Saturday, January 8, 2022

බුද්ධඝෝෂ භික්ෂුව - කෙටි හැඳින්වීමක්

 බුද්ධඝෝෂ භික්ෂුව

මෙම කෙටි ලිපිය තුළින් බුද්ධඝෝෂ භික්ෂුව සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කිරීමට බලාපොරොත්තු වේ.

හැඳින්වීම

මහායාන බුදුදහම තුළ දී නාගර්ජුනයන්ට ලැබෙන පිළිගැනීම කෙසේද, ථෙරවාදී බුදුදහම තුළ ඊටත් වඩා වැඩි පිළිගැනීමක් බුද්ධඝෝෂ භික්ෂුවට ලැබේ. කෙසේවෙතත් එක් පාර්ශ්වයක් බුද්ධඝෝෂ භික්ෂුව ථෙරවාදී හෙළ බුදු දහමට විනාශයක් කළ ලෙසින් දක්වද්දී තවත් පිරිසක් එසේ නොවන බවට කියයි. තවත් පිරිසක් බුද්ධඝෝෂ භික්ෂුව යනු කවරෙක්දැයි පවා නොදනී.

බුද්ධඝෝෂ - ආරම්භය

ලංකාවේ වංශකතා අතරින් ප්‍රමුඛස්ථානය ගන්නා මහාවංශය තුළ 37 වන පරිච්ඡේදයේ දී බුද්ධඝෝෂ භික්ෂුව ගැන සටහන් ව තිබේ. මීට අමතරව ලංකාවේ ම ලියැවුණ බවට කියැවෙන බුද්ධඝෝෂුප්පත්ති නම් පොතේ ද බුද්ධඝෝෂ භික්ෂුව ගැන සඳහන් වේ. විනය අට්ඨකථා තුළින් ද උන්වහන්සේ ගැන යම් අදහසක් ලබා ගත හැකි වේ.

මහාවංශයට අනුව බුද්ධඝෝෂ භික්ෂුව ඉපැදී ඇත්තේ දඹදිව බුද්ධගයාව ආශ්‍රිත ගමක ගම්පතියකුට පුත්‍රවය. බුද්ධඝෝෂුප්පත්තිහි දී මේ සිදුවීම කථාවක් ලෙසින් නිර්මාණය කර තිබේ. ඒ අනුව එහිදී කියන්නේ භික්ෂූන්වහන්සේලාගේ ආරාධනය පිට දිව්‍යපුත්‍රයකුව සිට බුද්ධඝෝෂ, එකී බමුණු ගම්පතියාගේ වන කේසි බිරිඳගේ කුස පිළිසිඳගත් බවයි. එම කථාව නාගසේන, මොග්ගලීපුත්තතිස්ස කථාව හා සමානව යන කථාවක් බව බැලුබැල්මට පෙනේ. එවකට දඹදිව විසූ භික්ෂූන්වහන්සේලාට බුදු දහම ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මතුව තිබේ. ඒ සඳහා කටයුතු කිරීමට ගැලපෙන පුද්ගලයකු සොයාගැනීමේ අවශ්‍යතාවය මත දෙව් ලොවින් දිව්‍යපුත්‍රයකු කැඳ වූ බවට බුද්ධඝෝෂුප්පතියට අනුව කියයි.

මෙසේ ඉපැදෙන කුමරා ඝෝෂ නම් වූ අතර ඉක්මණින් ත්‍රිවේදය මැනවින් හදාරයි. ඔහුගේ පියා, කේසී එම ගම අයත් රාජ්‍යයේ රජුට උපදෙස් දෙන්නකු වී සිට ඇත. ඔහු මගින් කුමරා රජු වෙත ද ඉදිරිපත්ව තිබේ. එසේ ඉදිරිපත්වන්නේ රජුට හෝ ඔහුගේ උපදෙස් දෙන්නන්ට විසඳීමට නොහැකි වූ ප්‍රශ්නයකට උත්තර ලබා දෙමිනි. එයට පිළිතුරු සැපයීමත් සමඟ කුමරා, පියාට වඩා ගෞරව සම්මානයට ලක් වේ. මහෞෂධ කුමාරයා ද වරක පියා ඔස්සේ රජුට ඉදිරිපත් වී පියාටත් වඩා ඉහළ තත්ත්වයකට රජු ඉදිරියේ පත් වූ කථාවක් ඔබ අසා ඇති බවට සැක නැත. ඒ කථාවම බුද්ධඝෝෂුප්පත්තියෙහිදී බුද්ධඝෝෂ භික්ෂුව වෙත ආරෝපනය කර ඇති බවක් පෙනී යයි.

මේ කුමරාට දිනක් රේවත නම් වූ බුද්ධගයාව ආශ්‍රිතව වැඩ වාසය කරන්නා වූ රහතන්වහන්සේ නමක් සම්මුඛ වේ. රේවත ස්වාමීන්වහන්සේගෙන් වේදය පිළිබඳව ප්‍රශ්න කර එයට ලැබෙන පිළිතුරු වලින් ප්‍රසාදයට පත් වන කුමරා, රේවත ස්වාමීන්වහන්සේගේ ධර්මය ඉගැනීම සඳහා ශාසනයට ඇතුල් වේ.

මහාවංශයේ දැක්වෙන ආකාරයට මහ හඬක් ඇති නිසා ‘බුද්ධඝෝෂ‘ නම ඔහුට ලැබී ඇත. බුද්ධඝෝෂුප්පත්තියේ දැක්වෙන්නේ මසක් ඇතුළත ත්‍රිපිටකය පිළිබඳව වන දැනුම උන්වහන්සේ විසින් ලබා ගත් බවයි. එසේම ඒ දැනුමත් සමඟ දඹදිව තුළ පමණක් නොව දිව්‍යලෝක තුළදී උන්වහන්සේ ප්‍රසාදයට පත් වූ බව එහි දැක් වේ.

මෙසේ සිටියදී රේවත ස්වාමීන්වහන්සේ විසින් බුද්ධඝෝෂ භික්ෂුවට ලංකාවට ගොස් සිංහල බසින් තිබූ බුද්ධ භාෂිතය මගධ බසට පෙරළීමට කාර්යය පවරයි. බුද්ධඝෝෂ සමඟ ලංකාවේ බෞද්ධයන් කොටසකගේ එක් ආරවුලක් ඇරඹෙන්නේ මෙතැනදී ය. සමහරු කියන්නේ මෙහිදී සිංහල බසින් තිබූ ත්‍රිපිටකය මගධ බසට පෙරලීම අදහස් කරන බවයි. තවත් මතයක් වන්නේ සිංහල බසින් තිබූ අටුවාව මගධ බසට පෙරලීම අදහස් කරන බවයි. බුද්ධඝෝෂුප්පත්තියේ දී දැක්වෙන්නේ බුද්ධ භාෂිතය ලෙසිනි. මහාවංශයේ දී දැක්වෙන්නේ අටඨකතාව මගධයට පෙරළන ලෙසින් දැන් වූ බවයි. මහාවංශය බුද්ධඝෝෂුප්පත්තියට වඩා මෙහිදී විස්තරයක් ඉදිරිපත් කරන අතර එය සාධාරණ බවද පෙනේ. එහි දැක්වෙන්නේ මෙලෙසිනි.

“මෙහි පෙළපමණක් පරම්පරානිතය. මෙහි අටුවා නැත. එසේම නානා ප්‍රකාර ආචාර්යවාදයෝද නොවෙති. තුන් සඟායනාවට නගණ ලද බුද්ධ වචනද සාරිපුත්‍රාදී මහ තෙරුන් විසින් වදාරණ ලද කථාමාර්ගයද මොනවට බලා, ප්‍රාඥ මිහිඳු මහතෙරුවන් විසින් සිංහල භාෂාවෙන් කරණ ලද ශුද්ධ වූ සිංහල අට්ඨකථා තොමෝ සිංහලයන් කෙරෙහි වැටෙයි. තෙපි එහි ගොස් ඒ අසා මාගධ නිරුක්තියට පෙරලව. ඕ තොමෝ සියලු ලොවට හිතඵල වන්නි වේ.“

මිහිඳු මහරහතන්වහන්සේ විසින් බුද්ධ භාෂිතය සිංහලයාට වැටහෙන ලෙසින් දේශනා කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම භාෂිතය මිහිඳු මහරහතන්වහන්සේට ලැබෙන්නේ තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව ය. සංගායනාවේදී සංගායනා කළ ධර්මයත් ඒ සම්බන්ධයෙන් තිබූ ආචාර්යවාදයත් මිහිඳු මහරහතන්වන්සේ විසින් දරා තිබේ. ඒ සියල්ල සහිතව සිංහලයන්ට සිංහල බසින් අට්ඨකතාව ඉදිරිපත් කිරීමට මිහිඳු මහරහතන්වහන්සේ විසින් කටයුතු කර ඇත. මහාවංශයේ දී කියන්නේ එයයි. රේවත ස්වාමීන්වහන්සේ විසින් කියන්නේ ඒ වන විට දඹදිව දී පෙළ දහම හමු වන්නේ නමුත් අට්ඨකතාව හමු නොවෙන බවයි. ඒ අනුව බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පැමිණෙන්නේ අට්ඨකතාව සිංහල බසින් මගධ බසට පෙරළීමට බව පෙනී යයි.

මෙනිසා බුද්ධඝෝෂ භික්ෂුව විසින් ත්‍රිපිටකය මගධයට පෙරලීමක් ගැන සිතිය නොහැකි අතර අට්ඨකතාව මගධයට පෙරලීම ගැන සිතිය හැක. අනෙක් අතට මහාවංශයේ ම දැක්වෙන ආකාරයට ඒ වන විට බුද්ධඝෝෂ භික්ෂුව විසින් අත්ථශාලිනී අටුවාව ලියා හමාර කර තිබේ.

මහාවංශයට අනුව බුද්ධඝෝෂ භික්ෂුවගේ ලංකාගමනය සිදුවන්නේ මහානාම රජ දවස ය. ඒ සාමාන්‍යයෙන් ක්‍රි.ව.5 වන සියවසේ පමණ වේ. ඒ වන විට ත්‍රිපිටකය ඇත්තේ ග්‍රන්ථාරූඩව ය. අට්ඨකතාව ද තිබෙන්නට ඇත්තේ ග්‍රන්ථාරූඩව ය.

රේවත ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීම මත බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පිටත් වෙයි.

ලංකා ගමන - සාගරයක් මැද

බුද්ධඝෝෂ භික්ෂුව ලංකාව බලා යාත්‍රා කරන අතරේ දී ලංකාවේ සිට දඹදිව බලා යාත්‍රා කරන තවත් බුද්ධදත්ත නම් භික්ෂුවක් හා සම්මුඛවීම ගැන බුද්ධඝෝෂුප්පත්තියේ දී දක්වා තිබේ. ඒ කතාවට අනුව බුද්ධදත්ත භික්ෂුවද ලංකාවට පැමිණ ඇත්තේ බුද්ධඝෝෂ භික්ෂුව පැමිණෙන කාර්යටම ය. බුද්ධඝෝෂ භික්ෂුවත් බුද්ධදත්ත භික්ෂුවත් අතර ඇතිවන සංවාදයේ දී බුද්ධදත්ත භික්ෂුව තමුන්ට ලංකාවේ දී ජිනාලංකාරය, දඨාවංශය, ධාතුවංශය හා බෝධිවංශය ලබා ගත් නමුත් අට්ඨකතා සහ ඨික පොත් නොලැබුන බව කියයි. එනිසා උන්වහන්සේ බුද්ධඝෝෂ භික්ෂුවට කියන්නේ අට්ඨකතා හා ඨික සිංහලයෙන් මගධයට පෙරලන ලෙසිනි.

මේ අනුව ද බුද්ධඝෝෂ භික්ෂුවගේ ලංකා ගමන සිදුවන්නේ ත්‍රිපිටකය සිංහල බසින් මගධයට පෙරලීමට නොව අට්ඨකතාව මගධයට පෙරලීමට බව පැහැදිලි වේ.

 

Labels: , , , , , , , ,

Wednesday, September 22, 2021

කේසාරිය ස්ථූපය

 කේසාරිය ස්ථූපය.


 

බෞද්ධයන් ඉතා අගය කොට සලකන සූත්‍රයකි කාලාම සූත්‍රය. සියල්ලෝම නම දන්නේ නමුත් අන්තර්ගතය නොදන්නා හෝ දැන ගැනීමට උත්සුක නොවන සූත්‍රයකි. එම නිසා ලිපිය අවසානයේ සූත්‍රය උපුටා දක්වා ඇත. කෙසේවෙතත් ටික වේලාවකට අපි ඒ සූත්‍රය අමතක කරමු.

මේ කාලාම සූත්‍රය බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ කේසපුත්තිකයන්ට ය. එනිසා කේසපුත්ත සූත්‍රය ලෙසින් ද මෙය හැඳින්වේ. කාලාම සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේගේ කාලයේ දී කේසපුත්ත ග්‍රාමයේ වාසය කර ඇති ජනතාව හඳුන්වා ඇත්තේ කාලාම වරුන් ලෙසිනි. ඔවුන් ක්ෂත්‍රියවරුන් ද වේ. සූත්‍රයේ මෙසේ දැක් වේ.

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයන්හි මහත් භික්‍ෂු සංඝයා සමග චාරිකාවෙහි වඩිනුයේ කාලාම නම් ක්‍ෂත්‍රියයන්ගේ කෙසපුත්ත නම් නියම්ගම යම් තැනෙක්හිද, එහි වැඩි සේක.

සමහරුන් විසින් කොසොල් ජනපදය ලංකාවේ ඇති බවට කරුණු දක්වයි. කෙසේවෙතත් ඔවුන් විසින් මෙතෙක් මේ කේසපුත්ත ගම නිශ්චිතව දක්වා ඇත්ද යන්න මා නොදනිමි. කෙසේ දැක්වූවත් ඒ සඳහා ඔවුන්ට උපකාර වන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර නම් නොවේ.

නමුත් අපේ කථාව ඒ ගැන නොවේ. කේසපුත්තයෙන් හමු ව ඇති අදටත් දක්නට ලැබෙන කේසාරියා ස්ථූපය සම්බන්ධයෙනි.

පිරිනිවන සඳහා බුදුරජාණන්වහන්සේ විශාලාවේ සිට කුසිනාරාව කරා ගමන් කරනා අවස්ථාවේ දී කේසාරියා ග්‍රාමයේ ප්‍රමාණවත් කාලයක් වැඩ සිටින ලදි. ඉන්දියානු විශ්වාසයට අනුව මේ ගමනේ දී ලිච්ඡිවීන් බුදුරජාණන්වහන්සේ පසුපස ගමන් කර ඇති අතර තමන්ගේ දන් වැළඳූ පාත්‍රය ලබා දීමෙන් පසුව මෙහිදී ඔවුන්ව ආපසු හරවා යැවීමට බුදුරජාණන්වහන්සේ කටයුතු කර ඇත (1).

එම ස්ථානයේ කේසාරිය ස්ථූපය කරවන්නට ඇති බවට එක් විශ්වාසයක් වේ.

පෙර කී කාලාම සූත්‍රය දේශනා කළ ස්ථානයේ කේසාරිය සූත්‍රය කරවන්නට ඇති බවට තවත් විශ්වාසයක් වේ (2) .

ලිච්ඡිවීන් විසින් බුදුරජාණන්වහන්සේගේ පිරිනිවනින් පසුව කේසාරිය ස්ථූපය මැටි වළින් බඳින්නට ඇති බව කියයි (3).

පසුව අශෝක කාලයේ දී එකී ස්ථූපය ප්‍රතිශංස්කරණය කිරීම සිදු ව ඇත (4). අශෝක කුලුණක් මෙහිදී ද හමු වී තිබීම ඊට හේතු ව වේ.  කේසාරියා ප්‍රදේශය මෞර්ය පාලනයට මෙන්ම ලිච්ඡවී පාලනයට ද යටත් ව තිබූ ප්‍රදේශයකි. කෙසේවෙතත් දැනට දක්නට ඇති ස්වරූපයට ස්ථූපය ප්‍රතිශංස්කරණය කර ඇති බවට සැලකෙන්නේ ගුප්ත යුගයේ දී ය (5).

චීන ජාතික ෆා හියන් භික්ෂුව තම වාර්තා වලදී ලිච්ඡවීන් විසින් බුදුරජාණන්වහන්සේගේ පාත්‍ර ධාතුන්වහන්සේ තැන්පත් කර මේ ස්ථූපය ගොඩ නැංවූ බවට දක්වා තිබේ. හ්‍යුත් සාං භික්ෂුව විසින් ද මේ පිළිබඳව දක්වා ඇතත් පැහැදිලි විස්තරයක් සිදු කර නැත.

1998 වසරේ දී අද දැකිය හැකි තත්ත්වයට ඉන්දියානු පුරාවිද්‍යා ආයතනය විසින් කේසාරියා ස්ථූපය කැණීම් කර අනාවරණය කර තිබේ. කෙසේවෙතත් ඊට පෙර දී එනම් 1800 ගණන්වලදී පවා මේ ස්ථානයේ කැණීම් සිදු කර ඇත. ඉන්දියානු පුරාවිද්‍යා ආයතනයට අනුව අඩි 150 ක් පමණ උසැති මුල් ස්ථූපය කාලයාගේ ඇවෑමෙන් අඩි 123 දක්වා ඛාදනය වී ඇති අතර 1934 දී උතුරු බිහාරයට බලපෑ භූමි කම්පාව හේතුවෙන් අඩි 104 දක්වා කඩා වැටී ශේෂ වී ඇත. මෑත කාලීන කැණීම්වලදී ස්ථූපය වටා සක්මන් මළුවක් පවා තිබී ඇති බවට අනාවරණය වී තිබේ. එසේම කණිෂ්කගේ කාලයට අයත් රන් කාසි පවා මෙහිදී හමු වී තිබේ.

වර්තමාන බිහාර් ප්‍රාන්තයේ දී ඔබට කේසාරියා ස්ථූපය දැකිය හැක. 

සූත්‍රය - අංගුත්තර නිකායේ තික නිපාතයේ මහා වග්ගයේ කාලාම සූත්‍රය 

ඇමුණුම් අන්තර්ජාලයෙනි. 








 

(11.    https://journalsofindia.com/kesaria-buddha-stupa/

(22.   https://en.wikipedia.org/wiki/Kesamutti_Sutta

(33. https://www.abandonedspaces.com/public/the-kesaria-stupa-in-india-built-to-honor-buddhas-final-days.html?firefox=1

(44.  https://www.drishtiias.com/daily-updates/daily-news-analysis/kesaria-buddha-stupa-bihar

(55. https://www.abandonedspaces.com/public/the-kesaria-stupa-in-india-built-to-honor-buddhas-final-days.html?firefox=1

Labels: , , , , ,

Tuesday, September 21, 2021

ගග්ගරා රැජිනගේ වැව ලෝකයේ වාර්තාවන පැරණිම වැව ද?

ගග්ගරා රැජිනගේ වැව ලෝකයේ වාර්තාවන පැරණිම වැව ද?

ජල සම්පාදනය ශ්‍රී ලංකාවට පමණක් අයිති නොවන ලෝකය පුරාම පැවැති ක්‍රමවේදයකි. කෘෂිකර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ජල සම්පාදනය අත්‍යවශ්‍ය විය. ලංකාවේ දී පණ්ඩුකාභය රජු ආශ්‍රයෙන් පළමු වන වැව වාර්තා වේ. අදටත් ඒ වැවේ වතුර අපේ ප්‍රයෝජනයට ගත හැක. කෙසේවෙතත් මේ වැව ලෝකයේ පැරණිම වැව ද?

බුදුරජාණන්වහන්සේ පණ්ඩුකාභයට පෙර ජීවත් වූවෙකි. සාමාන්‍යයෙන් පණ්ඩුකාභයට වසර 100 - 200 කට පමණ පෙර බුදුරජාණන්වහන්සේ ජීවත් ව තිබේ. බුද්ධ කාලයේ දී චම්පා නුවර ජනප්‍රිය නගරයක් ව තිබිණි. චම්පා නම ගොඩ නැගී ඇත්තේ ඒ ප්‍රදේශයේ තිබූ චම්පක නම් මල්ගස් නිසා බව කියයි. ලංකාවේත් මේ ‘චම්පක‘ නම ඇත්තෝ අදත් වෙති. චම්පක මලින් ප්‍රසන්න සුවඳක් හමයි. අදටත් බුදුන් පුදට චම්පක මල් පූජා කිරීමට මා ද ඇතුළු බොහෝ දෙනා ප්‍රිය ය. බුදුරජාණන්වහන්සේ චම්පා නුවරට වැඩි ගමන් විස්තර ගැන ත්‍රිපිටකයේ එතරම් සඳහන් නොවුනත් චම්පා නුවර සිට දේශනා කළ සූත්‍ර කීපයක් ම ත්‍රිපිටකයේ වාර්තා වී තිබේ. එයින් එක් සූත්‍රයක් මේ ලිපියේ අවසානයේ උපුටා දක්වන්නේ ඔබගේ දැන ගැනීමට ය.

බුදුරජාණන්වහන්සේ, අද උතුරු ඉන්දියාවේ පිහිටා ඇති චම්පා නුවරට වැඩි අවස්ථාවලදී බොහෝ විට වාසය කිරීමට තෝරා ගෙන තිබුනේ ‘ගග්ගරා‘ වැව් (පොකුණු) බැම්මයි. එවකට එහි නෙළුම් මල් දහස් ගණනින් පිපී, සුවඳවත්ව තිබූ බව කියැ වේ. එසේම අවට තිබූ චම්පක ගස්වල පිරී තිබූ චම්පක මල් සුවඳ ද පැතිරී තිබී තිබේ. එවැනි සෞන්දර්යාත්මක ස්ථානයක කාලය ගෙවීමට ප්‍රිය නොවන්නේ කවුරුන් ද?

මේ ගග්ගරා වැව, එනමින් ම වූ රැජිනක් විසින් කරවූ බව සඳහන් ය. ඇගේ නම, වැවට ද ලැබී තිබේ. ගග්ගරා වැව් බැම්මේ වැඩ වසමින් දහස් ගණන් භික්ෂු, උපාසක ගණයාට බුදුරජාණන්වහන්සේ ධර්ම දේශනා කර ඇත. අද මේ ස්ථානය ජනප්‍රිය ව ඇත්තේ Sarovana Talarb ලෙසිනි. 1900 දී පමණ ප්‍රතිශංස්කරණය කිරීමේ දී බුදුරජාණන්වහන්සේට අදාළ පුරාවස්තුන් හමුව ඇති බව කියතත් මේ වන විට ඊට සිදු ව ඇත්තේ කුමක් දැයි සොයා ගැනීමට නොහැකි වී තිබේ.

මේ වැව, බුද්ධ කාලයට දිව යන වැවකි. අදටත් පවතී. පහතින් උපුටා දක්වන සූත්‍රයේදී ‘පොකුණ‘ ලෙසින් භාවිතා වී ඇති ආකාරය ඔබට දැකිය හැක. නමුත් එය පොකුණක් නොවේ. ඒ බව අද එහි ගිය විට ඔබට ම දැක ගත හැක. සමහරක්විට අභය වැවටත් වඩා විශාල විය හැක. එදා මේ වැව මිනිසුන් විසින් හදා ඇත්තේ ප්‍රයෝජනය සඳහා ය. මෙනිසාවෙනි මා කීවේ ජල සම්පාදනය ශ්‍රී ලංකාවට පමණක් අයිති නොවන ලෝකය පුරාම පැවැති ක්‍රමවේදයක් බව. අනෙක් අතට එය පණ්ඩුකාභය රජුගේ වැවට වඩා පැරණි ය.

සූත්‍ර විස්තරය - අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහායඤ්ඤ වග්ගයේ ඇතුළත්  වම්පෙය්‍යක දානානිසංසූත්‍රය.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරය සමිපයෙහිවු ගර්‍ගරා පොකුණු තෙර වැඩ වසණ සේක. එකල්හි බොහෝ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළහ.

ස්වාමිනි, ශාරීපුත්‍රයන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් දැහැමි කථාවක් අසා බොහෝ කල් වෙමු. ස්වාමිනි, අපි භාග්‍යවතුන් වහන්සේ සමිපයෙහි දැහැමි කථාවක් අසමු නම් ඉතා යහපති.

එසේ නම් ඇවැත්නි, පැමිණ සිටි උපෝසථ දිනයෙහි පැමිනෙනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ සමිපයෙන් දැහැමි කථාවක් ඇසීම ඉතා යහපති.

එසේය ස්වාමිනි,” යි ඒ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දී, අසුන්වලින් නැගිට, උන්වහන්සේට වැඳ, පැදකුණු කොට ගියහ.

ඉක්බිති ඒ චම්පා නගර වැසි උපාසකවරු පැමිණ සිටි උපෝසථ දිනයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඒ චම්පා නගර වැසි උපාසකවරුන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්හ. එකත්පසෙක සිටියාවූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවූ දානයක් දෙන ලද්දේ මහත් ඵල නොවුයේ වන්නේද, මහානිශංස නොවූයේ වන්නේද, ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවූ දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ වන්නේද, මහානිශංස වූයේ වන්නේද?”

ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල නොවූයේ, මහානිශංස නොවූයේ වන්නේය. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ, මහානිශංස වූයේ වන්නේය.” “ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල නොවූයේ, මහානිශංස නොවූයේ ස්වාමීනි, එයට හේතු කවරේද? එයට ප්‍රත්‍යය කවරේද? ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ, මහානිශංස වූයේ ස්වාමීනි, එයට හේතු කවරේද? එයට ප්‍රත්‍යය කවරේද?”

ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් බලාපොරොත්තු සහිතව දන් දෙයි. ඇලුනු සිතැතිව දන්දෙයි. රැස්කිරීම් සිතැතිව දන් දෙයි. මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් දෙයි. හෙතෙම ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්-සුවඳ-විලවුන්, නිදන දේ, ගෘහ පහන් යන මෙයින් ඒ දානය දෙයි. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් මෙබඳුවු දන් දෙන්නේය. එය කුමකැයි සිතන්නෙහිද?” “එසේය ස්වාමිනි.

ශාරීපුත්‍රය, එහි යමෙක් බලාපොරොත්තු ඇතිව දන් දෙයි. ඇළුනු සිතැතිව දන් දෙයි. රැස් කිරීම් සිතැතිව දන් දෙයි. මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් දෙයි. හෙතෙම ඒ දානය දි, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් අතර උපදියි. හෙතෙම ඒ කර්‍මය, ඒ ඎද්ධිය, ඒ යශස, ඒ අධිපති භාවය ගෙවා මෙලොවට එන සුළුවූයේ වෙයි.

ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් බලාපොරොත්තු සහිතව දන් නොම දෙයි. ඇළුනු සිතැතිව දන් නොම දෙයි. රැස් කිරීම් සිතැතිව දන් නොම දෙයි. මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් නොම දෙයි. එසේ නමුදු දානය යහපත්යයි දන් දෙයි. නැවතද වනාහි පිය, මුතු, මි මුතුන් විසින් පෙර දෙන ලද්දේය. පෙර කරණ ලද්දේය. කුල වංශය පුරාණ දේ අත් හරින්ට නුසුදුසු වෙමියි දන් දෙයි. පිය, මි මුතුන් විසින් පෙර දෙන ලද්දේ නොවේ. කරණ ලද්දේ නොවේ. කුල වංශය අත් හරින්ට නුසුදුස්සෙමියි දන් දෙයි.

නැවතද වනාහි මම පිසමි. මොවුහු නොපිසිත්. පිසන්නා නොපිසන්නට නොදීම නුසුදුසුයයි (සිතා) දන් දෙයි. මම ද නොපිසමි. මොවුහුද නොපිසිත්. පිසන්නා නොපිසන්නන්ට නොදීම නුසුදුසුයයි දන් දෙයි. නැවතද වනාහි යම්සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ වූහ. ඒ කෙසේද? අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප යන මොවුන්ගේය. මෙසේ මාගේ මේ දාන සංවිභාගය වන්නේයයි දන් දෙයි. යම් සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ නොවූහ. ඒ කෙසේද? නැවතද වනාහි යම්සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ වූහ. ඒ කෙසේද? අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප යන මොවුන්ගේය. නැවතද වනාහි මාගේ මේ දානය දෙනුයේ සිත පහදියි. සතුටුවීමෙන් සොම්නස උපදියයි දන් දෙයි. මේ දානය දීමෙන් සිත නොපහදියි. නොසතුටු වීමෙන් සොම්නස උපදීයයි දන් දෙයි.

නැවතද චිත්තාලංකාරය පිණිස සිතට වුවමනා දේ පිණිස යයි දන් දෙයි. හෙතෙම පැවිද්දෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාර පාන, වස්ත්‍ර, යාන, මල් සුවඳ විලවුන්, නිදන දේ, ගෘහ, පහන් යන මෙයින් ඒ දානය දෙයි. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් මෙබඳුවූ දන් දෙන්නේය. එය කුමකැයි සිතන්නෙහිද?”

එසේය, ස්වාමිනි. යම් ඒ කෙනෙක් බලාපොරොත්තු නැතිව දන් දෙයි. ඇළුන සිත් නැතිව දන් දෙයි. රැස්කිරීම් සිත් නැතිව දන් දෙයි. මෙය පරලොවදී අනුභව නොකරන්නෙමියි දන් දෙයි. දානය යහපත් නොවෙතැයි දන් දෙයි. පිය මි මුතුන් විසින් නොම දෙන ලද්දේය. නොම කරණ ලද්දේය. පුරාණ කුල වංශය අත් හරින්ට නොහැක්කෙමියි දන් දෙයි. මම නොපිසමි. මොවුහු නොපිසිත්. පිසන්නා නොපිසන්නන්ට නොදෙන්ට නුසුදුසුයයි දන් දෙයි. යම් සේ වුන්ගේ පූර්‍ව ඎෂීන්ගේ මහා යාගයෝ නොවූහ. ඒ කෙසේද, අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මොවුන්ගේයි. මෙසේ මේ දානය මේ දාන සංවිභාගය වන්නේයයි දන් දෙයි. මාගේ මේ දානය දෙන්නේ සිත නොපහදියි. සිත සතුටු නොවූයේ සොම්නස නොඋපදියයි දන් දෙයි. එසේ නමුදු සිතේ අලංකාරය පිණිස, සිතට වුවමනා දේ පිණිස, දන් දෙයි. හෙතෙම ඒ දානය දී ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු බ්‍රහ්ම කායික දෙවියන් සමග උපදියි. හෙතෙම ඒ කර්‍මය ගෙවා ඒ ඎද්‍ධිය, ඒ යසස, ඒ ආධිපත්‍යය ගෙවා මෙලොවට නොඑනසුළු වූයේ අනාගාමී වෙයි.

ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුට එබඳු දෙන ලද දන් මහත්ඵල නොවූයේ වේද, මහානිශංස නොවූයේ වේද, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුට එබඳු දෙන ලද දන් මහත්ඵල වූයේද, මහානිශංස වූයේද, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි.

 

* ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 

Labels: , , , , , , ,