Monday, August 23, 2021

ඇවිලෙන ගින්නට පිදුරු දැමීම

  ඇවිලෙන ගින්නට පිදුරු දැමීම... 

 කුඩා කළ සිට නොයෙක් ඉතිහාස කථා අපි අසා ඇත්තෙමු. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගලා විත් ඇත්තේ ය. කාලාම සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ යමක් පරම්පරාවෙන් ආ පමණින් ම ප්‍රඥාවන්තයා එය පිළිනොගන්නා බවයි. ඉතිහාසය ගැන මිනිසුන් හදාරන්නේ මේ නිසාවෙනි. මේ සොයා යෑම් නිසාවෙන් ම නොයෙකුත් වාද විවාද කලින් කලට මතු වී නැති වී යයි. කලින් කලට ඇවිලෙන ගින්නට පිදුරු වැටේ. 

 කරුණු කාරණා කොයිහැටිවෙතත් යමෙක් කියනා දේ එලෙසින් ම පිළිනොගන්නා අය ද සිටිති. අවාසනාවට මා ද ඉන් එකෙකි. එනිසා අනිත් දේ මෙන්ම ඉතිහාසය සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත්වෙන අයුරින් ම පිළිනොගෙන විමසා බැලීමට නිතර කටයුතු කරමි. මෙනිසා මා සමඟ ද නොයෙක් ආකාරයෙන් ගැටෙන්නෝ වෙති. නමුත් ඔවුන් සමඟ මාගේ තරහක් නැත. මන්දයත්, ඔවුන්ගෙන් ද බොහෝ දේ මා උගන්නා නිසාවෙනි.  

හැඳින්වීමට එය ප්‍රමාණවත් යැයි සිතමි. 

 මහාවංශය හා දීපවංශය. මේවා නොකිය වූ සහ මේ ගැන නොඇසූ සිංහලයෙක් සිටිය නොහැක. මහාවංශයේ දී අතීතයේ යම් යම් දිනවල ප්‍රසිද්ධියේ දීපවංශය කියැවීමට නියම කර තිබූ බව දක්වා ඇත. අද නම් එවැනි දේ සිදු නොවේ. මහාවංශය ක්‍රි.ව 5 වන සියවසේ පමණ රචනා වූවක් වන අතර දීපවංශය ක්‍රි.ව 4 වන සියවසේ පමණ රචනා වූවක් ලෙසින් හඳුනා ගත හැක. මේ වංශකතා දෙකම ඉතිහාස ග්‍රන්ථ නොවුනත් ඒ ඒ යුගයන්හි ලංකාවේ සිදු වූ දේ ගැන කරුණු අන්තර්ගත කොට තිබේ. පණ්ඩුකාභය රජු, දුටුගැමුණු රජු, මහසෙන් රජු, බුද්ධදාස රජු, ධාතුසේන රජු, සීගිරි කාශ්‍යප, විජයබාහු රජු, පරාක්‍රමබාහු රජු ආදීන් ගැන අපේ පැරැන්නෝ දරු මුණුපුරුන්ට කථා කියා දුන්නේ මේ වංශකථා අනුව ය. 

 මහාවංශය මෙන්ම දීපවංශය ලියැවෙන කාලය වන විට ලංකාවේ මුල් බැසගත් රාජ්‍ය පාලනයක් තිබිණි. එය ලෝකයේ එවකට දැකිය හැකි අනිකුත් ශිෂ්ටාචාර සමඟ බලනවිට ඉතා දියුණු ශිෂ්ටාචාරයක් විය. කෙසේවෙතත් වංශකතා දෙකම විජයට සිංහල රාජාවලියේ ආරම්භය ලබා දෙන ආකාරය දක්නට ලැබේ. විජය, ලංකාවට තම්බපන්නියයැයි නම තැබූ බව වංශකතාවල දී හැඳින්වූවද විජය ලංකාවට පැමිණීමට පෙරත් ලංකාව හඳුන්වන්නට ඇත්තේ ඒ නමින් ම බව සිතීමට බාධාවක් නැත්තේ ක්‍රි.ව. පටන් ගැනීමට පෙර පටන් පෙරදිග ලෝකය තුළ තැප්‍රොබේන් නමින් ලංකාව හැඳින්වීම නිසාවෙනි. ඉතා පැහැදිලිව විජයට ලංකාවේ නම තැබීමට අවස්ථාව ලබා දීම උත්තරයට ගැලපෙන ලෙසින් ප්‍රශ්නය නිර්මාණය කිරීමේ අවස්ථාවකි. ඒ සඳහා වංශකථා නිර්මාණකරුවාට වුවමනා තරම් අවකාශය ලැබී තිබේ. 

 ක්‍රි.ව.4 සියවස වද්දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර අවසන් අතර ලංකාවේ සිට පබළු රැගෙන ඒමට රාජදූතයන් රෝමයට ගොස් ද අවසන් ය. ස්ථිරවම සනාථ වී නැතත් වංශකථාවල සඳහන් නොවන මහා ඇලෙක්සැන්ඩර් ලංකාවට පැමිණීම ද සිදු වී හමාර ය. යම් හෙයකින් ඇලෙක්සැන්ඩර් සත්‍ය ලෙසම ලංකාවට පැමිණියා නම් මිහිඳු හිමි ලංකාවට වැඩීමට පෙර එය සිදු වී තිබේ. ෆා හියං හිමි ලංකාවට වැඩම කරන්නේ මහාවංශය ලියැ වී කෙටි කාලපරාශයක් තුලදී ය. ෆා හියං හිමිගේ ලංකා විස්තරය අනුව ලංකාව ඒ වන විට ඉතා දියුණු ශිෂ්ටාචාරයකි. නමුත් ලංකාවට වඩා නැත්නම් සමාන දියුණු ශිෂ්ටාචාර ඒ වෙද්දී ලෝකය තුළ ඇති වී තිබේ. වංශකථාකරුවා සිදු කරන්නේ එම ලෝක ශිෂ්ටාචාර සමඟ ලංකා ශිෂ්ටාචාරය ද ගැලපීමයි. වැඩි තොරතුරු සපයා ගත නොහැකි ක්‍රි.පූ. යුගය ඒ සඳහා ඔහු යොදා ගනී. 

 හිතන්න. හෝමර්ගේ ඔඩිසි කාව්‍යයේදී අපි හමුවන යුලීසියස් සහ සර්කා යුවළ වෙනත් නමකින් අපේ මහාවංශයේ සිටී. විජය - කුවේණි. නමුත් කුවේණිය දීපවංශයේ සඳහන් නොවන චරිතයකි. මේ ගැන පෙර අවස්ථාවකදී ද කථා කර ඇති නිසා නැවත කථා නොකරමි. 

 පෙර දී සඳහන් නොකළ වෙනත් කථාවක් කියමි. ජාතක පොත්වහන්සේ තුළ ඝත ජාතකය ලෙසින් ජාතක කථාවක් ඇතුළත් වේ [http://jathakakatha.lk/sinhala/index.php?option=com_content&view=article&id=363:442-&catid=58:401-450-&Itemid=101]. මේ ජාතක කථාවේ මුල් කොටසේ කංස නම් රජ කුමාරයකු ගැන සහ දේවගර්භා නම් රාජ කුමාරිය ගැන සඳහන් වේ. මේ දේවගර්භාට උපදින කුමාරයා රජු නසා රජකම ගන්නා බව නිමිති පාඨකයන් කීවේලු. ඉතින් මහරජු කරන්නේ කුමක් ද? දේවගර්භාව ගලින් කළ මැදුරක සිරගත කිරීමයි. මහරජුගේ මරණයෙන් පසුව රජවෙන්නේ කංස ය. කංස විසින් ද දේවගර්භාව මරන්නේ නැත. පසු අවස්ථාවකදී මධුරාවේ සිට පැමිණෙන උපසාගර කුමාරයා මේ මැදුර දැක විස්තර අසා දේවගර්භා සමඟ සංවාසයේ යෙදේ. පසුව කංසා, උපසාගරට දේවගර්භා විවාහ කර දෙයි. මුලින් ම ඔවුන්ට ලැබෙන දරුවා ගැහැණු දරුවෙකි. දෙවැනි දරුවා ලැබීමට සිටිනා විට දේවගර්භාගේ සේවිකාව ද ගැබ්බරව සිටී. ඇයට ගැහැණු දරුවකු උපදින අතර දේවගර්භාට පිරිමි දරුවකු උපදී. මේ පිරිමි දරුවාව සේවිකාවගේ ගැහැණු දරුවා සමඟ මාරු කරන්නේ මාමාවරු විසින් ඝාතනය කරනු ලැබේවියැයි ඇති වන බිය නිසාවෙනි. මේ ජාතක කථාව තුළ මේ කියන කුමරා පසුව හඳුන්වන්නේ වාසුදේව ලෙසිනි. වාසුදේව යන චරිතය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ශ්‍රී ක්‍රිෂ්ණා හඳුන්වන තවත් නමකි එය. ජාතක කථාව අවසානයේ බුදුරජාණන්වහන්සේ පූර්වාපර සන්ධි ගැලපීමේ දී වාසුදේව නම් වූයේ සැරියුත් තෙරණුවෝ යැයි දක්වති. සිංහල ජාතක කථාවේ ආරම්භයේ කණ්හා නම සඳහන්ව නැතත් තායි ජාතක කථාවේ වැනි ඉංග්‍රීසියෙන් කියවිය හැකි මේ ජාතක කථාවේ ආරම්භයේ දී කණ්හා යන නම භාවිතා කර තිබේ. කණ්හා යනු ‘බඩබෝල කණ්හා‘ ලෙසින් ඔබ පහුගිය කාලයේ අසනු ලැබූ නම ම ය. "

Black Kaṇha, rise," etc. This story the Master told in Jetavana about a son's death. The circumstances are like those in the Maṭṭha-Kuṇḍali Birth 2. Here again the Master asked the lay brother, "Are you in grief, layman?" He replied, "Yes, Sir." "Layman," said the Master, "long ago wise men listened to the bidding of the wise, and did not grieve for the death of a son." And at his request, he told a story of the past. [https://www.sacred-texts.com/bud/j4/j4018.htm] 

හරිවංශ පුරාණ නම් සංස්කෘත ග්‍රන්ථයේ දී ක්‍රිෂ්ණ කතාව ඇතුළත් වේ. ඒ ක්‍රිෂ්ණ කථාව සමඟ මේ ඝත ජාතකයේ කථාව කියවා බලන්න. ඉන්පසු මේ මා ඉහතින් දැක් වූ ඝත ජාතකයේ කොටස සමඟ ගැලපෙන ඔබ අසා ඇති ඉතිහාස කථාවක් තිබේදැයි කල්පනා කර බලන්න. වං

වංශකථාකරුවා විසින් ලංකාවට ගෞතම බුදුරජාණන්වහන්සේ තෙවරක් වැඩි බව සඳහන් කරයි. ඊට පෙර සිටි බුදුවරුන් විසින් ද ලංකාවට වැඩම කරනු ලැබූ බව සඳහන් කරයි. මිහිඳු හිමියන් විසින් දෙවානම්පියතිස්ස රජුට මේ ගැන දේශනා කරයි. පෙර බුදුවරුන්ගේ කාලයේ දී ලංකාව හඳුන්වන නම් වංශකථාවේ දක්වා තිබේ. ඒ මෙලෙසිනි. කකුසඳ බුදුන්ගේ කාලයේ දී ඕජදීප ලෙසත්, කෝණාගමන බුදුන්ගේ කාලයේ දී වරදීප ලෙසත් කාශ්‍යප බුදුන්ගේ කාලයේ දී මණ්ඩදීප ලෙසත් ය. ගෞතම බුදුරජාණන්වහන්සේගේ කාලයේ දී ලංකාව හඳුන්වා ඇත්තේ ලංකා දීප ලෙසිනි. වර්තමාන සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මුද්‍රණය කරන්නා වූ මහාවංශයේ දී ‘ලක්දිව්‘ ලෙසින් එය පරිවර්තනය කර තිබේ. මහාවංශය දෙවනපෑතිස් රජුගේ කථාව කියද්දී විජයගේ කථාව එක්කෝ අමතක කර ඇත. නැත්නම් එය මග හැර ඇත. මන්දයත් තම්බපන්නිය ලෙසින් විජය නම් කර ඇති බවට මහාවංශයේ ම දක්වා ඇති නිසාවෙනි. එනිසාය ඉහතින් මා කීවේ වංශකථා කතුවරයා තැප්‍රොබේන් යන විදෙස් නාමය ගෙන විජය හරහා තම්බපන්නිය බවට සඳහන් කර ඇති බව. ලංකාව පෙර දී හැඳින් වූ බවට වංශකතාවේ දැක්වෙන නම් සමඟ බැලූ විට තම්බන්පන්නි නම නොගැලපෙන අතර වංශකතා ලියැවෙන විටත් ‘දූපත‘ යනු කුමක්දැයි සිංහලයා දැන සිට ඇත. ඒ ආකාරයෙන් ලෝකය සමඟ ඉතා පහසුවෙන් මේ රට සම්බන්ධ කිරීමට වංශකතාකරුවා කටයුතු කර තිබීම ප්‍රශංසනීය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඡායාරූප අන්තර්ජාලයෙනි 

 



0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home