Monday, August 23, 2021

ඇවිලෙන ගින්නට පිදුරු (2) 

  ඇවිලෙන ගින්නට පිදුරු (2) 

 දීපවංශයත් මහාවංශයත් මේ ආකාරයට අපේ අතීත ඉතිහාසය දක්වයි. දැන් ඒ ඉතිහාසය අනුව මිහිඳු තෙරණුවෝ දේවානම්පියතිස්ස රජුට කියන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේට පෙර සිටි බුදුවරුන් තිදෙනකු ලංකාවට වැඩම කළ බවයි. කකුසඳ, කෝණාගමන සහ කාශ්‍යප ඒ බුදුවරුන් වේ. බෞද්ධ සාහිත්‍යයට අනුව මිහිඳු මහරහතන්වන්සේ පටිසම්භිදාලාභී තෙරණුවන් වහන්සේ නමකි. බෞද්ධ සාහිත්‍යයේදී ම එක් එක් රහතන්වහන්සේලාට පෙර ආත්ම දැකිය හැකි කාලය පිළිබඳව දක්වා තිබේ. කාශ්‍යප බුදුරජාණන්වහන්සේ සහ ගෞතම බුදුරජාණන්වහන්සේ අතර කාලය සලකා බලා මේ ගැන කල්පනා කරන්නේ නම් මැනවි. 

 මේ සමඟම සැලකිල්ලට ගත යුතු කරුණක් වේ. ටික කලක සිට රාවණ ගැන කථා කරන්නා වූ පිරිස එක්තරා මහායාන සූත්‍රයක් වන ලංකාවතර සූත්‍රය ඔවුන්ගේ මතය සනාථ කිරීමට යොදා ගන්නේ ය. කෙසේවෙතත් ඔවුහු එක් කරුණකදී ප්‍රවේශම් වෙති. ඒ ලංකාවතර සූත්‍රයේ දී කථා කරන බුදුරජාණන්වහන්සේ ගෞතම ද වෙනත් බුදුකෙනෙක්දැයි නිශ්චිතව කිව නොහැකි බව කියමිනි. මේ ආකාරයට ලිස්සා යෑමට ඔවුන්ට පුළුවන් ව ඇත්තේ වෙනත් කිසිවක් නිසා නොවේ අද සිංහලයා පොත් පත් නොකියන්නෙකු වන නිසාවෙනි.

 ලංකාවතර සූත්‍රය කුමක්දැයි සමහරු දන්නේ නැත. මහාවංශයට හා දිපවංශයට අපි දැන් ආපසු යා යුතු ය. ලෝකයටම ‘ධර්ම සංගායනා‘ ගැන විස්තර නැත්නම් මූලාශ්‍ර සපයන්නේ මේ වංශකතාය. කෙසේවෙතත් මේ වංශකතා මූලාශ්‍රය නොසපයන සිව්වන ධර්ම සංගායනාවක් වේ. ඒ කණිෂ්ක රජුගේ ධර්ම සංගායනාවයි. වසුමිත්‍රගේ මූලිකත්වයෙන් සිදු වූ මේ ධර්ම සංගායනාවේ දී සංස්කෘත ත්‍රිපිටකයක් සංගෘහිත විය. මේ හා සමාන ලංකාවේ සිදුවීම නම් වළගම්බා රජුගේ කාලයේ මහාරක්ඛිත මහතෙරගේ මූලකත්වයෙන් ථෙරවාද ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමයි. මෙය ථෙරවාදයේ සිව්වන ධර්ම සංගායනාව ලෙසින් සැල කේ. 

 දැන් වසුමිත්‍රගේ මූලිකත්වයෙන් සිදුවන ධර්ම සංගායනාව කාශ්මීරයේ සිදුවෙන්නේ ක්‍රි.ව.1 ත් 2 ත් අතර සියවස්වලදී ය. ක්‍රි.ව.2 වන විට මහායාන ධර්මයද ඉන්දියාවේ තිබුන බව එයින් පැහැදිලි වේ. කණිෂ්ක රජු කරන්නේ ඒ ධර්මය වසුමිත්‍රගේ මූලිකත්වයෙන් විදිමත් කිරීම ය. ඔබ ථෙරවාදී බුදුදහම ගැන හදාරන්නෙකු නම් ක්‍රි.ව. 2 පමණ වන විට ඉන්දියාවේ ථෙරවාදය තිබූ තැන දන්නවා ඇත. ඒ කාලය වන විට ඉන්දියාවේ ථෙරවාදය පසුගාමී තත්ත්වයක තිබිණි. කෙසේවෙතත් කණිෂ්ක යටතේ මහායාන බුදු දහම චීනය දක්වා ම පැතිර ගියේ ය. ඒ ගැන පසු දිනයක අපි කථා කරමු. බෝධිධර්ම ගැන ද පසු දිනයක කථා කරමු. මේ මහායාන ධර්මය තුළින් සෙන් බුදුදහම පෝෂණය වෙයි. මේ තුළ ප්‍රධාන සූත්‍ර ධර්ම කීපයක් වෙයි. ඒවා පහත ලෙසින් අපට නම් කළ හැක.

 1. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය 2. අවලෝකිතේශ්වර වික්‍රවන නර්දේශ 3. අවතම්සක සූත්‍රය 4. ප්‍රඥා පාරමිතා සූත්‍රය 5. විමලකීර්ති සූත්‍රය 6. ශ්‍රීමල සූත්‍රය 7. සුඛාවතී ව්‍යුහ සූත්‍රය 8. පරිනිර්වාණ සූත්‍රය 9. ලංකාවතර සූත්‍රය 

 මෙයින් ලංකාවතර සූත්‍රය කවදා ලියැවුනා දැයි නිශ්චිතව කිව නොහැක. නමුත් එය ක්‍රි.ව. 443 ට පෙර ලියැවී ඇති බව ඉඳුරා කිව හැක්කේ පළමු චීන පරිවර්තනය ක්‍රි.ව. 443 දී සිදු කිරීමට උත්සාහ කර ඇති නිසාවෙනි. ලංකාවතර සූත්‍රය තුළ සමස්ථ මහායාන ධර්මය ම අඩංගු වේ යැයි කෙනෙකු කියන්නේ නම් එහි වරදක් දැකිය නොහැක. කෙසේවෙතත් පසු කාලීනව ලංකාවතර සූත්‍රයට කොහෙන් හෝ එකතු වී ඇති කෑලි ගොඩෙන් (මස් මාංශ ප්‍රශ්නය ඇතුළු) කෑලි දෙකක් වන්නේ ‘රාවණ‘ පිළිබඳ කොටසයි. මුල් ලංකාවතර සූත්‍රවල මේ කොටස ඇතුළත් නොවේ. ලංකාවතර සූත්‍රය ආරම්භයේ සහ අවසානයේ රාවණ ගැන සඳහන් වේ. මැද ඇත්තේ බෝධිසත්වයකු විසින් බුදුරජාණන්වහන්සේගෙන් ප්‍රශ්න අසා පිළිතුරු ලබා ගන්නා කොටසකි. ලංකාවේ රාවණ රජු සිටි බවට සනාථ කිරීමට ලංකාවතර සූත්‍රය යොදා ගන්නේ මෙන්න මේ කොටස් දෙක අනුව ය. ඉතින් ලංකාවතර සූත්‍රය ගැන දන්නෝ සිටී නම් ඒ ඔස්සේ රාවණ සනාථ කිරීමට යාම එතැනින්ම අවසන් වන්නේ ය. 

 කථාව මෙතැනින් අවසන් නොවේ. 

 පෙර කී ලෙස මේ ලංකාවතර සූත්‍රයේ දැක්වෙන බුදුරජාණන්වහන්සේ ගෞතම බුදුරජාණන්වහන්සේදැයි නිශ්චිතව සඳහනක් නැත. නමුත් ඒ ගෞතම බුදුරජාණන්වහන්සේ විය නොහැකි බව මගේ අදහසයි. ඊට හේතුවක් තිබේ. වෛශ්‍රවණ විසින් බුදුරජාණන්වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් ආටානාටිය සූත්‍රයේ සඳහන් වේ [https://www.thripitakaya.org/tipitakaya/Index/81?s=37]. මේ වෛශ්‍රවණ විසින් විස්තර කියද්දී චරිත කීපයක් පිළිබඳව දක්වා තිබේ. ඒවා මෙසේයි. ආ ඊට පෙර යමක් කිව යුතු ය. ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට වෛශ්‍රවණ විසින් මෙසේ දක්වයි.

 “පසැස් ඇති සිරිමත් වූ විපස්සී බුදුරජුනට නමස්කාර වේ වා. සියලු සත්නට අනුකම්පා ඇති සිඛී බුදුරජුනට ද නමස්කාර වේ වා. සෝදා හළ කෙලෙස් ඇති, තපස්වී වූ වෙස්සභූ බුදුරජුනට නමස්කාර වේ වා. මරසෙන් මැඩැලූ කකුසඳ බුදුරජුනට නමස්කාර වේ වා, බාහිත පාපී වූ, වැ නිමැ වූ මඟ බඹසර ඇති, කෝණාගමන බුදුරජුනට නමස්කාර වේ වා. හැම දැයෙහි මිදුණා වූ කසුප් බුදුරජුනට නමස්කාර වේ වා. යමෙක් සියලු දුක් දුරැ ලන මේ ධර්මය දෙසී ද, ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍ර අඞ්ගීරසයන් වහන්සේට නමස්කාර වේ වා,“ 

දැන් මේ අනුව ආටානාටිය සූත්‍රයේ දැක්වෙන වෛශ්‍රවණ යනු ගෞතම බුදුරජාණන්වහන්සේගේ කාලයේ සිටි වෛශ්‍රවණ වේ. දැන් අපි පෙර කී චරිත හඳුනාගමු.

 1. කුවෙර (සූත්‍රයට අනුව වෛශ්‍රවණ නම් වන්නේත් ඔහුම ය.) 2. තතොලා, 3. තත්තලා, 4. තතොතලා, 5. ඔජසී, 6. තෙජසී, 7. තතොජසී, 8. සුරරාජ, 9. අරිෂ්ටනෙමි 10. ඉන්ද්‍ර ය, 11. සෝමය, 12. වරුණ, 13. භාරද්වාජ, 14. ප්‍රජාපති, 15. චන්දන, 16. කාමශ්‍රෙෂ්ඨ, 17. කින්නිඝණ්ඩු, 18. නිඝණ්ඩු, 19. ප්‍රණාද, 20. ඔපමඤ්ඤ, 21. දෙව් සැරි මාතලී, 22. චිත්‍රසේන, 23. ගන්ධර්ව, 24. නළ, 25. රාජ, 26. ජනර්ෂ්භ, 27. සාතාගිර, 28. හෙමවත, 29. පූර්ණක, 30. කරතිය ය (කාර්තීකෙය ය), 31. ගුඩ 32. ගොපාල, 33. සුප්පගෙධ, 34. හිරිනෙත්ති, 35. මන්දිය, 36. පඤ්චාල චණ්ඩ, 37. ආළවක, 38. පර්ජන්‍ය, 39. සුමන, 40. සුමුඛ, 41. දධිමුඛ, 42. මණි, 43. මානී, 44. වර, 45. දීර්ඝ, 46. සෙරීසක 

මේ නම් වලින් කීයක් ඔබ දන්නේ දැයි බලන්න. අනිවාර්යෙන්ම ඔබ දන්නා නම් කීපයක් මෙහි ඇත. මතක තබා ගන්න ඒ නම් ඒ ආකාරයට පෙළ ගැහෙන්නේ කුමනාකාරයෙන් වුවත් ක්‍රි.පූ.1 ට පෙර ය. එසේම ලංකාවතර සූත්‍රය නැත්නම් මහායානය හැදෙන්නටත් පෙර ය. ඒත් වැඩේ අවසන් නැත. 

 රාවණ රජුට පරම්පරාවක් වෙයි. ඒ පරම්පරාවට අනුව වෛශ්‍රවණට ද ඔවුන් තැනක් දී ඇත. එනම් වෛශ්‍රවණ හා රාවණ අතර නෑ කමක් තිබේ. නෑ කම ඔබ දන්නා නිසා මා මෙහි ලියන්නේ නැත. දැන් ඒ නෑකම හැබෑවක් නම් රාවණ ඉන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේට පසුව ය. එය විය නොහැකි සිදුවීමකි. මෙනිසා මේ විය නොහැකි බව වසාගැනීමට සුදුසු ම ක්‍රමය වන්නේ ලංකාවතර සූත්‍රයේ දැක්වෙන බුදුරජාණන්වහන්සේ ගෞතම ද කව්දැයි නොදන්නේ යැයි කීම වේ. හා එසේ නොවේ ද?



0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home