Monday, August 23, 2021

ඇවිලෙන ගින්නට පිදුරු (4)

 ඇවිලෙන ගින්නට පිදුරු (4)

ලිපි මාලාව සමඟ පාඨක පිරිසක් රැස් ව සිටීම ගැන ප්‍රථමයෙන්ම සතුටු වන අතර ඒ කියවා බලා තම අදහස් සටහන් කිරීමට කාලය වැය කිරීම ගැන කෘතඥ වෙමි.

මේ ලිපි පෙල තුළ අවසානයේ මා සඳහන් කලේ වංශකතා කතුවරයා විසින් ඔහු නොදන්නා දේ සමඟ දන්නා දේ ගැලපීමට කරනු ලැබ ඇති උත්සාහය පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් තවත් කරුණක් මෙහිදී සඳහන් කළ යුතු වේ.

ඉහත ලිපියකදී පණ්ඩුකාභය කුමරා සම්බන්ධයෙන් වන විට ඒ කථාව සම්පාදනය කළ ආකාරය සම්බන්ධයෙන් අදහසක් මා සඳහන් කළෙමි. මහාවංශය තුළ පණ්ඩුකාභය රජවීමෙන් පසු, නගරය නිර්මාණය කළ ආකාරය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබේ. එහිදී ඔබට පහත කරුණු හමුවන්නට ඇති බව මා සිතමි. පහත කොටස් උපුටා ගන්නේ බෞද්ධ සංස්කෘතිය මධ්‍යස්ථානයෙන් මුද්‍රිත සිංහල මහාවංශයෙනි.

දොරගම් සතර ද අබා වැව ද එසේම මහත් සොහොන් භූමිය හා දම් ගෙඩිය හෝ වධස්ථානය ද බටහිරි රැජන ද වෙසවුණුයා (දොවොල) ද වැදි දෙවියා තල් (දොවොල) ද සභාග වස්තුව ද ප්‍රභේද ගෙය ද යන මෙතෙක් දෑ බටහිරි දොර දිශා භාගයෙහි ඒ රජ තෙමේ ම පිහිට වී.

මීළඟට මේ ඡේදයම මහා. ගයිගර් විසින් දක්වා ඇති ලෙසින් ද පහතින් උපුටා දක්වමි.

He laid out also four suburbs as well as the Abhaya-tank, the common cemetery, the place of execution, and the chapel of the Queen of the West, the banyan-tree of Vessavana and the Palmyra-palm of the Demon of Maladies, the ground set apart for the Yonas and the house of the Great Sacrifice; all these he laid out near the west gate.

මේ ඉංග්‍රීසි පරිවර්තනයේදී සිංහල පරිවර්තනයේ නොමැති කරුණක් නැත්නම් වෙනස් අරුතකින් යුත් පාඨයක් ඇතුළත්ව තිබේ. ඉංග්‍රීසියේ දී Yonas යන  පාඨය ඇති අතර ඒ පිළිබඳව සඳහනක් සිංහල පරිවර්තනයේ නොවේ. මුල් පාඨය වන්නේ ‘යෝනසභාගවත්ථු‘ ය. සත්‍ය ලෙසම සිංහල පරිවර්තනයේ මෙවැනි අවස්ථා කීපයක් ම ඉංග්‍රීසි පරිවර්තනයත් සමඟ සැසඳීමේ දී දැකිය හැකි අතර කුමක් නිසා එසේ වීදැයි සිතා ගත නොහැක. නමුත් මුල් මහාවංශයට බොහෝදුරට සැසඳෙන්නේ ඉංග්‍රීසි පරිවර්තනය මිස සිංහල පරිවර්තනය නොවේ. මෙය මෙසේ තිබියාදෙන්.

දැන් මේ මහාවංශ කතාවට අනුව යෝන නමින් හැඳින්වෙන පිරිසක් ද පණ්ඩුකාභය කාලයේ දී අනුරාධපුරයේ සිටි බව පැහැදිලි වේ. පණ්ඩුකාභය, ඉන්දියාවේ අශෝකට පෙර ලංකාවේ රජ වූවෙකි. චන්ද්‍රගුප්ත මෞර්ය හා සමකාලීන වෙයි. චන්ද්‍රගුප්ත, මහා ඇලෙක්සැනඩර්ගේ සමකාලීනයෙකි. චන්ද්‍රගුප්තගේ රාජ සභාවේ යෝනකයන් සිට තිබේ. ඔවුන් සාමාන්‍යයෙන් ‘යවන‘ නමින් හැඳින් වේ. මේ යවනයන් ග්‍රීක ජාතිකයන් ලෙසින් සැලකෙන ආකාරය අපට දක්නට ලැබේ. අනුරාධපුරයේ පණ්ඩුකාභයගේ කාලයේ සිටියෙත් මේ යෝනයන් දැයි ප්‍රශ්නයක් මෙනිසා පැන නගී.

අද ද යෝනක නම අපි ශ්‍රී ලාංකික එක්තරා ජන කොට්ඨාශයකට භාවිතා කරන්නෙමු. කෙසේවෙතත් මහා. ගයිගර් විසින් මේ යෝනයන් පිළිබඳව කියන්නේ ඔවුන් යවන නැත්නම් ග්‍රීක ජනතාව ලෙසිනි. ඔහු වැඩිදුරටත් කියන්නේ එවකට ග්‍රීක ජාතිකයන් ලංකාවේ නොසිටියත් පසු කාලීනව ඔවුන් විසින් රජු විසින් සකස් කල ගොඩනැගිලි වාසස්ථාන කර ගන්නට ඇති බවයි.

මේ යෝනක නම මුහම්මදිකයන් සඳහා ද භාවිතා වී තිබේ. ප්‍රසිද්ධ ශ්‍රී පාද ලාංඡන ගථාවේ ද මේ පාඨය ඇති බව දැන් ඔබට සිහිපත් වනු ඇත. එය ආපසු සිහිපත් කළහොත්,

යං නම්මදාය නදියා - පුලිනේ ච තීරේ

යං සච්චබද්ධ ගිරිකේ සුමනාචලග්ගේ

යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං

තං පාද ලාංඡනමහං සිරසා නමාමි

ලෙසිනි. මේ යෝනක පුරය මක්කම ලෙසින් හඳුන්වන්නෝ වෙයි. මක්කම, මුහම්මදිකයන්ගේ පූජා ස්ථානයක් ලෙසින් ලෝකයේ පිළිගනී. එහි ඇති පාදය බුදුරජාණන්වහන්සේගේ සිරිපතුල ලෙසින් පිළිගන්නා මතධාරීන් පිරිසක් ද ලංකාවේ වසයි. ඒ කෙසේවෙතත් මේ අර්ථයෙන් ගත් විට යෝනක නම මුහම්මදිකයන් සඳහා භාවිතා වෙයි. මේ මුහම්මදිකයන් සඳහා ද්‍රවිඩයන් භාවිතා කළ නම වන්නේ ‘සොනකන්‘ නැත්නම් ‘සෝනම්‘ යන්නයි.

මහාංවශය ලියැවෙන්නේ ක්‍රි.ව. 5 වන සියවසේ පමණ ය. පෙර අවස්ථාවකදී අප විසින් ක්‍රි.පූ. කාලයේ සිදු වූ සමහරක් දේ අසා දැනගත් ලෙසින් වංශකතා කතුවරයා විසින් ලියන්නට ඇති බවට සඳහන් කළෙමු. ක්‍රි.ව. 5 වන විට ලංකාවට අරාබි ජාතිකයන් පැමිණ අවසන් ය. පණ්ඩුකාභයගේ රාජ්‍ය කාලය සාමාන්‍යයෙන් මහාවංශයට අනුව සැලකෙන්නේ ක්‍රි.පූ. 377 - 307 දක්වා වේ. එවිට වංශකතා කතුවරයා යෝනක වචනය පාවිච්චි කරන්නේ ක්‍රි.ව. 5 වන සියවසේ භාවිතාවෙන් යැයි කිසිඳු විටක සිතීමට හැකියාවක් නැත. මෙනිසා පණ්ඩුකාභයගේ කථාවේ දී යෝනක පාඨය එහි මුල් ස්වභාවයෙන් ම පාවිච්චි කරන බව නිගමනය කිරීමට සිදු වේ.

ක්‍රි.පූ. 3 වන සියවසේ දී ඉන්දියාවේ රජ වූ අශෝක මේ පාඨය පාවිච්චි කළේ එහි මුල් අර්ථයෙනි. ඒ අනුව අශෝකගේ ධර්ම දූත පිරිසෙන් මහාරක්ඛිත තෙරණුවෝ යෝනක දේශයට වැඩම කරනු ලැබූ බව සඳහන් වේ. ඒ ලංකාව නම් මිහිඳු තෙරණුවෝ මෙහි වැඩම කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. කෙසේවෙතත් මහාරක්ඛිත තෙරණුවෝ යෝනක දේශයට වැඩම කරන්නේ පණ්ඩුකාභයට පසුව ය. තවදුරටත් අශෝක ඔහුගේ ටැම් ලිපිවල යෝන වැසියෝ ඔහුගේ යටත් වැසියෝ ලෙසින් ද දක්වයි. මහාවංශයට අනුව ඇලෙක්සැන්ඩ්‍රියාව යෝන දේශයේ අගනගරය වේ. ඇලෙක්සැන්ඩ්‍රියාව අපි දන්නේ මහා ඇලෙක්සැන්ඩර් විසින් ගොඩ නැගූ නගරයක් ලෙසිනි. නමුත් මිළින්ද ප්‍රශ්නයට අනුව මිළිඳු රජු ඉපැදුන කලසිගාමයේ දූපතක් ලෙසින් ඇලසැන්ඩා හැඳින් වේ. මහාවංශය හා මිළින්ද ප්‍රශ්නය සමකාලීන නොවේ යන්න පමණක් මෙහිදී සටහන් කර තබමි.

ක්‍රි.පූ. 3 වන සියවස පමණ වන විට ලංකාවේ ග්‍රීක ජනාවාසයක් තිබුනා යැයි කීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වුවත් ක්‍රි.ව. 5 වන විට තත්ත්වය නම් වෙනස් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙනිසා වංශකතා කතුවරයා කරුණු දැක්වීමේ දී පණ්ඩුකාභයගේ කාලය වන විට තිබූ ආරම්භක අවදිය හැඳින්වීමේ දී යෝනක පාඨය යොදන්නේ අශෝකගේ කාලයේ හැඳින් වූ අර්තයෙන්ම බව නිගමනය කළ හැක.

කෙසේවෙතත් අපේ වංශකතාවල එවැනි ජන කොටසක් ගැන විශේෂයෙන් සඳහන් නොවේ.

ක්‍රි.ව. 5 වන සියවසේ පමණ ෆා හියන් භික්ෂුව ලංකාවට පැමිණෙන අතර උන්වහන්සේගේ වාර්තා වල බටහිර අනුරාධපුරයේ වාසය කළ ‘සබායින්‘ (Sabaen) වෙළෙන්දන් ගැන සඳහන් වේ.  මෙහිදී ඉංග්‍රීසි පාඨය සඳහන් කරනු ලැබූවේ මේ සම්බන්ධ සිංහල පාඨයක් මා නොදන්නා නිසාවෙනි. ඔහු විසින් මොවුන්ව විස්තර කර ඇත. පෙරදී දැක් වූ මහාවංශ පාඨයට අනුව යෝනයින්ගේ ජනපදය පිහිටෙන්නේ ද බටහිර අනුරාධපුරයේ ය. මෙනිසා ෆා හියන් භික්ෂුව විසින් මේ කියන්නේ පණ්ඩුකාභය විසින් සඳහන් කළ යෝනයන් ගැනම බව නිගමනය කළ හැකි වේ. ඒ අනුව මහාවංශය ලියැවෙද්දී බටහිර අනුරාධපුරයේ දියුණු විදෙස් වෙළෙන්දන් සමූහයක් වාසය කර ඇති අතර ඔවුන්ගේ ජනාවාසය විධිමත්ව එහි පිහිටුවන්නේ පණ්ඩුකාභය විසින් බව සනාථ වේ.

දැන් ආපසු පණ්ඩුකාභය වෙත යොමු වෙමු. මහාවංශයට අනුව ඔහු විධිමත් අනුරාධපුර නගරය සකස් කර ඇති අතර එහිදී එතෙක් එහි ජීවත් වූ අයට නිශ්චිත ස්ථාන ලබා දී ඇත. ඒ අනුව යෝනකයන්ට ද නිශ්චිත ස්ථානයක් ලබා දී ඇත. මේ යෝනකයෝ ග්‍රීකයන් වුවත් මුහම්මදිකයන් වුවත් ලංකාවට පැමිණියේ කවදා කෙලෙසින්දැයි පිළිගත හැකි නිශ්චිත සාක්ෂි අදට හමු වී නැත. විජය සමඟ හෝ විජයට පසුකාලීන පිරිස් සමඟ හෝ ඔවුන් පැමිණියා යැයි සිතීමට පවා සාක්ෂි නැත. නමුත් පණ්ඩුකාභයගේ කාලය වන විට ඔවුන් අනුරාධපුරයේ ස්ථිර ජන කොටසක් ව සිට තිබේ. මේ යෝනයන් ලංකාවට ආ ආකාරය වංශකතා කතුවරයා දැන සිට ඇති බවක් නොපෙනේ. නමුත් ඔහු සැඟවීමකින් තොරව දන්නා දෙය සඳහන් කර ඇත.

කෙසේවෙතත් අද මහාවංශය කියවන්නෙකුට මේ පාඨය හමු නොවේ. මන්දයත් ඉංග්‍රීසි පරිවර්තනය කියැවීමට තරම් බහුතරයකට දැනුම නොමැතිවීම නිසාවෙනි. ප්‍රශ්නය ඇත්තේ එහි ය. 

 

* අන්තර්ජාලයෙන් උපුටා ගත් අශෝකගේ 5 වන ගිරිලිපිය. මෙහි යෝන දේශය ගැන සඳහන් වේ. 


 

 අන්තර්ජාලයෙන් උපුටා ගත් අශෝකගේ 13 - 14 ගිරි ලිපි. මෙහිදී ද යෝන දේශය ගැන මෙන්ම රජවරුන්ගේ නම් පවා සඳහන් වේ.


Labels: , , ,

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home