක්‍රියා නිසා මුහුද ගොඩ ගලපු බව රාජාවලියෙ සඳහන්.

මේ හැම කතාවකම වගේ යන එක තියරියක් තමයි ජල ගැල්මට අහුවෙන්නෙ එපා කරපු කට්ටිය. ඒ වගේම හොඳ මිනිස්සු ඉතුරු වෙනවා. උදාහරණයකට බලන්න සමුද්‍ර වාණිජ ජාතකය. කැළණි තිස්ස කථාවේ උනත් ඒක වෙන්නෙ කරපු නොහික්මුණ ක්‍රියාවක් නිසා කියලනෙ කියන්නෙ.

කලින් කිව්වා වගේ ලෝකෙ පුරාම පොදුවෙ මෙහෙම කථාවක් පැතිරෙන්න බලපෑවේ මොන කාරණයක් ද? ඇත්තටම මේ කථාවල කියන විදියෙ මහ ජල ගැල්මක් නැත්නම් මුහුද ගොඩ ගැලීමක් වුනා ද? මේක කාගෙ හරි මනසෙ මැවුන හිතලුවක් ද? මේ ප්‍රශ්නවලට උත්තර කියන්නෙ ඉතින් විවාදයක්. තවමත් නිශ්චිතව අවසන් නොවුන මත ගැටුමක්. හැබැයි මේ අතරෙ පේන එක දෙයක් තියෙනවා. ලෝකෙ හැම ශිෂ්ටාචාරයක් ම මේ කථාන්දරය ගැන දැනන් උන්නා. ආරම්භක කථාන්දරය සුමේරියානු කථාව විය හැකියි. නැත්නම් ඊජිප්තු කථාව විය හැකියි. ගිල්ගමේෂ් පවා පැරණියි. බයිබලයට එන්නෙත් මේ සුමේරියානු කථාව හෝ ගිල්ගමේෂ් කථාව. ඒ කථාවට ලෝකෙම පිළිගැනීම ලැබුනා. ඇයි ඒ? අපි හැමෝම එක තැනකින් පටන් ගත්ත නිසා ද? හිතලා බලන්න. ඔයාලටත් අදහස් ඇති.

Labels: , , , , ,

Friday, September 10, 2021

ඇවිලෙන ගින්නට පිදුරු දැමීම (6) - පණ්ඩුකාභය සහ හමුරාබි

 පණ්ඩුකාභය සහ හමුරාබි

වර්තමාන ශ්‍රී ලාංකිකයා ලෝකය සමඟ ඇති සම්බන්ධතාවය තුළින් ලාංකිකයාගේ යහපත වෙනුවෙන් ලබා ගන්නා දායකත්වය කුමක් ද යන්න ගැටළු සහගත ය. සමහරු අදටත් කියන්නේ මේ රට යටත් විජිතයක් ලෙසින් ම තිබුනා නම් අදට වඩා හොඳ බවයි. දැනට අවුරුදු 100 කට පමණ පෙර ලංකාවේ තත්ත්වයත් අද තත්තවයත් අතර කිසියම් වෙනසක් ඔවුන් දකිනවා ඇති අතර ඒ වෙනස තුළින් අදට වඩා එදා හොඳ යැයි ඔවුන් සිතනවා ඇත. යටත් විජිත සමයේ ලංකාවට පැමිණි සුදු ජාතිකයන්, හෙන්රි පාකර්, කොඩ්රිංටන්, ටෙනන්ට්, බෙල් වැනියවුන් ලංකාවේ අතීත ශ්‍රී විභූතිය දැක පුදුමයට පත් වූ අතර ඔවුන්ගේ වාර්තාවල ඒ ගැන සඳහන් කරන්නට යෙදුනි. බොහෝ විජාතිකයන් ලංකාවේ වාරිමාර්ග පද්ධතිය ගැන ඉතා සතුටින් සහ ආඩම්බරයෙන් කථා කරනවා මා දැක තිබේ. ඒවා අහද්දී, කියවද්දී මට ද ආඩම්බරයක් දැනේ.

ලංකාවේ නගර නිර්මාණය සහ වාරිකර්මාන්ත ගැන කථා කරද්දී නිතැතින්ම මනසට නැගෙන චරිතය වන්නේ පණ්ඩුකාභයයි. පිළිගත් වාර්තාගත වාරිකර්මාන්තය සහ නගර නිර්මාණය ලංකාවේ ඇරඹෙන්නේ පණ්ඩුකාභයගේ රාජ්‍ය සමයේදී යි. පණ්ඩුකාභයගේ රාජ්‍ය කාලය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 3 වන සියවසට පමණ දිවේ. මේ සමයේ වාරිකර්මාන්ත අනුව ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ ‘වැවට‘ ය. එදා පටන් ගන්නා වැව දේශීය කෘෂිකර්මාන්තය ඇතුළු ආර්ථිකයේ මෙන්ම සාමාජීය සංවර්ධනයේ වැදගත් අංගයක් වී තිබේ. බුදු දහම මනාව සංස්ථාපිත වීමෙන් පසු පන්සල - ගම - වැව - දාගැබ යන සංකල්පය ලංකාවේ ස්ථාපිත විය. මේ දාගැබ සහ වැව අතර ප්‍රධාන සබඳතාවක් දේවානම්පියතිස්ස රජු සහ ථූපරාමයත් තිසා වැවත් අතර කථාවෙන් හඳුනාගත හැකි වේ.

මේ කථා කරන්නේ ලංකාවේ වාරිකර්මාන්තය සහ නගර නිර්මාණය ගැන ය. විජය පිළිබඳව කථාව සැලකිල්ලට ගත් විට ඔවුන්ගේ ජනාවාස පිහිටුවීම ගංගා ආශ්‍රිතව සිදු ව තිබේ. ලෝකයේ බොහෝ ශිෂ්ටාචාර ඇති වෙන්නේ ගංගා ආශ්‍රය කරගිමිනි. ජලය නොමැතිව මිනිසාට පැවැත්මක් නොමැති බවට මෙය ම සාධකයකි. එය ලෝකයටම පොදු සාධකයකි. කෙසේවෙතත් මෙහිදී මා තුළ ප්‍රශ්නයක් මතු වේ.

පණ්ඩුකාභයට පෙර ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බවට කිසිඳු සැකයක් නැත. ඒ සඳහා වංශකථාව ම සාක්ෂි දරයි. නමුත් එදවස ලංකාවේ තිබූ වාරිකර්මාන්ත සහ නගර නිර්මාණය ගැන පිළිගත් සඳහනක් නැත. වාරිකර්මාන්ත ගැන කථා කරද්දී එය අරඹන්නට වන්නේ පණ්ඩුකාභය සමඟ ය. නගර නිර්මාණයත් එසේ ය. මා තුළ ඇති ප්‍රශ්නය වන්නේ පණ්ඩුකාභයට වැව් තැනීමේ දැනුම නැත්නම් නගර නිර්මාණය කිරීමට දැනුම ලැබුනේ කොහෙන්ද යන්නයි. වැවක් අපේ වුවමනාව තිබූ පමණින් ම කළ හැක්කක් නොවේ. ඒ සඳහා ශිල්පීය දැනුමක් අවශ්‍ය වේ. ඒ දැනුම අද ද අපිට විශ්මයකි. මේ දැනුම ලැබුනේ කොහෙන් ද? පණ්ඩුකාභය කළ බවට මහාවංශයේ දැක්වෙන ආකාරයේ නගර නිර්මාණයක් නිකන් ම කළ හැකි ද?

පණ්ඩුකාභයට පෙර ලංකාව ගැන කථා කරද්දී සමහරු විසින් රාවණා ගැන කථා කරයි. රාවණා සත්‍ය ලෙසම හිටියා ද නැද්ද යන්න වෙනම මාතෘකාවකි. කෙසේවෙතත් රාවණා විසින් වැව් හැදූ බවට පිළිගත හැකි සාක්ෂි ගැන මා තුළ දැනුමක් නැත. රාවණගේ නගර නිර්මාණය ගැන ද වැඩි දැනුමක් මට නැත.* නමුත් රාවණා හා උමං මාර්ග පිළිබඳව කථාන්දරයක් තිබේ.

පණ්ඩුකාභයට පෙර දියුණු ශිෂ්ටාචාරයක් ලංකාවේ තිබුණ බව මා විසින් ම ඉහතින් සඳහන් කළෙමි. ඕනෑම ‘මනුෂ්‍ය‘ ශිෂ්ටාචාරයක් සඳහා ජලය අත්‍යවශ්‍ය ය. ඒ ජල පහසුකම් අතීත ලාංකිකයා සකසා ගත්තේ කෙසේ ද? පණ්ඩුකාභයටත් ලැබුනේ මේ දැනුම ද? මේ ආභාශය ද? නැත්නම් ඔහුට මේ දැනුම ලැබුනේ පිටස්තරයන්ගෙන් ද? එසේම ඕනෑම දියුණු ශිෂ්ටාචාරයක් පවත්වාගෙන යාමට විධිමත් නීති පද්ධතියක් අවශ්‍යය. රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය වන මේ නීති දැනුම පණ්ඩුකාභයට ලැබුනේ කොහෙන් ද? ඔහු විසින් ඔහුගේ මාමාවරුන්ට එරෙහි ව ම සාර්ථක කැරලි ගැසීම් සිදු කළ බව මෙහිදී අමතක කළ නොහැක. නමුත් පණ්ඩුකාභයට එරෙහිව එවැනි කැරලි ඇති වූයේ නැත.

ක්‍රි.පූ. 3 වන සියවස වන විට ජාත්‍යන්තරය සමඟ ලංකාව සම්බන්ධ ව සිටි බවට වංශකථාව ම සාක්ෂි දරයි. එසේම ක්‍රි.පූ. යුගය වන විට ලංකාව සහ ජාත්‍යන්තරය අතර සබඳතා තිබූ බවට විදෙස් මූලාශ්‍ර ද සාක්ෂි දරයි. ජාත්‍යන්තරයේ වාරිකර්මාන්ත පිළිබඳව තිබූ දැනුම ලංකාවටත් පැමිණීම සඳහා වුව ද හැකියාව ඇත.

එක් දෙයක් සඳහන් කළ යුතු ය. දැනට ඇති සාක්ෂි අනුව වාරිකර්මාන්ත පිළිබඳව වන දැනුම ජාත්‍යන්තරයට ගියේ ලංකාවෙන් නම් නොවේ. ලෝකය ගැන කුමක් කීවත් ‘ආ ඒක ලංකාවේ තමයි මුලින් හැදිලා තියෙන්නෙ. මෙහෙන් තමයි එහෙට ගියේ‘ කියා කියන්නා වූ පිරිසක් සිටී. එසේ ගිය ඒවාත් තියෙන්නට ඇත. නමුත් මේ වාරිකර්මාන්ත යන්න නම් ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය ඒවා නොවේ. ක්‍රි.පූ. 2000 පමණ වන විට ඉතා දියුණු වාරිකර්මාන්ත සම්ප්‍රදායක් ලෝකයේ තිබිණි. නයිල් නදිය ආශ්‍රිත ශිෂ්ටාචාරය ඊට හොඳම නිදසුනයි. යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගා ආශ්‍රිත ශිෂ්ටාචාරය ද එවැනිම නිදසුනකි.

ලෝක ඉතිහාසය සැලකිල්ලට ගත් විට ක්‍රි.පූ.2000 – 1000 අතර සිටි ශ්‍රේෂ්ඨ රජකු ලෙස හමුරාබි (ක්‍රි.පූ.1810 – 1750) රජු හැඳින්වේ. අද දිනට දැකිය හැකි පැරණිම සංගෘහිත නීතිය ඔහුගේ නීතියයි. ‘ඇසට ඇසක්, දතට දතක්‘ ඒ නීතියේ මූලික සංකල්පයක් විය. මෙය අදටත් සමහරක් නීති පද්ධතිවල මූලය වී තිබේ. අපිද ‘මට ගැහුව්වොත් මමත් ගහනවා, මට බැන්නොත් මාත් බනිනවා‘ කියන්නේ ඔය පදනමේ ම සිට මිස අපිට හිතී නොවේ. මෙය මා මෙසේ කියන්නේ  ශ්‍රී ලාංකිකයා දැනට හඳුනන බුදු දහම, හින්දු ආගම හා ක්‍රිස්තියානි ආගම තුළ එවැනි සංකල්ප නොමැති හෙයිනි. ඉතින් මේ හමුරාබි බැබිලෝනියානු රජෙකි. හමුරාබිට රජකම ලැබෙන්නේ තම පියාගේ උරුමයෙනි. හමුරාබිගේ පියා, සින් මුබලිත් බැබිලෝනියාව තුළ තමුන් රජු යැයි හඳුන්වාගත් පළමුවැන්නා විය. හමුරාබිට සාපේක්ෂව සින් මුබලිත් පාලනය කලේ බොහෝ කුඩා රාජ්‍යයකි. එයට ඇතුළත් වූයේ බැබිලෝනියාව, කිෂ්, බෝෂිප්පා හා සිප්පාර් වැනි රටවල් කීපයක් පමණි. නමුත් හමුරාබි රාජ්‍ය පාලනයට පත්වීමත් සමඟ මෙය ක්‍රමයෙන් වෙනස්වන්නට විය. ඒ ක්‍රමය ලංකාවේ ඉතිහාසය ගැන සාකච්ඡා කිරීමේ දී ද ඉතා වැදගත් වේ.

හමුරාබි රජ වූ වහාම සියළු ජනතාවගේ හිත් එක් ක්‍රියාවකින් ජය ගත්තේ ය. ඒ සඳහා ඔහු කළේ ඔහුගේ ජනතාව ඒ වන විට බැඳී තිබූ සියළු ණය වලින් නිදහස් කිරීම යි.

රාජ්‍ය පාලනයට පත්වන හමුරාබිගේ මුල් අවුරුදු කීපය ඔහු ගතකරන්නේ මූලික අරමුණු කීපයක් සාර්ථක කර ගැනීමටයි. 1. කෘෂි කර්මාන්තය සහ වාරිකර්මාන්තය වැඩි දියුණු කර සිය ජනතාවගේ ජීවිත තත්ත්වය නගා සිටුවීම (මෙය සෑම මෙසපොතේමියානු රජකුගේම මූලික අරමුණ විය), 2. ඔහුගේ රාජ්‍යයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම, 3. පොදු ස්ථාන, ආගමික ස්ථාන සහ මාර්ග වැඩිදියුණු කිරීම සහ සකස් කිරීම එම අරමුණු විය. මේ අරමුණු ගැන හොඳින් හිතා බලන්න. ඒවා හමුරාබිගේ රාජ්‍ය කාලයෙන් පසුව සිටි බොහෝ රජවරු අනුගමනය කළ අරමුණු වූ බවට සාක්ෂි තිබේ.

මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් පසුව හමුරාබි කටයුතු කරන්නේ රාජ්‍යය පුළුල් කරගැනීමට ය. අද ඉරානය එදා හැඳින්වූයේ ‘එලමිට්ස්‘ ලෙසිනි. එය පිහිටා තිබුනේ මෙසපොතේමියාවෙන් නැගෙනහිරට වන්නට ය. මෙසපොතේමියාවට නිතරම එලමිට්ස්ගෙන් කරදර සිදුවන කාලයකි මෙය. එසේම ලාසා එකල බැබිලෝනියාව සමඟ එදිරිව සිටි රටකි. හමුරාබි කරන්නේ ලාසා සමඟ එකතු වී එලමිට්ස් පරාජය කිරීමයි. ඉන්පසුව ලාසා සමඟ ඇති එකඟතාවය කඩ කරන හමුරාබි අනෙක් රටක් සමඟ එකතු වේ (මෙය හමුරාබි විසින් රාජ්‍යය පුළුල් කර ගැනීම සඳහා භාවිතා කළ උපක්‍රමයක් විය). ඒ ආකාරයෙන් ඔහු ලාසාවද යටත් කර ගත්තේ ය.

හමුරාබි විසින් පාවිච්චි කළ තවත් යුධ උපක්‍රමයක් වූයේ නගරයට ජලය එන මාර්ගය නැවැත්වීමයි. වේල්ලක් බැඳීමෙන් ඔහු මෙය සිදු කරයි. යටත් වන තුරු ජලය නම් දෙන්නේ නැත.

මේ සියළු උපක්‍රම මඟින් ක්‍රි.පූ. 1755 වන විට මෙසපොතේමියා තමුන්ගේ රාජ්‍යයට ඈඳා ගත්තේ ය.

මේ ආකාරයෙන් නොයෙක් රටවල් යටත් කර ගනු ලැබූවත් හමුරාබි හැමවිටම ඒ රටවල ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට උත්සුක වූයේ ය. ඒ සැම රටකම කෘෂි කර්මාන්තය මෙන්ම වාරිකර්මාන්තය දියුණු කිරීමටත් ආගමික ස්ථාන මෙන්ම යටිතල පහසුකම් හොඳින් පවත්වාගෙන යාමට ඔහු කටයුතු කළේය. එහි ප්‍රතිඵලය වූයේ ආකේඩියානු අධිරාජ්‍යය තුළ නිරන්තරයෙන් කැරලි ඇතිවූවත් හමුරාබි යටතේ වූ ජනතාව එවැනි කැරලි ගැසීමක් කිසිවිටක නොකිරීමයි.

ක්‍රි.පූ. 1772 දී හමුරාබි විසින් ඔහුගේ නීති සංග්‍රහය ප්‍රකාශ කරන්නට විය. කෙසේවෙතත් මීට පෙර ද මෙවැනි නීති සංග්‍රහයක් තිබිණි. නමුත් හමුරාබිගේ නීතිය වැදගත් හා ජනප්‍රිය නීති සංග්‍රහයක් විය. බැබිලෝනියාව මේ කාලයේ දී ඉතා දියුණු රාජ්‍යයක් විනි. නොයෙක් ජාතීන් මෙන්ම නොයෙක් ආගමික මත දරන්නන් ආදීන් බැබිලෝනියාව තුළ නිතරම දක්නට ලැබිණි. මේ සියල්ලන්ටම ගැලපෙන ආකාරයේ නීතියක් සංග්‍රහ කිරීමට හමුරාබිට සිදු විය. ඔහු එය සිදු කළේ ය. නැත්නම් අද අපිට එය කථා කිරීමට තරම් දෙයක් නොවේ. මේ නීති සංග්‍රහයේ ඇති නීති ගැන මා මෙහි කථා නොකරමි. එය හමුරාබි විසින් අඩි අටක් උසැති පුවරුවක සියල්ලන්ටම පෙනෙන්නට සැලැස්වීය. එම නීතිය තුළ ප්‍රථම වරට ශාරීරික දඬුවම් සඳහා මුල් තැනක් ලැබී තිබිණි. පෙර කී ඇසට ඇසක්, දතට දතක් නීතිය ඒ අනුව ක්‍රියාත්මක වේ. නිදසුනකට මිනිසකු අනෙක් මිනිසකු සමග ආරවුල් කිරීමේ දී ඇසකට හානි කලානම් ඒ හානි කල තැනැත්තාගේ ඇසක් අහිමි කරයි. මෙනිසා ආරවුල් කර නොගැනීම යහපත් විය. සරලම දඬුවම වූයේ දඩයි. 

හමුරාබි නීති සංග්‍රහය - ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 

මේ නීති සංග්‍රහය ගැන අද කථා කරද්දී කෙනකුට නොයෙක් විවේචන එල්ල කළ හැකි වුවත් ඔහුගේ රාජ්‍ය පාලන කාලය තුළ දී මිනිසුන් පාලනය වී සිටි ආකාරය අනුව එදා ඒ සඳහා පැවැත්මක් තිබූ බව පෙනී යයි. මේ නීති ක්‍රියාත්මක කිරීම සඳහා විනිසුරුවරුන්ද හමුරාබි විසින් පත් කර තිබිණි. එසේම අද අපරාධ නීතියේ දී භාවිතා වන සහ මානව හිමිකමක් ලෙසින් සැලකෙන ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය‘ හමුරාබි විසින් භාවිතා කරන ලදි.

හමුරාබිගේ මරණයෙන් පසුව ඔහු විසින් හැදූ විශාල අධිරාජ්‍යය ක්‍රමයෙන් කුඩා වන්නට විය. නමුත් ඔහුට පසුව මෙසපොතේමියාව සහ බැබිලෝනියාව අල්ලා ගත් සියළුම පාලකයන් පාහේ ඔහු ගේ නීතිය බොහෝදුරට තමන් සමඟ ම ඉදිරියට රැගෙන යාමට කටයුතු කිරීම දක්නට ලැබිණි. මෙනිසා හමුරාබි ලොව ප්‍රකට චරිතයක් බවට අදටත් පත්ව තිබේ.

ඉහතින් මා සාකච්ඡා කිරීමට යෙදුනේ හමුරාබි නම් වූ බැබිලෝනියානු පාලකයා සම්බන්ධයෙන් කරුණු කීපයකි. ක්‍රි.පූ. 6, 5 සියවස් වන විටත් බැබිලෝනියාව ගැන ලෝකය දැන සිට ඇති බවට ඕනෑ තරම් සාධක තිබේ. අදටත් ඔහුගේ නීති මූලධර්ම පාවිච්චි වද්දී ඒ ගැන තවත් කුමන කථා ද? ජාතක කථා පොතේ දැක්වෙන බාවේරු ජාතකයේ ඇති බාවේරු ගම යන බැබිලෝනියාව යැයි බිමලා ලෝ, Geography of Early Buddhism කෘතියේ දක්වා තිබේ.

මෙහිදී මා හමුරාබි චරිතය ගැන පමණක් කථා කළෙමි.

මහාවංශයේ දැක්වෙන පණ්ඩුකාභයගේ රාජ්‍ය පාලනය තුළ ඔහු සිදු කළ කාර්යයන් සහ ඔහුගේ කර්තව්‍ය හමුරාබිගේ කථාවම නොවෙතත් බොහෝ සමානතා ඇති බව ඔබට නොපෙන්නේ ද? පණ්ඩුකාභය ලංකාව එක්සත් කරන පළමු පාලකයා වේ. එසේ එක්සත් කරන ඔහු අදටත් අපි අගය කරන ආකාරයේ රාජ්‍ය පාලනයක් කරයි. මහා මාර්ග දියුණු කරයි. කෘෂි කර්මාන්තය දියුණු කරයි. වාරි කර්මාන්තය දියුණු කරයි. පූජා ස්ථාන සඳහා සුදුසු වටපිටාව සකස් කරයි. ජනතාවට පියෙක් සේ සලකයි. ප ජනතාව ඔහුව පියෙකු ලෙසින් සලකයි. පසුකාලීන රජවරුන්ද ඔහුගේ පියසටහන් ඔස්සේ ගමන් කළ බවට සාධක අපේ ඉතිහාසයේ තිබේ. පණ්ඩුකාභයට පෙර සිටි රජවරුන්ට වඩා එක්වරම කැපී පෙනී සිටීමට ඔහුට හැකියාව ලැබෙයි. ඔහුගේ පාලනය සාමකාමී පාලන කාලයකි. බොහෝ දුරට, පණ්ඩුකාභය මේ සඳහා බැබිලෝනියාව මුල් කරගනිමින් හමුරාබි විසින් සිදු කළ පාලනයේ විධික්‍රම භාවිතා නොකරන්නට ඇතැයි කිව හැක්කේ කෙසේ ද? ඔහුට කුමක් හෝ මූලයක් ලැබී තිබිය යුතු ය. එක්වරම එතෙක් කථා නොකරන වාරිකර්මාන්තය, නගර පිහිටුවීම ආදී විධිමත් පාලන තන්ත්‍රයක් හැදීමට පණ්ඩුකාභයට ලැබුණු පදනම කුමක් ද? අපිට වෙනත් රටවල්වල නායකයන්ට මෙන් දෙවියන්ව/පිටසක්වලයන්ව අපේ පාලකයන්ට සම්බන්ධ කළ නොහැක. මන්දයත්, අදටත් අපේ ඉතිහාසයේ කිසිවක් දෙවියන්ගෙන් හෝ පිටසක්වලයන්ගෙන් ලැබී ඇති බවට සාධක නොමැති නිසාවෙනි. කොහෙන් හෝ ඒ මූලය පැමිණ තිබිය යුතුම ය.

Labels: , , , , , , ,