Tuesday, September 7, 2021

නාග සංකල්පය (කෙටියෙන්)

 නාග සංකල්පය (කෙටියෙන්)

ලංකාවේ අතීතය සැලකිල්ලට ගත්තම නාග කියන නම ජනප්‍රියයි. මේ නාග නමින් නාගයො වගේම නාග ගෝත්‍රිකයොත් හැඳින්වෙනවා. නාගදීපය ඒ අතරෙන් ප්‍රසිද්ධයි. නාගදීපය, කැළණිය නාග ගෝත්‍රිකයො ජීවත්වුන ප්‍රධාන ප්‍රදේශ විදියට තමයි සැලකනේනෙ. මීට අමතරව මොණරාගල, රිදී මාලියැද්ද ප්‍රදේශයත් නාග ගෝත්‍රිකයො ජීවත් වුන ප්‍රදේශයක් විදියට සලකනවා. වංශකතාවට අනුව නාගදීපයටත් කැළණියටත් බුදුරජාණන්වහන්සේ වැඩම කළ බව සඳහන් වෙනවා. මණිමේඛලාවේ දීත් මේ නාගදීපය ගැන සඳහන් වෙනවා. ජාතක පොතේත් ලංකාවේ නාගයො ගැන සඳහනක් තියෙනවා. අද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවා නාග රූපයක් යොදා ගන්නවා. ඊළඟට නොයෙක් ස්ථානවල නාග රූප දකින්න පුළුවන්. සේරුවාවිලදි පෙන 9 ක් තියෙන නාගරූපයක් දකින්න ලැබෙනවා. මේ කොයි විදියට ගත්තත් ලංකාවේ නාග සංකල්පයට අතීතයේ ඉඳන්ම පිළිගැනීමක් ලැබිලා තියෙනවා. 

ඡායාරූපය අන්තර්ජාලයෙන්.
 

අපි ඉන්දියාව පැත්තට ගියොත් ඉන්දියාවෙත් මේ තත්ත්වයෙ වෙනසක් නෑ. අදටත් නාග වංශිකයො ඉන්දියාවේ ඉන්නවා. නාලාන්දාවෙන් හම්බවෙලා තියෙනවා ක්‍රි.පූ.6 වන සියවසට අයත් පෙන 9 ක නාග රූපයක්. 

 

https://amazinglanka.com/wp/en/the-nagas-in-sinhala-sculpture/z_p32-nagas1/

හින්දු ආගමෙත්, බුද්ධ ධර්මයෙත්, ජෛන ආගමෙත් නාගයො ගැන සඳහන් වෙනවා. මුචලින්ද නා රජු ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනා නෑ. මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේගේ ද්‍රේණයක් ධාතූන්වහන්සේලා නාග ලෝකයේ වැඩ ඉන්නවා. රාමග්‍රාමයේ නාගයො ගැන මීට කලින් මන් සඳහනක් දාලා ඇති. ඊළඟට විෂ්ණු දෙවියො ඉන්නෙ නාගයෙක් එක්ක. මේ නාගයා විෂ්ණු දෙවියෝ රාම, ක්‍රිෂ්ණා විදියට ඉපදෙද්දි ලඟින්ම ඉන්නවා. එතකොට ශිව දෙවියන්ගේ බෙල්ලෙ ඉන්නවා වාසුකී. මතකයිනේ කිරි මුහුද කළඹන්න යොදා ගන්නෙ මේ වාසුකීව. ජෛන ආගමෙත් අර බුදුරජාණන්වහන්සේට මුචලින්ද නා රජු සෙවණ සැලසුවා වගේ අවස්ථාවක් තියෙනවා. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 



 
පාර්ශ්වනාථ - ඡායාරූපය අන්තර්ජාලයෙනි.

අපි දැන් කිව්වෙ ලංකාවත් ඉන්දියාවත් ගැන. මේ රටවල් දෙකම දකුණු ආසියාවේ. දැන් අපි චීනය පැත්තට ගියොත් චීනයෙත් නාග කථාන්දරය තියෙනවා ආ. හරි පරණයි.

ඒ කොහොමවුනත් පුරාවිද්‍යා සාධක අනුව දැනට ලංකාවෙන් හමුවෙලා තියෙන නාග රූප බුද්ධ කාලයට පෙරට විහිදිලා යන්නෙ නෑ. නමුත් නාග සංකල්පය ඊට පැරණියි. ඒකට තියෙන සාධකය තමයි නාගදීපයට බුදුරජාණන්වහන්සේ වැඩම කිරීම සහ නාගයන්ට ධර්ම දේශනා කිරීම. ඡාතක පොතේ දැක්වෙන්න කථාන්දරය මෙතැනට ගන්න බැහැ කියලා මට හිතුනා. 

මේ සටහනට අමුණලා තියෙන ටූටන්කාමන්ගේ මුහුණ ඔයාලට අමුතු දෙයක් නෙමෙයිනෙ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

බලන්න ඒ මුහුණෙ නළල උඩ තියෙන ලකුණ. ඒක නාග ලකුණක්. එතකොට ටූටන්කාමන් උන්නා කියන්නේ ක්‍රි.පූ 1341 – 1323 අතර කාලයේ. ඒ ඊජිප්තුවෙනෙ. ඇයි මෙයා නයෙක් ඔළුවෙ ගහන් ඉන්නෙ? 

ඊළඟට බලන්න දෙවැනි ඡායාරූපය. 

 


ඡායාරූපය අන්තර්ජාලයෙනි.

මේක ඇවිල්ලා ටූටන්කාමන්ගේ ඔටුන්නෙ පිටිපස්ස පැත්ත. ඒකෙ ඉන්නවා නයි 4 දෙනෙක්. ටූටන්කාමන් මේ විදියට නයින්ගෙන් පෙන්වන්න හදන්නෙ මොකක් ද?

ඉතා පැහැදිලියි ඊජිප්තුවෙත් මේ නාග කථාන්දරය තිබුනා කියන එක මේ නිසා. ලංකාවට වඩා පැරණි සාධකයක් මේක. නමුත් අපි බලන්න එපැයි ටූටන්කාමන් මෙච්චර නයින්ව ඔළුව උඩින් තියාගත්තෙ ඇයි කියලා.

මේ සලකුණ හඳුන්වන්නෙ යුරෙයුස් (Uraeus) නමින්. යුරෙයුස් තමයි වජ්ට්ව (Wadjet) හඳුන්වන්න යොදා ගත්ත සලකුණ. කව්ද වජ්ට්? වජ්ට්ව හඳුන්වන්නේ ඊජිප්තුවෙ ආරක්ෂකයා විදියට. බොහෝ වෙලාවට මෙයාව නිරූපනය වෙන්නේ නාග රූපෙකින්. ඒ පදනමෙන් තමයි ටූටන්කාමන්ගේ ඔළුවට නයා එන්නෙ. හැබැයි එතනදි සලකුණ හඳුන්වන්නේ කලින් කිව්ව යුරෙයුස් (Uraeus) නමින්.

දැන් අපි මෙතනදි කිව්වනේ ටූටන්කාමන්ගේ කාලය ගැන. එතකොට එයා නිකන්ම ඕක ඔළුවට ගන්නෙ නෑනෙ. ඒ නිසා පැහැදිලියි එයාගේ කාලෙ වෙද්දි තිබ්බ විශ්වාසය තමයි එයා මේ විදියට අරන් එන්නෙ කියලා. මේ ටූටන්කාමන් ඇවිල්ලා ඊජිප්තුවෙනෙ.

අපි යනවා සුමේරියානු ශිෂ්ටාචාරයට. සුමේරියාවේ ඉන්නවා Ningishzida කියලා දෙවියෙක්. මෙයා නාගයො එක්ක තමයි දකින්න ලැබෙන්නෙ. සටහනේ අමුණලා තියෙනවා මේ දෙවියන්ගේ ඡායාරූපයක්. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 

මේක ක්‍රි.පූ. 2000 විතර පැරණියි කියලා තමයි කියන්නේ. ඊළඟට ඔය නයි දෙන්නෙක් ඉන්න ඡායාරූපය. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 ඒ අයිතමය ක්‍රි.පූ.2100 කියලා තමයි කියන්නේ. ඉරාක් කෞතුකාගාරයේ තියෙන අයිතමයක් තමයි අනිත් ඡායාරූපයෙ තියෙන්නෙ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

ඒක ක්‍රි.පූ. 2600 – 2370 කාලයට අයත්. හැබැයි මේකෙ හිස කොටහ නෑ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

 ඔය නයි දෙන්නෙක් ඉන්න අනිත් රූපෙත් ක්‍රි.පූ.2000 ට අයිති කියලා කියනවා.

දැන් අපි කථා කරන්නේ තවත් මේ වගේ පැරණි රූපයක් ගැන. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

මේක හොයා ගන්නෙ සයිබීරියාවේ කඛාසියාවෙන්. මේ රූපෙන් පෙන්වන කෙනාට අත් දෙකක්, කකුල් දෙකක් වගේම දිග බෙල්ලක් එක්ක ඒ බෙල්ලට සම්බන්ධ වුන ඔළු 7 ක් පෙන්නලා තියෙනවා. ඒ වගේම අනෙක් සාමාන්‍ය මිනිස්සුන්ව ඒ රූපෙට වඩා පොඩියට තමයි පෙන්නලා තියෙන්නෙ. එතකොට මේ රූපෙ ක්‍රි.පූ. 5000 ට විතර අයිතියි කියලයි සලකන්නෙ.

කලින් සඳහන් කළ වාසුකීව මතකයිනෙ. මේ වාසුකීගේ සහෝදරිය තමයි මනසා කියන්නේ. පුරාණ ග්‍රන්ථවල වගේම මහාභාරතයෙත් මනසා ගැන සඳහන් වෙනවා. මනසාගේ චිත්‍රයක් සටහනට අපි අමුණලා තියෙනවා. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

එයාගෙත් ඔළුවෙ නයි පෙන 7 ක් තියෙනවා පේනවා ඇති. අද වෙද්දි මේ නාගයන්ට අධිපති මනසා දෙවියන්ව වන්දනා කරන්නේ බෙන්ගාලය, ජරාකන්ද් වගේ උතුරු ඉන්දියානු ප්‍රදේශවල. බෙන්ගාලය එක්ක අපේ මොකක් හරි සම්බන්ධයක් තිබ්බද කියලා ටිකක් හිතලා බලන්න.

දැන් මේ රූපයත් අර කලින් කිව්ව සයිබීරියානු රූපයත් බැලුවම රූප දෙකම එකම කථාව නොවුනත් මොකක් හෝ සම්බන්ධයක් තියෙනවා කියලා පේනවා ඇති.

දැන් බලන්න මේ චිත්‍රය. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

මේ ඇවිල්ලා හයිඩ්‍රා. ඒ කියන්නේ ග්‍රීක වීරයකු වුන හර්ක්‍යුලිස් සටන් කරන ඔළු 7 හිමි හයිඩ්‍රා. ක්‍රි.පූ. 346 ට පමණ අයත්යැයි සැලකෙන මේ අයිතමයෙ දැක්වෙන්නෙ හර්ක්‍යුලිස් විසින් හයිඩ්‍රාව විනාශ කරන අවස්ථාව. හයිඩ්‍රා ඉන්නෙ වතුරෙ ආ. මේ කථාව ක්‍රි.පූ. 600 ටත් කලින් ඉඳන් තියෙන කථාවක් කියලා කියනවානේ.

මේ විදිය ඔළු 7 ක් නැත්නම් 9 ක් තියෙන චරිත ගැන ලෝකෙ හැමතැනින්ම වාර්තා වෙනවා. මන් කියන්නේ ක්‍රි.පූ. කාලයේ ඉඳන්. හුඟක් ඒවා ක්‍රි.පූ. 1000 න් එහා. ඒ සේරම අන්තිමට බැලුවම අර කලින් කිව්ව සයිබීරියානු චිත්‍රය හැර නාග හිස්. මායාවරුන් අතරෙන් මේ විදියම රූපයක් තියෙනවා. ඒකත් මෙතනට නොදැම්මොත් අසම්පූර්ණයි වගේ. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.
 

ඉතින් මේ දේවල් එක්ක කල්පනා කරද්දි පේන දෙයක් තමයි නාග ඇදහිල්ල නැත්නම් මේ විශ්වාසය ලෝකය පුරාම විහිදිලා තිබුන, තියෙන දෙයක් බව. එකම දේ ලංකාවෙන් දැනට හම්බවෙලා තියෙන සාක්ෂි වලට වඩා පැරණි සාක්ෂි ලෝකයෙ වෙනත් තැන්වලින් ලැබිලා තියෙන එක. 

අදටත් මේ නාග සංකල්පය අපේ ජීවිතයට බලපෑම් කරනවා. ඒකනෙ නයෙක් දැක්කම ‘නයි හාමි කරදර නොකර යන්න‘ කියලා වඳින අය තවමත් ඉන්නෙ.

 

 

Labels: , , , , , ,

Thursday, September 2, 2021

ඇවිලෙන ගින්නට පිදුරු (5) නාගදීපය - 2

නාගදීපය (2)

සද්ධර්මාලංකාරයේ නාගා වස්තුව නම් කථාවක් වෙයි. එය මෙහිදී වැදගත් වේ.

නාගා වස්තුව ආරම්භයේ දී ලංකාවේ පැවැති නාග වාසස්ථාන තුනක් ගැන සඳහන් වේ. ඒ වඩුන්නාගල, කැළණි ගඟ හා මණිනාග දිවයින යන ස්ථාන තුනහ. මින් වඩුන්නාගල වාසස්ථානයේ නායකයා චූළොදර වන අතර කැළණි ගඟ නායකයා මණිඅක්ඛිත නම් වේ. මණිනාග දිවයින නායකයා වන්නේ මහෝදරයි. මහෝදර නා රජු විසින් ඔහුගේ දුව චූළෝදර නා රජුට විවාහ කර දෙන අතර විවාහයේ දී දෑවැද්ද ලෙසින් මැණික් ඇල්ලූ පුටුවක් ද ලබා දෙයි. පසුව දුව මියයයි. එසේ මිය ගිය විට මහෝදර නා රජු විසින් ලබා දුන් මැණික් පුටුව ආපසු ඉල්ලා සිටී. චූළෝදරත් මහෝදරත් අතර යුද්ධය ඇරඹීමට හේතුව වන්නේ මේ මැණික් පුටුව ඉල්ලා සිටීමය.

සද්ධර්මාලංකාරයේ විස්තර කරන ආකාරයට වඩුන්නාගල පිහිටා ඇත්තේ ගලක් මුල් කරගනිමිනි. මණිනාග වාසස්ථානය නාගදිවයින ලෙසින් හැඳින්වේ. මණිනාග දිවයින ඒ අනුව යාපනය ප්‍රදේශයට අදාළ වේ. අද ද ලංකා සිතියම සැලකිල්ලට ගත් විට යාපනය අපි අර්ධද්වීපයක් ලෙසින් සලකන්නෙමු. මණිනාග දිවයින නාගදීපය ලෙසින් සලකන්නේ නම් එය සිව්දෙසින් වට වී ඇති දූපතකි. ටොලමිගේ සිතියම ආශ්‍රිතව සැලකිල්ලට ගත් විට පසු කාලීන නාගදීපයට අනුරාධපුර ප්‍රදේශය දක්වා බිමක් අදාළ වේ. කෙසේවෙතත් මේ වඩුන්නාගල නිශ්චිතව හඳුනාගැනීම ගැටළුවකි. සමහරු කල්පිටිය ලෙසින් සලකයි. තවත් විටක වවුනියාව ඕලුමඩු, වඩුන්නාගල කන්ද (වෙඩික්කනාරම්මලෛ) ලෙසින් ද හඳුන්වයි. මගේ අදහස වන්නේ වඩුන්නාගල බොහෝ දුරට මේ ඕලුමඩු ස්ථානය විය හැකි බවයි. එහි බොහෝ පුරාවිද්‍යා සාධක දක්නට ලැබේ.

කෙසේවෙතත් මේ දෙපිරිස යුද්ධයට සූදානම් ව සිටිනා අවස්ථාවේ දී ය බුදුරජාණන්වහන්සේ වැඩමවන්නේ. මේ අවස්ථාවට සමිද්ධි සුමන නම් වෘක්ෂ දේවතාවකුද සම්බන්ධ වී තිබේ. ඔහුගේ ඉතිහාස කථාව ද කථා කරුවා දක්වයි. අද මෙනමින් ද විහාරයක් යාපනයේ නාවත්කුලියේ ඇත.

බුදුරජාණන්වහන්සේ වැඩමකරන්නේ නාගදීපයට ය. එසේ වැඩම කර වැඩ සිටින්නේ දෙපාර්ශ්වය ආරවුල් කරගන්නා මැණික් පුටුවේ ය. ඒ අනුව එය පාරිභෝගික වස්තුවක් වන අතර එය මුල් කරගනිමින් නිර්මාණය වූ චෛත්‍යය රාජායතන චෛත්‍යය වේ.

දැන් සද්ධර්මාලංකාරයේ දැක්වෙන ආකාරයට බුදුරජාණන්වහන්සේව දකිනා නාගයින් ඔබ කව්ද කියාවත් අසන්නේ නැති අතර දුටු පමණින් හඳුනා ගනී. මෙනිසා ලංකාවේ නාගයින් සහ ඉන්දියාවේ රඹග්‍රාම නාගයින් අතර සබඳතාවක් ඇති බවට සිතීමේ කිසිඳු බාධාවක් ‍නොවේ. ලංකාවේ නාගයින් ද බුදුරජාණන්වහන්සේ හොඳින් අඳුනයි. ඒ හැඳිනීම, මුල් වරට බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩමවීම නිසාවෙන් ඇතිවූවක් නම් නොවේ.

ඉතින් තමුන්ට පූජා කළ නාගයින්ට බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කරයි. ඒ ධර්මදේශනාවෙන් පසුව මැණික් පුටුව සහ කිරිපලු රුක පූජා වස්තු ලෙස සලකා කටයුතු කරන ලෙසින් උපදෙස් දී උන්වහන්සේ ආපසු වැඩම කරයි.

සද්ධර්මාලංකාරයේදී මේ ගැන තවදුරටත් දැක්වෙන්නේ බුදුන් පිරිනිවූ පසු මනුෂ්‍යයෝ එතැන මහත් දාගැබක් කළ බවත්, එතැන් පටන් සද්ධර්මාලංකාරය ලියන අවස්ථාව දක්වාත් එය රාජායතන චෛත්‍ය්‍ය ලෙසින් ප්‍රසිද්ධ වී පවතින බවත් ය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නාගයෝ එක්වරම මනුෂ්‍යයෝ බවට පත්වෙන සැටි සැලකිල්ලට ගන්නා විට මේ නාගයෝ යනු මනුස්ස කොට්ඨාශයක් බව සනාථ වේ. එසේම ඔවුන් දඹදිව හා සම්බන්ධ බවද සනාථ වේ. මන්දයත්, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මහ සෑයක් කරන්නට නම් හේතුවක් තිබිය යුතු ය. රඹගමට ධාතූ ද්‍රෝණයක් ලැබුණ අතර ඒ ධාතු ද්‍රෝණය ඔවුන් විසින් නිධන් කොට චෛත්‍යයක් බැඳ තිබේ. වංශකථාවට අනුව ධාතු බෙදීමේ අවස්ථාවේ දී ලබා ගන්නා ග්‍රීවා ධාතූන් වහන්සේ සරභු තෙරණුවෝ මහියංගණය සෑයේ තැන්පත් කර එය විශාල කරන්නට යෙදේ. රාජායතන සෑයට සිදුව ඇත්තේ ද එයමයි. නමුත් ඒ දෙවන අවස්ථාවේදී නිධන් කළ ධාතූන්වහන්සේලා මොනවාදැයි සඳහනක් නොමැත.

අද යාපනය හින්දු බලපෑමට ලක්ව තිබුනද බුද්ධ කාලයේ පටන්ම එය බෞද්ධ විශ්වාස දරන්නා වූ ප්‍රදේශයක් බව මෙමගින් සනාථ වේ. ඒ බව තවත් තහවුරු කරන්නා වූ පුරාවිද්‍යාත්මක සාධක යාපනය ප්‍රදේශයෙන් ලැබී තිබේ. අද අපි යාපනයේ සංචාරය කරනා විට එම පුරාවිද්‍යාත්මක ස්ථාන දැකිය හැක.

වසභ රජු ක්‍රි.ව. 65-109 කාලයේදී ලංකාවේ රජ කළ බවට සැලකේ. වල්ලිපුරම් සන්නස වසභ රජුගේ කාලයේ ලියැවූවක් ලෙසින් ද සැලකේ. ඉසිගිරි ඇමති විසින් සිදු කළ විහාර කර්මාන්තයක් ගැන එහි සඳහන්වන අතර නාගදීපය පාලනය කරන්නේ ඉසිගිරි ඇමති විසිනි. ක්‍රි.ව.1 වන සියවසේ ග්‍රීක ජාතික ටොලමි විසින් සිතියම නිර්මාණය කරද්දී ද නාගදීපය ගැන දැන සිටි බව සිතිය හැක. ඔහු විසින් එය දක්වා ඇත්තේ Nagadibois ලෙසිනි. නාගදීපයෙන් හමු ව ඇති බෞද්ධ විහාරවලට අයත්  පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව මේ වන විටත් බොහෝ දෙනා දැන සිටී. ඒවා නැවත මෙහි සඳහන් කිරීම අවශ්‍ය නොවන බව පෙනී යයි.

සමස්ථයක් ලෙසින් ගත් විට මේ අනුව පෙනී යන්නේ වංශකථාකරුවා විසින් නාගදීපයේ නාගයෝ ගැන සඳහන් කරන විටදී මතු පිටින් පෙනෙන අර්ථයට වඩා ගැඹුරු අර්ථයක්, ඒ ගැන සොයා බලන්නන් සඳහා ඉතිරි කොට තබා ඇති බවයි. වංශකථාකරුවා බෞද්ධ පදනම සිටිමින් අදාළ කරුණු ඉදිරිපත් කරනා නිසා එය එසේ නොවේ යැයි සිතීමට ඉඩක් නැත. කෙසේවෙතත් ඉතා පැහැදිලිව නාගදීපයේ නැත්නම් ලංකාවේ සිටි බවට සැලකෙන මේ නාගයෝ නාග නමින් හැඳින් වූ ජන කොටසක් බව සනාථ වන අතර බොහෝ දුරට ඉන්දියාවෙන් මෙහි පැමිණි ජන කොටසක් ම විය හැකි ය.

ඇමුණුමට තවත් ඡායාරූප කීපයක් අමුණා ඇති අතර මේවා නිතරම දක්නට නොලැබෙන ඡායාරූප වේ. රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ 26 – 28 සඟරාවලින් ඒවා උපුටා ගත්තෙමි. 

















 

Labels: , , , , , ,

Monday, August 30, 2021

ඇවිලෙන ගින්නට පිදුරු (5) - නාගදීපය

 නාගදීපය

භගිනීසුත මාතුලේහි දින්නේ 

මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,

මුණිධම්ම මදේසයී මුනීනං

සිරසා තං පණමාමි නාගදීපං

පෙර දවස සීයා ආච්චිලා අපට කියා දුන් කථාවල එක් කථාවක් වූයේ බුදුරජාණන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩි කථාවයි. ඒ අනුව දෙවැනි වර උන්වහන්සේ වැඩම කරනු ලැබූවේ නාගදීපයට ය. මේ සම්බන්ධයෙන් ඔවුන්ට දැනුම ලැබුවේ වංශකථාවෙනි. මහාවංශයේ මෙන්ම දීපවංශයේත් බුදුරජාණන්වහන්සේගේ ලංකාගමන පිළිබඳව දැක් වේ. ඒ අනුව වංශකථා ලියවෙන ක්‍රි.ව. යුගයේ දී ත් මේ පිළිබඳව වන මතය ලංකාවැසියන් තුළ පැවැති බව අමුතුවෙන් කිව යුතු නොවන්නේ වංශකථාකරුවා ද ඒ රචනා කරන්නේ දැනගත් කරුණක් වන නිසාවෙනි. කෙසේවෙතත් වංශකථාවල ද මේ පිළිබඳව වැඩි විස්තරයක් සඳහන් නොවේ. එහි දැක්වෙන්නේ කථාවේ එක්තරා කොටසක් පමණි. මෙම ලිපියේ දී වංශකථාව සමඟ යම් යම් පුරාවිද්‍යාත්මක සාධක කීපයක් ඉදිරිපත් කිරීමට මා අදහස් කරමි.

නාගදීප කථාව සඳහා මා මූලාශ්‍ර කරගන්නේ සද්ධර්මලංකාරය වේ.

වංශකථාවට අනුව බුදුරජාණන්වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම කොට තිබේ. පළමුවැන්න මහියංගනයට ය. දෙවැන්න නාගදීපයට ය. තෙවැන්න කැළණියට ය. දැන් මහිංයගනයට වැඩම කිරීමේ සිදුවීම සැලකිල්ලට ගත් විට එහිදී පැහැදිලිව දැක්වෙන්න යක්ෂ සමාගමයක් සම්බන්ධයෙන් එහි වැඩි බවයි. මෙම අවස්ථාවට නාගයන් සම්බන්ධ වූ බවක් සඳහන් වන්නේ නැත.

දෙවැනි අවස්ථාව හා තෙවැනි අවස්ථාවේදී නාග සමාගමයට වැඩම කරනු ලැබ ඇති අතර එහිදි යක්ෂ සමාගමය පිළිබඳව සඳහන් නොවේ. මෙය සැලකිය යුතු කරුණකි.

මේ අවස්ථා තුන තුළටම අදාළ පැහැදිලි ප්‍රධාන කරුණ වන්නේ බුදුරජාණන්වහන්සේ ලක්දිව සිටියකු නොවන බවයි. උන්වහන්සේ විදේශයක සිට මේ අවස්ථා තුනටම මෙහි වැඩම කර තිබේ.

අනෙක් ප්‍රධාන කරුණ නම් වංශකතාවම දක්වන ආකාරයට මේ අවස්ථා තුනේදී ම බුද්ධ ධර්මය තේරුම් ගැනීමට තරම් පුළුවන් පිරිසක් ලක්දිව සිටි බවයි.

ඒවා එසේ තිබියා වේ.

නාගදීපයට බුදුරජාණන්වහන්සේ වැඩම කරන්නේ චූලෝදර සහ මහෝදර නාග රජුන් අතර ඇති වන යුද්ධයක් වැළැක්වීම සඳහා ය. ඒ සඳහා සමිද්ධි සුමන නම් දේවතාවකු ද සම්බන්ධ වී තිබේ. නාග රජුන් යුද්ධ වදින්නේ මැණික් පුටුවක අයිතිය සඳහා වුවත් බුදුරජාණන්වහන්සේ හේතුවෙන් යුද්ධය අවසන් වේ. එසේම මැණික් පුටුව ද නිධන් කොට නාග රජුන් විසින් නාගදීපයේ රාජායතන සෑය තනවනු ලැබේ.

බුදු දහම තුළ නාග රාජයින් ගැන නොයෙක් අවස්ථාවලද දැක්වෙන අතර මේ නාගදීපයේ දී ධර්ම දේශන කළ නාගරාජයන් ඒ නාග රාජයින් හා සම්බන්ධ නොවන බව පැහැදිලි කරුණකි. මුචලින්ද, ඒරාපථ ආදී නාගරාජයින් ඔබට සිහිපත් වනු ඇතැයි සිතමි. මේ ඔවුන් නොවේ. නැත්නම් ඛන්ද පිරිතේ දැක්වෙන නාගයින් නොවේ. ඒ අනුව ඉතා පැහැදිලිව මේ නාගයින් යනු ද ජන කොටසක් බව නිගමනය කිරීමට බාධාවක් නැත. බුදුරජාණන්වහන්සේ නයින්ට බණ කියන්නෙකු නොවේ. එයින් ම මේ නාගරාජයින් සත්ව කොට්ඨාශයක් ලෙසින් යමකු හිතන්නේ නම් එය උපන්ගෙයිහිම නැසී යන සිතුවිල්ලක් බවට පත් වේ.

විනය පිටකයේ භේසජ්ජඛන්ධයේ දී සුඵස්ස නම් නාරජු පිළිබඳව දැක් වේ. දුර්භික්ෂ කාලයෙහි දී සර්ප මාංශ කන මිනිස්සු පිණ්ඩපාතයේ වඩින භික්ෂූන්වහන්සේලාට සර්ප මාංශ පූජා කරති. මේවා වළඳන භික්ෂූන්වහන්සේලාට මිනිස්සු නින්දා කරති. මේ දකින සුඵස්ස නාරජු බුදුරජාණන්වහන්සේ හමු වී ඉල්ලා සිටින්නේ භික්ෂූන්වහන්සේලා සර්ප මාංශ කෑමෙන් වළකින ලෙසට නිර්දේශ කරන ලෙස ය. ඒ අනුව බුදුරජාණන්වහන්සේ විසින් සර්පමාංශ වැළඳීම දුකුලා ඇවැතක් ලෙසින් අනුදක්නා ලද හ.

මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේගේ ධාතූ ද්‍රෝණ අටකි. ඉන් සත් ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා දඹදිව පුදයි. එක් ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා පුදන්නේ රඹගමැ නාගයින් ය. මේ රඹගම, පරිනිර්වාණ සූත්‍රයේදී ම දැක්වෙන්නේ කෝලිය රජුන් වාසය කරන නුවරක් ලෙසිනි.

ඉහත ඡේද දෙක මා මේ ලිපියට ඇතුළත් කළේ නාගයින් පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමට පමණි. ලංකාවේ නාගයින් ප්‍රධාන ස්ථාන දෙකක සිටි බව සැල වේ. ඒ කැළණියේ සහ නාගදීපයේ ය. බුදුරජාණන්වහන්සේගේ ජීවිත කාලය පිළිබඳව සැලකීමේ දී දකුණු ඉන්දියාවට පැමිණ අවස්ථාවක් ගැන සඳහන් වන්නේ නැත. නාගදීපය සහ කැළණිය යන ස්ථාන දෙකම පිහිටා ඇත්තේ දකුණු ඉන්දියාවටත් එපිටෙනි. එවැනි තත්ත්වයක දී නාගදීපයට බුදුරජාණන්වහන්සේගේ වැඩම වීම සිදුවූවානම් එය සිදුවන්නේ පැහැදිලිවම ඒ නාගයෝ ද ඉහත ඡේදයේ දැක් වූ නාගයින්ට කුමනාකාරයෙන් හෝ සම්බන්ධයක් ඇති නිසාවෙනි. එසේ නොවන්නට බුදුරජාණන්වහන්සේ නාගදීපයට වඩින්නේ යැයි සිතීමට කිසිඳු කරුණක් නැත. මොකෝ දඹදිව සිදු වූ සෑම යුද්ධයක් නැවැත්වීමට ම බුදුරජාණන්වහන්සේ වැඩම කළා ද? නැත. නාගයින් එක්වරම බුදුරජාණන්වහන්සේ කී දේ පිළිගන්නේ කුමක් හෙයින් ද? ඔවුන් උන්වහන්සේ ගැන දන්නා නිසාවෙනි. එය විය හැක්කේ එක්කෝ මහියංගනයට වැඩම කළ අවස්ථාවේදී දැන ගැනීම නිසාවෙනි. නැත්නම් පෙර සඳහන් කළ නාගයන්ට සම්බන්ධව සිටින නිසාවෙනි. ඔබ, ඔබ ගැන සිතන්න. යමකු දෙයක් කී පමණින් ඔබ පිළිගන්නවා ද? නමුත් ඔබ දන්නා හඳුනන අසා ඇති උගත් පණ්ඩිතයැයි සැලකෙන යමෙක් විසින් දෙයක් කීවොත්?

මෙය තවත් සනාථ කරන ප්‍රවාදයක් වෙයි. මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේගේ ධාතූන්වහන්සේලා නිධන් කොට ස්ථූප කරවන්නට යෙදුනා හ. ඒ අනුව,

    මගධයේ,  

         විශාලා නුවර, 

3.           කපිලවස්තුවේ,

4.          අල්ලකප්ප නුවර,

5.          රඹගම (රාමග්‍රාම),

6.         වේඨදීප නුවර,

7.          පාවා නුවර,

8.          කුසිනාරා නුවර,

මේ ආකාරයට ස්ථූප කරවූ බව සඳහන් වේ. මින් අල්ලකප්ප නුවර සහ වේඨදීප නුවර අද වන විටත් සොයා ගෙන ඇති ස්ථාන නොවේ. මහා පරිනිර්වානයෙන් අවුරුදු 300 කට පමණ පසු අශෝක රජු මෙකී ස්ථූප 8 න් 7 ක් විවෘත කරවා ඇත. ඒ ඔහු විසින් දඹදිව සකස් කළ 84,000 ක් චෛත්‍යයන් තුළ එකී ධාතූන්වහන්සේලා නිධන් කිරීමට වේ. ඔහුට ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ රාමග්‍රාමයේ පිහිටි ධාතූන්වහන්සේලා ය. ප්‍රවාදයේ දැක්වෙන්නේ රජුට එම ධාතූන්වහන්සේලා ලබා ගැනීමට නොහැකි වන ලෙසින් නාගයෙක් චෛත්‍යය මුර කරමින් සිටි බව වේ. ඒ අනුව ම රඹගම හා නාගයින් අතර ඇති සබඳතාවය සිතා ගත හැක.  

මේ රාමගාම චෛත්‍යය අදටත් දැකිය හැක. ආශ්‍රිත ප්‍රදේශය 1996.05.23 දින යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසට නම් කරන ලදි. යුනෙස්කෝ වෙබ් පිටුවේ මේ සම්බන්ධයෙන් මෙසේ දැක් වේ.  

The only undisturbed original stupa containing relics of Lord Buddha. Built in 6th century B.C. and enlarged by being enveloped with bricks subsequently. The site includes adjacent monasteries.

මේ අනුව රාමග්‍රාමය කෝලියන්ට සම්බන්ධ අතර පරිනිර්වාණ සූත්‍රයේදී රඹගම්වැසි නාගයින් සතුවද ධාතූ ද්‍රෝණයක් ඇති බව කියයි. රඹගම සහ රාමග්‍රාම එකම නාමයෙන් හැඳින්වෙයි. අශෝක රජු, දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය කිරීමට පෙර මේ රාමග්‍රාම චෛත්‍යය කැණීමට උත්සාහ කළත් නාග බලපෑම නිසා එය සිදු කිරීමට නොහැකි වේ. එසේම බුදුරජාණන්වහන්සේ නාගදීපයට වැඩම වූ කළ නාගදීපයේ නාගරජුන් කිසිඳු විරෝධතාවයකින් තොරව උන්වහන්සේගේ ඉගැන්වීම් ගරු කරන්නේද වෙයි.

අමුණා ඇති ඡායාරූපවල රාමගාම සහ ආශ්‍රිත කැණීම් පිළිබඳව කරුණු දැක් වේ.  

 

        
අද රාමගාම චෛත්‍යය දැකිය හැකි ආකාරය.  



 

අශෝක රජු රාමග්‍රාම චෛත්‍යයේ ධාතූන්වහන්සේලා ලබා ගැනීමට පැමිණි අවස්ථාව දැක්වෙන සාංචි කැටයම 


 

නාගයින් වටකොට සිටින්නා වූ රාමග්‍රාම චෛත්‍යය වන්දනා කරන අලීන් - අමරාවතී

නාගයින් විසින් වන්දනා කරන රාමග්‍රාම චෛත්‍යය - අමරාවතී

 

ශුක්‍ර සාගර් ශ්‍රේෂ්ඨ විසින් පල කළ රාමග්‍රාම කැණීම් 2 ලිපියෙන් උපුටා ගත් ඡායාරූප 






















 

Labels: , , , , , ,