Monday, August 23, 2021

ඇවිලෙන ගින්නට පිදුරු (3)

 ඇවිලෙන ගින්නට පිදුරු (3)

 ළිං මැඩියාට ලෝකය ළිඳයි යන්න දැනටත් භාවිතා වෙන අතීතයේ සිට පැවතෙන කථාවකි. සිර වී සිටින කොටුවෙන් පිටට පැමිණ ලෝකය දෙස බැලීමට අපහසු පිරිස් උදෙසා මෙය ව්‍යවහාර වෙයි. කෙසේවෙතත් ලංකාවාසීන්ට මෙය එතරම් අදාළ නොවන්නේ විවෘත මනසකින් යුතුව අන් මත දැරීමේ හැකියාව සහ විචක්ෂණශීලීව කරුණු ගවේෂණය කිරීමට ඔවුන් සූදානම් නිසාවෙනි. ම

හාවංශය, දීපවංශය ආදී වංශකථාවලට අනුව ලංකාවට ප්‍රභල ඉන්දියානු සංක්‍රමණයක් සිදුකරන්නේ විජය ඇතුළු පිරිසයි. නමුත් ඒ වංශකථාවලට අනුව ම බුදුරජාණන්වහන්සේ විජයට පෙර තෙවරක් ලංකාවට වැඩම කර තිබේ. ඒ පැමිණි අවස්ථාවලදී බුදුරජාණන්වහන්සේගෙන් බණ ඇසූ අය අතර ප්‍රසිද්ධ චරිතයක් වන්නේ ‘සුමන‘ යි. මේ සුමන අද සමනොළ කන්ද ආශ්‍රිතව වැඩ වාසය කරන දෙවියන් ලෙසින් විශ්වාස කරයි. කෙසේවෙතත් සමන් දෙවියන්ගේ මූලස්ථානය වන්නේ මහියංගනයේ දේවාලයයි. මහියංගන චෛත්‍යය සෑදීමේ ගෞරවය හිමිවන්නේ සමන් දෙවියන්ට ය.

 වංශකතාවල බුදුරජාණන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළ බව කියන්නේ නමුත් එයින් ඇති වූ බලපෑම ගැන කියන්නේ නැත. කෙසේවෙතත් බුදුරජාණන්වහන්සේ ලංකාවට ප්‍රථමවරට වැඩම කරන්නේ අනාගතයේදී බුදු දහම හොඳින් පිහිටන්නේ ලංකාවේ බව දැන ගෙන බව වංශකතාවම දක්වයි. මෙනිසා වංශකතාවට අනුව විජය ලංකාවට ගොඩ බහින විට ලංකාවේ ස්ථාන කීපයක පිළිගත් බෞද්ධ සිද්ධස්ථාන පිහිටයි. ඒ නාගදීපය, මහියංගනය, කතරගම, රත්නපුර, කැළණිය යන ස්ථානවලය. 

 විජය ගැන වංශකතාවල දැක් වේ. විජයගේ පරම්පරාව ගත් විට සීයා සිංහයෙකි. ජීව විද්‍යානුකූලව ගත් විට එය විය නොහැකි කථාවකි. නමුත් ලෝක ඉතිහාසයේ දී සාහිත්‍යය මෙවැනි සිදුවීම්වලට ඉඩ ලබා දී තිබේ. සීයා වන සිංහයාව පියා විසින් මරා දමයි. ඉන්පසු රජවන්නේ පියා ය. පියා විවාහ වන්නේ පියාගේ සොයුරිය සමඟිනි. ඒ සහෝදර සහෝදරියන්ගේ විවාහයෙන් උපදින පුත්‍රයා විජයයි. විජය හැසිරෙන්නේ රජකුට ගැලපෙන අයුරින් නොවේ. එහි ප්‍රතිඵලය වන්නේ පියා විසින් විජය සහ ඔහුගේ සහචරයන් රටෙන් නෙර පා හැරීමයි. එසේ නෙරපන විජයව ඉන්දියාව විසින් ආපසු භාර ගන්නේ නැත. ඔහු ඒ අනුව ලංකාවට පැමිණෙයි. මේ විජය ලංකාවට පැමිණෙන දිනයත් බුදුරජාණන්වහන්සේගේ පිරිනිවනත් සිදුවන්නේ එකම දිනකය. බුදුරජාණන්වහන්සේ ශක්‍ර දෙවියන්ට විජය ආරක්ෂා කිරීමේ වගකීම පවරයි. ඒ අනුව ලංකාවට පැමිණෙන විජයගේ අතේ පිරිත් නූල් බැඳීමක් සිදු වෙයි. ලංකාවට පැමිණෙන විජය, කුවේණියගේ සහායෙන් රජු බවට පත් වෙයි. සහාය දුන් කුවේණියව නෙරපීම ඔහුගේ ඊළඟ කාර්යයි. ඉන් පසුව ඔහු සමඟ විවාහයට කුමරියක් අවශ්‍ය වේ. මේ කුමරිය පැමිණෙන්නෙ පඬි රටෙනි. එය දකුණු ඉන්දියානු රටකි. විජය උතුරු ඉන්දියානුවෙකි. විජයට දරුවන් නැත. ඉන්පසුව රජකමට කැඳවන්නේ ආපසු උතුරු ඉන්දියානුවෙකි.  

 ඉහත ඡේදයේ මා දැක්වූයේ මහාවංශයට අනුව විජයගේ කථාව සැකවිනි. දැන් මේ කථාව අනුව වංශකතා කතුවරයා නොකියා කියන්නා වූ කථාවක් තිබේ. වංශකතා ලියැවෙන්නේ ක්‍රි.ව.5 වන සියවසේ පමණදී ය. ඒ වන විට ලංකාවේ අතීතය ගැන දැන ගැනීම සඳහා තවත් කෘති කීපයක් ම තිබී තිබේ. මහාවංශය ආරම්භයේ දී මහාවංශය ලිවීමට මූලාශ්‍ර කරගත් පොත් ගැන දක්වා ඇත. තමුන්ට දැන ගැනීමට ලැබුන දේ කතුවරයා විසින් ලියා තිබේ. කතුවරයා සිය දැනුමෙන් ම දැනගත් දේ මේ විජයගේ කාලය සම්බන්ධයෙන් ඇත්තේ අල්ප ලෙසිනි. කෙසේවෙතත් ඒ වන විටත් බුදුරජාණන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩි බව ජනමූලාශ්‍රයක් ලෙසින් සහ ග්‍රන්ථ මූලාශ්‍රයක් ලෙසින් භාවිතාවේ තිබී ඇත. එසේම පිරිත් නූල් බැඳීමේ විශ්වාසය ද තිබී ඇත. 

 ත්‍රිපිටකය තුළ පිරිත් නූල් බැඳීමක් ගැන ඔබට අසන්නට ලැබෙනවා ද? නැත්නම් බුදුරජාණන්වහන්සේ එවැනි විශ්වාසයක් ඇති වන ආකාරයෙන් හැසිරුණ ආකාරයක් ගැන අසන්නට ලැබෙනවා ද? රතන සූත්‍රයේදී පිරිත් පැන් ඉසීමක් ගැන අසන්නට ලැබේ. ඒ හැර පිරිත් නූල් බැඳීමක් ගැන අසන්නට ලැබෙන්නේ නැත. නමුත් ක්‍රි.ව. 5 වන සියවස වෙද්දී ලංකාවේ මේ විශ්වාසය ජනප්‍රිය වී තිබේ. එය වංශකතාවට ද එකතු වී ඇත. එය සමහර විහාර චිත්‍රවල මාර සෙනවියෝ බයිනෙත්තු තියාගෙන සිටින්නා වූ නිරූපන වැනි අවස්ථාවක් ලෙසින් සැලකීමට බාධාවක් නැත. 

 වංශකතාවල දී විජයගේ ආගමික විශ්වාසය ගැන සඳහනක් නැත. මෙය සැලකිය යුතු කරුණකි. එවැනි පුද්ගලයකු ආරක්ෂා කිරීමේ වගකීම ශක්‍ර දෙවියන්ට බුදුරජාණන්වහන්සේ පවරයි. නමුත් විජයගේ ලංකා ගමනත් බුද්ධ පරිනිර්වාණයත් සිදුවන්නේ එක් දිනකදී ය. එසේම විජය උතුරු ඉන්දියානුවෙකි. බුදුරජාණන්වහන්සේ? 

 විජය ලංකාවට පැමිණි පසුව ඔහුට කුවේණිය මුන ගැසෙයි. මහාවංශයට අනුව කුවේණිය තීක්ෂණ නුවණකින් යුතු, මානසික ශක්තියකින් යුතු තැනැත්තියකි. ඇය මායාකාර දේ කරයි. නමුත් ඇයට විජයගේ අතේ තිබුණ පිරිත් නූල පෙනෙන්නේ නැත. අනෙක් අතට කුවේණිය නාගදීපය, කැළණිය ආදී පෙර කී ස්ථානවලට සම්බන්ධ අයකු ද වන බවක් පෙනීමට නැත. මෙනිසා මහාවංශයේ සඳහන් වුවද දීපවංශය කුවේණිය ගැන කථා කිරීමට යොමුවන්නේ නැති බව පැහැදිලි ය. 

 විජයට කුවේණිය සමඟ සිටිනාවිට ඇහෙන ඝෝෂාව ගැන කුවේණිය විස්තර කරන්නේ සිරිවඩ්ඩනපුරයේ ඇගේ ඥාතීන්ගේ විවාහ උත්සවයක් ලෙසිනි. මේ ඥාතීන් මරා දැමීමට ඇය විජයට උපකාර කරයි. ඔවුන්ව මරා දැමීමෙන් පසුව පවා ඇගේ තවත් ඥාති පිරිසක් ලංකාවේ ඉතිරිව සිටී. ඇගේ ඥාතීන් ඇයව හෝ ඇගේ දරුවන් පිළිනොගත් බව පැහැදිලි ය. ඇයට මැරෙන්නට සිදුවන්නේ එහෙයිනි. මේ ඥාතීන් ගැන වංශකතාව කුවේණියගේ මරණයෙන් පසුව සිදුවන්නේ කුමක්දැයි සඳහන් කරන්නේ නැත. ඔබ සිතන්නේ ඒ කුමක් නිසාවෙන් විය හැකියි කියා ද? සරලවම හේතුව වන්නේ වංශකතාව රචනා කරන කාලයේ දී මේ ගැන තොරතුරු ලබා ගැනීමට හැකියාවක් නොමැති වීමයි. එනිසා ඒ ගැන කථා නොකිරීමට වංශකතාකරුවා කටයුතු කර ඇත. අපි වුවද කරන්නේ එයම ය. වංශකතාකරුවා ගලායෑමක් ඇති වන ආකාරයට, තමුන්ට හැකි ලෙසින් ගැලපිය හැකි තැන් ගලපා එසේ කළ නොහැකි තැන් අත්හැරීමට කටයුතු කර තිබේ. ඉතින් ඔහු ගැන කුමන කථා ද, අද මෙතරම් තාක්ෂණය, විද්‍යාව දියුණු තත්ත්වයක තිබියදී තවමත් අපිට අනුරාධපුරයෙන් සොයා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ වළං කැබැලි කීපයක් වන විට. 

 නමුත් ක්‍රි.පූ. 1100 පමණ කාලයටත් අයත් යැයි සැලකෙන වර්ණ කළ වළං කැබැලි පුරාවිද්‍යා කැණීම්වලදී සොයා ගෙන තිබේ. එසේම ක්‍රි.පූ. 750 ට පමණ අයත් සොහොන් බිම් සොයාගෙන ඇත. මෙය ඉන්දියාවේ තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයකි. ත්‍රිපිටකය තුළ සොහොනට ගොස් කුණු වී යන මළ මිනී දෙස බලා විදර්ශනා වැඩීමේ අවස්ථාව ගැන සටහන් පවතී. නමුත් ලංකාවෙන් අපට හමු වී ඇත්තේ විධිමත් ලෙසින් සකස් කර ඇති සොහොන් බිම් ය. මෙනිසා මේ භාවනාව ලංකාවේ සිදුව ඇති බවට සාක්ෂි අල්ප ය. දවන ලද මිනී අළු, මැටි මුට්ටිවල අසුරා වළලන පද්ධතියක් ද විජය මෙරට ට පැමිණීමට පෙර ලංකාවේ තිබී තිබේ. එය අදටත් සිදු කරන ක්‍රියාවකි. ක්‍රි.පූ. 3000 පමණ අතීතයට යන සොහොන් බිම් ඒ අනුව සොයා ගෙන ඇත. මෙනිසා විජය ලංකාවට පැමිණීමට පෙර දියුණු ශිෂ්ටාචාරයක් ලංකාවේ නොතිබුනැයි කියා කිසිවකුට කීමට හැකිවන්නේ නැත. ඒ පිළිබඳව වංශකතාකරුවා කථා නොකිරීමෙන් පෙනෙන්නේ එවැනි ඉතිහාසයක් නොතිබීම නොවේ. ඔහුට ඒ ඉතිහාසය ගැන තොරතුරු ලබා ගැනීමට නොහැකි වූ බව පමණි.




0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home