Wednesday, July 6, 2022

මාඝ සූත්‍රය සහ දානය

මාඝ සූත්‍රය සහ දානය

ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ ‘මාඝ‘ සූත්‍රය යැයි සූත්‍රයක් ඇත. ඒ සූත්‍රය ඇසුරෙන් දානය පිළිබඳව කෙටි ලිපියක් සැකසීමට මා සිතුවෙමි.

මාඝ නම් වූ බ්‍රාහ්මණ තරුණයෙක් බුදුරජාණන්වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වේ වාසය කරන අවස්ථාවකදී එහි ගොස් බුදුරජාණන්වහන්සේ හමු වෙයි. එසේ හමු වී සතුටු සාමිචියේ යෙදී සිට මෙසේ ප්‍රශ්නයක් අසයි.

භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දානපති දායකයෙම් යදියන්ගේ බස් දන්නෙම් යදනට නිසි වූයෙම් ධර්මයෙන් භෝග සොයමි. දැහැමින් භෝග සොයා ධර්මයෙන් ලද, ධර්මාධිගත භෝගයෙන් එකක්හට ද දෙමි, දෙදෙනකුන්හට ද දෙමි, තිදෙනකුන්ට ද දෙමි, සතර දෙනකුන්ට ද දෙමි, පස්දෙනකුන්ට ද දෙමි, සදෙනකුන්ට ද දෙමි, සත්දෙනකුන්ට ද දෙමි, අටදෙනකුන්ට ද දෙමි, නවදෙනකුන්ට ද දෙමි, දසදෙනකුන්ට ද දෙමි, විසිදෙනකුන්ට ද දෙමි, තිස්දෙනකුන්ට ද දෙමි, සාලිස්දෙනන්හට ද දෙමි, පණස් දෙනකුන්ට ද දෙමි, සියදෙනකුන්ට ද දෙමි, ඉන් වැඩි බොහෝ දෙනකුන්ට ද දෙමි, භවත් ගෞතමයන් වහන්ස, කිම මම මෙසේ දන්දෙනුයෙම් මෙ සෙයින් යාග කරනෙම් බොහෝ පින් රැස් කරම් දැයි?

මේ ප්‍රශ්නයට බුදුරජාණන්වහන්සේ පිළිතුරු දෙන්නේ මෙලෙසිනි.

මාණවය, එකාන්තයෙන් මැ (තෝ මෙසෙයින් දන් දෙන්නෙහි මෙසෙයින් යාගකරන්නෙහි බොහෝ පින් රැස් කෙරෙහි. මාණවය, යම් දායකයෙක් දානපතිවූයේ යදියන්ගේ බස් දන්නේ යාචයෝග වූයේ ධර්මයෙන් භොගපර්යෙෂණා කෙරේ නම්, ධර්මයෙන් භොගපර්යෙෂණා කොට ධර්මලබ්ධි වූ ධර්මාධිගත වූ භොගයෙන් එකකුහට ද දන් දේ නම් -පෙ- සිය දෙනකුන්හට දේ නම්, එයින් වැඩි දෙනකුන්ට ද දේ නම්, බොහෝ පින් රැස් කෙරේ යයි,

දැන් මේ ප්‍රශ්නය හා පිළිතුර සැලකිල්ලට ගත් විට මෙහිදී මාඝ තරුණයා දැහැමින් සෙමින් උපයා ගත් දෙයින් දන් දෙනවා කියන්නේ භික්ෂූන්වහන්සේලාට නොවන බව පැහැදිලි ය. නමුත් ඔහු කාට හෝ දන් දෙයි. එම දානයේ ප්‍රතිඵල ඇති බව බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. පසුව මාඝ තරුණයා තවත් ප්‍රශ්නයක් අසයි.

මම වදන් දන්නා, කාෂායවස්ත්‍ර‍ධාරී වූ තෘෂ්ණයෙන් තොර ව හැසිරෙණ භවත් ගෞතමයන් වහන්සේ පුළුවුස්මි. යදනට නිසි, දානපත් වූ පුණ්‍යාර්ථි යම් ගෘහස්ථයෙක් පින් කැමැතියේ යාග කෙරේ නම්, මෙලොව්හි මෙරමාහට අහර පැන් දෙන්නේ නම්, කොතන්හි යාගකරන්නහුගේ යාගය ශුද්ධවන්නේදැයි?”

මේ ප්‍රශ්නයට බුදුරජාණන්වහන්සේ ලබා දෙන්නේ මෙවැනි පිළිතුරකි.

මෙ ලොව්හි පින් කැමැති මෙරමාහට ආහාරපාන දෙන දානපති වූ පුණ්‍යාර්ථි ගෘහස්ථයෙක් යදනට නිසි වූයේ යාගකෙරේ නම්, හේ තාදී වූ ම දක්ෂිණාර්හයන් අරියන්නේය

මෙකී ප්‍රශ්නය සහ පිළිතුර සැලකිල්ලට ගත් විට මාඝ තරුණයා අසන්නේ පින් කිරීමට කැමැති දන් දීමට කැමැති ගිහියෙක් වේ නම් පින් බලාපොරොත්තුවෙන් දන් දෙන්නේ නම් කාට දන් දීම වඩාත් හොඳ ද කියායි. බුදුරජාණන්වහන්සේ ඊට පිළිතුරු දෙන්නේ ‘දක්ෂිණාර්හයන්ට‘ දන් දීම වඩාත් හොඳ බවයි. මුල් ප්‍රශ්නයේ දී මාඝ, තමන් දන් දුන්නත් කාට දෙන්නේ දැ යි විශේෂයෙන් නොකියා දෙන දානය වඩාත් හොඳින් දෙන්නේ කෙසේ ද කියා බුදුරජාණන්වහන්සේගෙන් උපදෙස් ගන්නා බව මෙහිදී පෙනී යයි. කෙසේනමුත් දක්ෂිණාර්හයන් කියන්නේ කව්දැයි මාඝ තරුණයා දන්නේ නැත. එනිසා ඔහු බුදුරජාණන්වහන්සේගෙන් දක්ෂිණාර්හයන් යනු කව්දැයි විමසයි. එහිදී දක්ෂිණාර්හයන් යනු කව්දැයි බුදුරජාණන්වහන්සේ පැහැදිලි කර දෙයි. ඒ පහත ලෙසිනි.

යම් කෙනෙක් ඒකාන්තයෙන් ලෝකයෙහි රාගාදියෙහි නොගෑවී කිසිවක් නැතිව වැඩ අවසන්කර රක්නාලද සිත් ඇත්තෝව වාසය කරත්ද, (ii) පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.

යම්කෙනෙක් සියලු සංයෝජන බැමි සුන්කළාහුද දැමුනාහුද, කෙලෙසුන්ගෙන් මිදුනාහුද, දුක් නැද්ද, දැන් කෙළෙස් නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.

රාගයද, ද්වේෂයද, මෝහයද පහකොට කෙලෙසුන් නැසුවෝද, වැසනිමවන ලද බඹසර ඇත්තාහුද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.

යම්කෙනෙකුන් කෙරෙහි රැවටිල්ල නැත්තේද මානයක් නොවේද, යම් කෙනෙක් පහවූ ලෝභ ඇත්තේද මමත්වය නැත්තේද ආශානැත්තේද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.

යම්කෙනෙක් ඒකාන්තයෙන් තෘෂ්ණාවන්හි නොවැටුණහුද කාම සැඩවතුරු තරණය කොට මමත්වය නැතිව හැසිරෙද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.

යම්කිසි කෙනෙකුන්ට ලෝකයෙහි මෙලොව හෝ පරලොව කොයිතැනත් තෘෂ්ණාවක් නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.

පුණ්‍යාපෙක්ෂා ඇති යම් බමුණෙක් යාග කෙරේ නම් හේ, පහ කළ රාග ඇති යම් කෙනෙක් මොනොවට සමාහිත වූ ඉඳුරන් ඇත්තාහු රාහු ග්‍ර‍හණයෙන් ප්‍ර‍මුක්ත වූ චන්ද්‍ර‍යා සෙයින් ප්‍ර‍මුක්ත වෙත් ද, එපුඟුලන් කෙරෙහි නිසි කල්හි දන් දෙන්නේ ය.

යම් බමුණෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් කෙලෙස් සන්හිඳවන්නාහු පහ කළ රාග ඇත්තාහු කෝප රහිත වූවාහු ද, යමකුන්ට මෙලොව්හි ස්කන්ධ හැරපියා ලීමෙන් පුනර්භව ගමනෙක් නැත් ද, එ පුඟුලන් කෙරෙහි සුදුසු කල්හි යඥ දෙන්නේ ය.

යම් බමුණෙක් පුණ්‍යාපෙක්ෂා ඇත්තේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් ජාති මරණ නිරවශේෂයෙන් හැරපියා හැම කථංකථි භාවය ඉක්ම ගියාහු වෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දක්ෂිණා පිරිණමන්නේ ය.

යම් කෙනෙක් ශමනය කළ කෙළෙස් ඇත්තාහුද, පහවූ රාග ඇත්තාහුද, බාධා නොකළහැකිද වර්තමාන සම්බන්ධ අත්හැර ඇලීමක් නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.

ජාති, ජරා, මරණ අත්හැර සියල්ල ඉක්මෙවූවාහු සැක නැද්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.

යම්කෙනෙක් රාගාදී කිසි ක්ලේශයක් නැතිව සර්වප්‍රකාරයෙන් මිදී ලෝකයෙහි තමන් පහනක් මෙන් හැසිරෙත්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.

යම් කෙනෙක් ස්කන්ධ ආයතනාදී ශරීරය අනිත්‍ය යයිදනීද, මේ අවසාන ජාතිය වෙයි. නැවත භවයක් නැතැයි යම් යම් විධියකින් දනිත්ද, පින් බලාපොරොත්තු යම්කිසි බ්‍රාහ්මණයෙක් යාග කරන්නහුනම් සුදුසු කාලයෙහි ඔවුන් කෙරෙහි යාග ද්‍රව්‍යය දෙන්නේය.

යම් බමුණෙක් පින් පතන්නේ යාග කෙරේ නම් හේ, යමෙක් (සිවුමග නැණ නම් වූ) වෙදයෙහි කෙල පැමිණියේ (සවැදෑරුම් සතත විහාර ස්මෘතියෙන්) ස්මෘතිමත් වූයේ ධ්‍යානාභිරත වූ යේ සර්‍වඥතාඥානයට පැමැණියේ බොහෝ දෙනාට සරණ වේ ද, එ පුඟුලා කෙරෙහි නිසි කල්හි දක්ෂිණා දෙන්නේ ය.

මෙකී පැහැදිලි කිරීම ඇසූ මාඝ බ්‍රාහ්මණ තරුණයාට ඇති වූයේ මහත් සතුටකි. තමන්ගේ ප්‍රශ්න කිරීමෙන් ප්‍රයෝජනයක් ලැබුණු බව ඔහුට හැඟිනි. එසේ නොවී කෙසේ ද? දානය ගැන බුදුරජාණන්වහන්සේ තරම් දන්නා වෙනත් අයෙක් මේ තුන් ලොවේ නැත (දාන සූත්‍රය). මේ ආකාරයට බුදුරජාණන්වහන්සේ දක්ෂිණාර්හයන් නැත්නම් දානය පිදිය යුත්තේ කාටදැයි පුද්ගල කොට්ඨාශ වශයෙන් ම මාඝ තරුණයාට දේශනා කරන්නට යෙදිනි. ඉන්පසුව මාඝ තරුණයා තවත් ප්‍රශ්නයක් ඇසුවේ ය. එනම් දන් දීමේ දානසම්පත්තිය ද දැන ගැනීමේ අවශ්‍යතාවය ඇති බවයි. ඊට ද බුදුරජාණන්වහන්සේ පිළිතුරු ලබා දෙයි.  ඒ මෙසේයි.

මාඝය, දන්දෙනු ලබන්නේ දෙව, හැමතන්හි සිත පහදව, දන්දෙන්නාට දියයුත්තේයයි කියනලද දානය අරමුණ වේ. මෙහි පිහිටා ද්වේෂය නැතිකරයි.

ඒ පහවූ රාග ඇත්තේ ද්වේෂය නසා අප්‍රමාණ මෛත්‍රී සිත වඩන්නේ රෑදාවල් දෙකෙහි නිතර අප්‍රමාදවූයේ සියලු දිශාවන්හි අප්‍රමාණ මෛත්‍රිය පතුරුවයි.

දැන් මේ පිළිතුරු අනුව දන් දීමට සිතුණු විට සහ අවස්ථාව ලද විට දන් දිය හැකි අතර අවශ්‍ය වන්නේ එසේ දන් දෙන විටදී සිත පැහැදවීම යි. සිත පිහිටවිය යුතු වන්නේ දෙනු ලබන දානය කෙරෙහි ය. ඒ හරහා ද්වේශය නැති කිරීමට කටයුතු කළ හැක. ඉන්පසු සිත තුළ මෛත්‍රී සිතුවිල් වර්ධනය කර සියළු දිශාවට මෙත් වැඩීම සිදු කළ යුතු වේ. ඉදින් මේ ආකාරයෙන් දන් සැකසීමේ සිට දක්ෂිණාර්හයන්ට දන් පූජා කොට අවසන්ව සිත පැහැදවීම දක්වා පැහැදුන සිතෙන් කටයුතු කරන්නේ නම් බ්‍රහ්ම ලෝකයේ ඉපැදෙන බව බුදුරජාණන්වහන්සේ මාඝ තරුණයාට අවසානයේ දේශනා කරන්නේ ය.

මේ මාඝ තරුණයාට කළ දානය පිළිබඳව ධර්ම දේශනාව සමස්ථයක් ලෙසින් ගත් විට පෙනී යන්නේ බ්‍රාහ්මණයන් අරමුණු කර ගනිමින් සිදු කළ දේශනාවක් බවයි. මාඝ ගේ අවසන් ප්‍රශ්නය වන බ්‍රහ්මයා සමඟ එක් වීමේ ක්‍රමය අසා දැන ගැනීමේ වුවමනාවෙන් එය පැහැදිලි වේ. කෙසේවෙතත් බුදුරජාණන්වහන්සේ මාඝට ලබා දෙන පිළිතුර තුළ බ්‍රාහ්මණ ධර්මයන් සඳහා නව අර්ථකථනයක් ඇති බව පෙනී යයි. එසේ වෙතත් ඒ අර්ථ කථනය මාඝ තරුණයාගේ සිත දිනා ගනී. ඒ බව සනාථ වන්නේ ඔහු මේ ධර්ම දේශනාවෙන් පසුව උපාසකයකු ලෙසින් සලකන ලෙසට කරන ඉල්ලීම නිසාවෙනි.

වර්තමානය වන විටත් දානය ගැන නොයෙක් සාකච්ඡා අප අතර පවතී. බුද්ධ කාලයේ පමණක් ඇති වූවාක් නොවේ එය. ඉතා මෑතකදී සමාජ මාධ්‍ය හරහා එක්තරා ඡායාරූපයක් සංසරණය වූයේ එවැනි මාතෘකාවක් ඉදිරිපත් කරමිනි. එම ඡායාරූපයේ දැක්වෙන්නේ ආහාර ද්‍රව්‍ය කීපයකින් සමන්විත බුද්ධ පූජාවකි. එහ ‘ටූත් පික්‘ ද දක්නට ලැබේ. මේ ඡායාරූපය අරඹයා නොයෙක් විවේචන මෙන්ම උපහාසාත්මක දේ සංසරණය වෙයි. එවැනි කටයුතු සිදු කරන්නේ බුද්ධ ධර්මයේ දේශනා කරන ඇති දානය යන්න ගැන දැනුමක් නැති අයවලුන් බව අමුතුවෙන් කිව යුතු නැත.

ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් විස්තර කරද්දී බුදුරජාණන්වහන්සේ දානය ද පුණ්‍යක්‍රියාවක් ලෙසින් විස්තර කර ඇත.

මහණෙනි, මේ පින් කිරියවත් තුනෙකි. කවර තුනෙක්ද යත්? දානමය පුණ්‍යක්‍රියාවස්තුවය. ශීලමය පුණ්‍යක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තුවය, මහණෙනි, මේ වනාහි තුන් පින් කිරියවතියි.

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

හෙතෙමේ මත්තෙහි අග්‍රවූ හෝ මත්තෙහි උතුම්වූ හෝ අතිශයින් අග්‍රවූ හෝ මනොඥ ඵලයෙන් අග්‍රවූ හෝ සැප විපාක ඇති පිනම රැස්කරන්නේය. දානයද චරියාවවූ ශීලයද මෙත් සිතද වඩන්නේය. සප්‍රාඥතෙම සුව අනුසස් ඇති මේ කුසල ධර්ම තුන වඩා නිදුක්වූ සුවවූ බඹ ලොවට උත්පත්ති වශයෙන් පැමිණේයයි.” (පුණ්‍ය ක්‍රියා සූත්‍රය)

කෙසේවෙතත් බඹ ලොව උත්පත්තිය ලැබුවද සමහරක් විට සසර අවසන් නොකරයි නම් ඒ අය ආපසු නිරයේ පවා එනම් දුක් විපාක සහිත ලෝකයක වුව ඉපැදීමට හැකියාව ඇත. දානය තුළින් බඹ ලොව ඉපැදීම ට මග සලස්වාගන්නා අයුරු ඉහතින් දක්වන්නට යෙදිනි. දානයෙහි ආදීනව ලෙසින් සසරේ දුක් විඳීමට ඇති අවස්ථා අඩු වේ. නමුත් දානයේ විපාක ලැබීමට සසර තුළ සැරීමට සිදු වේ. බුදුරජාණන්වහන්සේගේ පිළිමවලට පවා අදටත්, පිරිනිවී වසර 2000 ක් පමණ ගෙවි අවසානයේ ත් දන් පූජා ලැබෙන්නේ ඒ දානයේ විපාක ලෙසිනි. තවමත් සමහරක් නිවාසවල සීවලී මහරහතන් වහන්සේ උදෙසා දන් පිළිගැන් වේ. බුදුරජාණන්වහන්සේගේ නමට දන් පූජා කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. ලෝකය පුරා ම එය සිදු වේ. එවැනි විපාකයක් ලැබීමට කෙතරම් නම් දන් දෙන්නට ඇතැයි ඔබ සිතනවා ද?

සමහරු, සමහරක් ඇත්තන් විසින් සිදු කරන දානමය පූජා දෙස බලා ‘අනේ බඩගින්නේ කොච්චර නම් ඉන්නවාද ඒ අයට ඕක දුන්නා නම් මොකද වෙන්නේ‘ වැනි ප්‍රකාශ සිදු කරමින් ඒ කාර්යය විවේචනය කරයි.  හිතවතුනි මෙයි එතරම් හොඳ දෙයක් නොවේ. දානයක් දීමට සිත පිහිටුවා ගැනීම පහසු කාර්යයක් නොවේ. එසේම දානයක් ලැබීමට ද පින තිබිය යුතු ය. ඔබගේ ජීවිත කාලය තුළ යමක් වුවමනා වී ඇති කී දෙනෙක් ඔබට හමු වී ඇත් ද? නිදසුනකට ඔබ වෙත පැමිණෙන හිඟන්නකු සලකන්න. ඔහු දුටු විට ඔබට අප්‍රසන්නතාවක් දැනී දන් දීම කෙසේවෙතත් ඉක්මණින් ඔහුගෙන් ඉවත්වීමට ඔබට සිතුනු අවස්ථා නැද්ද? සමහරුන් දෙස බැලූ විට ‘අනේ මේකගේ අත් පා හතර හොඳින් තියෙද්දිත් කාලකණ්නි කමට හිඟා කන හැටි. දෙන් නෑ ශතයක්වත්‘ කියා හිතුණු වාර නැද්ද? දානය දීමට මෙන්ම දානය ලැබීමට ද පිනක් තිබිය යුතු ය. ඔබ සිතා සිටියාට සියල්ලන්ටම සැප විඳීමට පින් නැත. ලෝසක මහරහතන්වහන්සේට රහත් වූ භවයේ පවා කුස පිරෙන්නට ආහාරයක් නොලැබිණි. උන්වහන්සේගේ පාත්‍රයට දන් බෙදීමට දායකයන් සූදානම් වූ විට ඔවුන්ට පෙනෙන්නේ පාත්‍රය පිරී ඇති ආකාරයයි. මෙනිසා දායකයෝ උන්වහන්සේ හැර අනෙක් භික්ෂූන්වහන්සේට දානය පූජා කරයි. එහෙත් ලෝසක රහතන්වහන්සේගේ පාත්‍රයේ දානය නැත. එවැනි වූ අකුශලයක් උන්වහන්සේ සසරේ කර තිබිණි. ඔබ කරගන්නා පින් පව්, කුශල් අකුශල් අනුව ඔබගේ වර්තමානයේ සැප විඳීම හෝ දුක විඳීම තීරණය වේ.

දානය, බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ම පූජා කිරීමේ අවශ්‍යතාවක් නැත. නමුත් බුදු දහමට අනුව දන් දීමෙන් වැඩි ප්‍රතිඵල ලැබෙන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කිරීමෙනි. ඊටත් වඩා වැඩි ප්‍රතිඵල සංඝාවාසයක් සකසා දීමෙන් ලැබෙන බව බුද්ධ දේශනාවේ තිබේ. අතීතයේ සිංහලයන් හැකි පමණින් සංඝාවාස තනා සිව්දෙසින් වඩිනා භික්ෂූන්වහන්සේලාට පූජා කළේ එහෙයිනි. එයටත් වඩා පින් කම් තවත් ඇත. නමුත් දානය සම්බන්ධයෙන් ගත් විට මේ කටයුතු වල අදටත් මිනිසුන් යෙදෙන්නේ මෙකී ප්‍රතිඵල දන්නා නිසාවෙනි. ඔවුන්ට එවැනි කාර්යයන්හි යෙදීමට තරම් හැකියාව ලැබී ඇත්තේ පෙර භවයන් හි ඔවුන් එවැනි ක්‍රියාවලට යෙදී ඇති පුරුද්ද සහ විපාකයන් ලෙසිනි. නිදසුනකට මා පෙර කී සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ ටූත් පික්වලට අමතරව තවත් ආහාර ද්‍රව්‍ය කීපයක් ම ඇත. එවැනි දානයක් දීම කෙසේවෙතත් ගෙදරක එවැනි ව්‍යංජන ප්‍රමාණයක් සකසා ගෙන කෑම වේලක් කෑමට තරම්වත් හැකියාව ඇති අය මේ ලංකාවේ අද ඉන්නේ කීයෙන් කීයද? අපි අද කථා කරන්නේ තුන් වේලක් නොව දෙවේලක් කා ජීවත්වන මනුස්ස ජීවිතයක් ගැන ය. එසේ වීත් ඉස්මුරුත්තාව හැදෙන තුරු කා බී, කෑ ආහාර දිරවන තුරු ව්‍යායාම් ශාලාවල ව්‍යායාම් කරන්නා වූ පිරිස් අදත් නැද්ද? දානය ඇතුළු පින්කම්වල ආනිශංස එසේ ය.

ඔබ හේතු ඵල දහම පිළිබඳව, කර්මය පිළිබඳව නොදැන මනුස්සයින් කරන ක්‍රියාවෙන් විවේචනය කිරීමට, උපහාසයට ලක් කිරීමෙන් සිදු වන්නේ කුමක් ද? එකක් ද්වේශය ඇති කර ගැනීමයි. කාගේ හෝ කර්මයක් නිසා කොහේවත් සිටිනා ඔබ ද්වේශය ඇති කර ගනී. උපහාස සහ අපහාස කිරීමත් ද්වේශයේ එක්තරා අංගයක් වෙන අවස්ථා නැතුවා නොවේ. ඔබේ මෝහය වැඩි දියුණු කර ගනී. එසේම දානයේ ප්‍රතිඵල විවේචනය කිරීමෙන් මිච්චා දෘෂ්ටිය තුළ ගමන් කරයි. ඒවායේ ප්‍රතිඵල ලැබීමටත් ඔබට සසරේ ඉපැදි ඉපැදී ගමන් කිරීමට සිදු වේ.

එනිසා කෙනෙකුගේ සද්ක්‍රියාවක් විවේචනය කරද්දී හොඳින් අවබෝධයෙන් යුතු ව එය සිදු කරන්න. මාඝ බ්‍රාහ්මණ තරුණයාට බුදුරජාණන්වහන්සේ දේශනා කළ සේ එය කළැහැකි දැයි කල්පනා කරන්න. එසේ හැකියාවක් නැත්නම් හොඳම දේ වන්නේ අනෙකාගේ පිනට ඔබටත් හැකි ලෙසින් සම්බන්ධ වී ඒ පිනේ කොටස්කරුවකු වීමයි. සමහරක්විට එවැනි ඡායාරූප සමාජමාධ්‍යයට එකතු කරන්නේ ඒ එකතු කරන්නාගේ යම් යම් යටි අරමුණු (ප්‍රසිද්ධිය වැනි), බලාපොරොත්තුවෙන් වුවත් ඔබ ඒ සඳහා එකතු විය යුත්තේ අවබෝධයෙනි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු යැයි සිංහල කියමනක් ඇති බව ඔබ අසා ඇතුවා ඇත. මෙනිසා දෙයක් විවේචනය කිරීමට උපහාස අපහාස කිරීමට පෙර ප්‍රඥාවත්ව විමසා කටයුතු කරන්න. පනින්නට පෙර සිතා බලන්න. මන්දයත් ඔබගේ විවේචනයේ නැත්නම් අපහාසයේ, උපහාසයේ ප්‍රතිඵල විඳින්නට වන්නේ ද ඔබට ම නිසාවෙනි.

Labels: , , , , ,

Saturday, February 26, 2022

බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේය කියන අයට ....

 

බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේය කියන අයට ....

මේ වන විට සිංහල රටේ පවතින එක්තරා වාදයක් වන්නේ බුදුරජාණන්වහන්සේ ලංකාවේ උපන්නේ ද නැද්ද යන වාදය යි. ඒ වාදය තුළ බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේයැයි කියන අය වෙනුවෙන් මේ කෙටි ලිපිය සැකසීමට සිතුවෙමි.

බුදුරජාණන්වහන්සේ ලංකාවේ උපන්නෙකියි යන ස්ථාවරය සඳහා ජම්බුදීපය ඉන්දියාව නොව ලංකාව ය යන මතය ද සමාජගත කිරීමට සිදු ව තිබේ. මෙය ඉතා සිහිබුද්ධියෙන් ඉදිරිපත් කරන මතයකි. ඒ සඳහා ඕනෑතරම් සාක්ෂි, සාධක මේ වන විට ඉදිරිපත් කර ඇත. කෙසේවෙතත් ජම්බුදීපය යන රට කුමක්දැයි ස්ථිරව සනාථ කර ගැනීමට නොහැකි වී තිබේ.

ඇත්තටම ජම්බුදීපය ඉන්දියාව ද ලංකාවද? මේ වාදය තුළ ඇවිලෙන එක් අඟුරු කැබැල්ලකි. බහුතරයකගේ නැත්නම් ලෝකවාසීන්ගේ විශ්වාසය අනුව (ලංකාවේ එක්තරා කොටසකගේ හැර) ජම්බුදීපය යනු ඉන්දියාවයි. නමුත් ඉන්දියාවට ජම්බුදීපය යැයි කීවේ කව්ද? මේ පිළිබඳව විමසීමේ දී ඉන්දියාව හැඳින්වූ නම් මොනවාද යන්න හඳුනා ගත යුතු ව තිබේ.

ඊට පෙර ලංකාවේ දී ඉන්දියාව හැඳින්වූ පැරණි නාමය කුමක් ද යන්න දැක්විය යුතු ය. දැනට අප සතුව ඇති පැරණි ඉතිහාස මූලාශ්‍රයක් වන (එහි දැක්වෙන සමහරක් කරුණු පුරාවිද්‍යාත්මකව සනාථ ව තිබේ) මහාවංශයේ දී අද ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුන්වා ඇති ආකාරය දක්නට ලැබේ. මහාවංශය ක්‍රි.ව. 5 වන සියවසේ දී රචනා වන විට ක්‍රි.ව.4 වන සියවසේ රචනා වී තිබූ දීපවංශය ලංකාවේ තිබිණි. අදත් එය ඇත. ඒ අනුව ද ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුනා ගත හැක. මේ වංශ කථා ලියැවෙන්නේ ඒ වන විට ලංකාවේ තිබුණු හෙළ අටුවාව ආශ්‍රයෙනි. ඒ අනුව ඒ අටුවාවේදීද අද ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හැඳින්වෙන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට අමතරව ඉන් ඉදිරියට ලියැවුණු බොහෝ ග්‍රන්ථවල ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුනා ගත හැක. පූජාවලිය ඊට හොඳම නිදසුනකි. දඹදෙණි යුගයේ රචනා වූ එහි ධර්මාශෝක රජු ගැන සඳහන් කරන විට දඹදිව පාටලීපුත්‍රය ගැන සඳහන් කර තිබේ. මීට අමතරව අවස්ථා කීපයකදී ම දඹදිව ගැන පූජාවලියේ සඳහන් වේ. සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය ආදී සාහිත්‍ය ග්‍රන්ථවලද එසේමැයි. සද්ධර්මාලංකාරයේ දී  ලංකාවේ සිට දඹදිව බෝධිමණ්ඩලයට වැඩි භික්ෂූන්වහන්සේලා ගැන පවා සඳහන් වේ. මේ ලංකාවේ සාහිත්‍යයෙන් කොටසක් පමණි. මහාවංශය ඇතුළු ග්‍රන්ථවලදී ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හැඳින්වීමට හේතුවක් ඇත. එය හඳුනාගත යුතුව තිබේ. ඒ සඳහා ජම්බුදීපය යන නම භාවිතා කළ තැනැත්තා හඳුනාගැනීමට අවශ්‍යය.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉන්දියාව හඳුන්වන ව්‍යවස්ථානුකූලව පිළිගත් නම් දෙකකි. ඒ ඉන්දියාව සහ භාරතය යි. මීට අමතරව හින්දුස්ථාන් යන නමද ඉන්දියාවට භාවිතා කරයි. එහෙත් එය ව්‍යවහාරයේ මිස ව්‍යවස්ථාපිතව පිළිගෙන ඇති නමක් නොවේ.

ඉන්දියාව යන නම ක්‍රි.පූ.5 පමණ සිට ඉන්දියාවට භාවිතා වී ඇති බවට සාධක ඇත. නමුත් ඒ ඉන්දියාව යනු අද ඉන්දියාව නොව පාකිස්ථානය ද ඇතුලු විශාල භූමි ප්‍රමාණයකි. ඉන්දියා යන නම ග්‍රීක භාෂාවෙන් බිඳී පැමිණියක් වේ. මෙගැස්තීනියස් එය ප්‍රථමයෙන් ම භාවිතා කරන්නට ඇති බව පෙනී යයි. එය ග්‍රීක භාෂාවට යොමු වන්නේ සින්දු යන සංස්කෘත පාඨයෙනි. ඒ සින්දු ගංගාව හේතුවෙනි. අද සින්ද් ප්‍රදේශය පාකිස්ථානයේ ය. මේ සින්දු යන්න පැරණි පර්සියානුවන් හඳුන්වනු ලැබූයේ හින්දු ලෙසිනි. ක්‍රි.පූ. 516 දී 1 වන ඩේරියස් රජු සින්දු ප්‍රදේශයේ කොටසක් ආක්‍රමණය කරනු ලැබුවේ ය. එතැන් පටන් හින්දු ලෙසින් ඒ කොටස හඳුන්වන ලදි. පර්සියානු අධිරාජ්‍යයා වෙනුවෙන් ඉන්දු ගඟ දිගේ පහලට පැමිණි යාත්‍රිකයෝ ඒ නම ග්‍රීකයන්ට දැනුම් දෙන්නට ඇති බව සිතීමට කිසිඳු බාධාවක් නැත. හෙරඩෝටස්ගේ ජියෝග්‍රෆි කෘතියේ දී ඉන්දුස් පාඨය භාවිතා වී තිබේ.

සිහි තබා ගන්න. මේ කාලය වන විට ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පවතින භූමියකි. එය ඉන්දියානු භූමියේ කොටසක් නොවේ.

එසේම හෙරඩෝටස් මේ කලාපයේ භූ ලක්ෂණ ගැන නිශ්චිතව නොදැන සිටියේ වුවත් ඒ කොටසේ ජීවත්වන පුද්ගලයන් හැඳින්වීම සඳහා ඉන්දියානු නම භාවිතා කර ඇත.

ඇලෙක්සැඩර්ගේ කාලයේ දී ද ඉන්දියාව හැඳින්වූයේ ඉන්දියාව ලෙසින්ම ය. ඇලෙක්සැන්ඩර්ගේ රාජ්‍ය තාන්ත්‍රික දූතයෝ ගංගා ගඟ දිගේ උතුරු ඉන්දියාවේ සංචාරයේ ද යෙදිනි.

ඇල්ප්‍රඩ් රජුගේ පවුලස් ඔරෝසියස් පරිවර්තනයේ දී ද ඉන්දියාව නම භාවිතා වූ අතර මධ්‍යතන ඉංග්‍රීසියේ දී ප්‍රංශ උරුවට යමින් ඉන්දෙ නම භාවිතා විනි. පසුව 17 වන සියවසේ පමණ සිට වත්මන් ඉංග්‍රීසි භාවිතාවේදී ඉන්දියා යන නම භාවිතා වෙයි. මේ ඉන්දියාවේ කතාවයි. දැන් අපි හින්දුස්ථානයට යොමු වෙමු.

පෙර කී ලෙස 1 වන ඩේරියස් ක්‍රි.පූ. 516 දී පමණ ඉන්දු නිම්නය ආක්‍රමණය කරනු ලැබූ අතර එතැන් පටන් සින්දු යන්නෙහි පර්සියානු භාවිතාව වන හින්දු යන්න භාවිතා විය. මේ නම ඊජිප්තුවේ ආකිමිඩියානු යටත් ප්‍රදේශයේ පවා භාවිතා ඇති බවට ක්‍රි.පූ. 500 පමණ ලියැවුණු 1 වන ඩාරියස්ගේ ව්‍යවස්ථාව සාක්ෂි දරයි. 

 

1 වන ඩාරියස්ගේ ව්‍යවස්ථාවේ ඉන්දියාව යන්න දක්වා ඇති අයුරු.

පර්සියානුවන් විසින් ම ස්ථාන් යන්න ද ක්‍රි.පූ. 1 වන සියවසේ පමණ සිට හින්දු යන්නට එකතු කර භාවිතා කරන්නට ඇතැයි සිතීමේ බාධාවක් නැත. ඒ අනුව ක්‍රි.පූ. 262 සිටි 1 වන ශපූර්ගේ Naqsh-e-Rustam පුවරු ලිපියේ දී සින්ද් යන්නට හින්දුස්ථාන් යන්න භාවිතා කර තිබේ. බාබුර් අධිරාජ්‍යයා එය විස්තර කර ඇත්තේ ‘එය නැගෙනහිරින්, දකුණින් සහ බටහිරින් මහා මුහුදෙන් වට වී ඇත‘ ලෙසිනි.

අරාබියානුවන් විසින් ද හින්දු යන්න භාවිතා කර ඇති අතර ඔවුන් පසුව ඉන්දියාව ආක්‍රමණය කරනු ලැබූ විට භාවිතා කර ඇත්තේ හින්දුස්ථාන් යන නමයි. ක්‍රි.ව.17 වන සියවසේ දී හින්දුස්ථාන් නම ද ඉංග්‍රීසියට ඇතුල් විනි.

පෙර කී ලෙස ඉන්දියාව ව්‍යවස්ථාපිතව භාරතය ලෙසින් ද හැඳින් වේ. සමහරුන් කියන්නේ රිෂභගේ පුත් භරතගේ නමින් භාරතය ලෙසින් හඳුන්වන බවයි. තවත් අය දුෂ්‍යන්තගේ පුත් භරතගේ නමින් භාරතය ලෙසින් හඳුන්වන බව කියයි. ත්‍රිපිටකයේ මහා ගෝවින්ද සූත්‍රයේද භරත රජු ගැන සඳහන් වේ. මහාභාරතය දුෂ්‍යන්තගේ පුත් භරත ගැන සඳහන් කරයි. ක්‍රි.පූ.1 වන සියවසේ කාරවේල රජුගේ හත්ථිගුම්පා සෙල්ලිපියේදී භාරතවර්ෂය යන පාඨය යොදා ගෙන ඇත. නමුත් ඒ උතුරු ඉන්දියාවේ කොටසක් සඳහා පමණි. මහාභාරතය ලියැවුණු ක්‍රි.පූ.200-300 අතර කාලයේ දී ඊට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ඒ සඳහා ඇතුල් වී තිබේ. විෂ්ණු පුරාන, වායු පුරාන, ලිංග පුරාන, බ්‍රහ්මන්ද පුරාන, අග්නි පුරාන, ස්කන්ධ පුරාන, කන්ධ පුරාන, මර්කන්ධ්‍ය පුරාන යන පුරාන ග්‍රන්ථ වල භාරතවර්ෂය පෙන්වා දී තිබේ.

එසේම වේදග්‍රන්ථ, මහාභාරතය, රාමායණය ආදී ග්‍රන්ථවලදී භාරත කන්ධ ලෙසින් ද භාවිතා වී තිබේ. නමුත් භාරත කන්ධය තුළදී දකුණු ආසියාවම ඇතුළත්වන ආකාරයක් දක්නට ඇත.

ජම්බුදීප

අශෝකගේ ශ්‍රහස්‍රම් ගල් ලිපියේ බ්‍රාහ්මී අක්ෂරයෙන් ජම්බුදීපය දක්වා ඇත.

 

ඉන්දියාව සඳහා ජම්බුදීපය යන නම ප්‍රථමයෙන් භාවිතා කල බවට සැලකිය හැක්කේ අශෝක අධිරාජ්‍යයා වේ. භාරත යන නම රාජ්‍ය නාමයක් ලෙසින් පිළිගැනීමට පෙර ඉන්දියාව හැඳින්වීමට භාවිතා වූ ප්‍රමුඛ නාමය එය විය. දඹ පිරුණු දූපත යන්න එහි සාමාන්‍ය අර්ථය වේ. අශෝක අධිරාජ්‍යයා විසින් බුදු දහම රට රටවලට ව්‍යාප්ත කිරීමේ දී ජම්බුදීපය යන නාමය ද ව්‍යාප්ත විනි. නිදසුනකට ලංකාවට පැමිණි මහින්ද අර්හත් තෙරණුවෝ දෙවනපෑතිස් රජුට කියන්නේ අප ජම්බුදීපයේ සිට පැමිණි බවයි (ජම්බුදීපා ඉධා ගතා).

එසේම ප්‍රථමයෙන් ත්‍රිපිටකය ලිඛිතව සංග්‍රහ වන්නේ ලංකාවේ ය. ඒ ගැන සැකයක් නැත. ත්‍රිපිටකය තුළ අවස්ථා කීපයකදී ම ජම්බුදීපය යන නම සඳහන්ව තිබේ. කෙසේවෙතත් මහා ගෝවින්ද සූත්‍රයේදී භාරත ගැන සඳහන් වේ. ත්‍රිපිටකය තුළ ජම්බුදීපය සඳහන්ව තිබීමට ප්‍රධාන හේතුව වන්නේ තෙවැනි සංගායනාවේදී ඉන්දියාව සඳහා භාවිතා කළ නම එය වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලංකාවට මහින්ද අර්හත් තෙරණුවෝ විසින් දේශනා කලේ මේ තෙවැනි ධර්ම සංගායනාවේදී සංග්‍රහ කළ ධර්මය යි. එසේම පැමිණියේ ඉන්දියාවේ සිට නිසා එකල්හි ඉන්දියාවට භාවිතා වූ දඹදිව යන නම ම භාවිතා කරනු ලැබීය. එහි ප්‍රතිඵලය ලෙසින් ත්‍රිපිටකය තුළ අද අපිට ඉන්දියාව හෝ භාරතය වෙනුවට හමුවන්නේ ජම්බුදීප යන පාඨය යි.

අශෝක රජු විසින් දඹදිවත් ලංකාවත් එකිනෙකට වෙනස් රාජ්‍යයන් ලෙසින් දක්වා ඇති බව ආපසු සඳහන් කිරීම අවශ්‍ය නොවේ. මෙහි ආරම්භයේදී ම මා විසින් ඉන්දියාවට ජම්බුදීපය යැයි කීවේ කව්ද යන්න හඳුනාගැනීම අවශ්‍ය බව සඳහන් කළෙමි. ඒ අනුව අශෝක රජු විසින් ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුන්වා ඇත. ඒ හැඳින්වීම තුළින් ලංකාවේ දී ද ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුන්වා තිබේ. තායිලන්තය, මලයාසියාව අදටත් ඉන්දියාව ජම්බුදීපය ලෙසින් හඳුන්වයි.

ඉංග්‍රීසීහු විසින් ප්‍රථමයෙන් ඉන්දියාව අල්ලා ගත් අතර පසුව ලංකාව ද අල්ලා ගත්හ. ඔවුන් ඉන්දියාව ඉන්දියාව ලෙසින් හැඳින්වූ අතර ලංකාවේදී ද ඉන්දියාව සඳහා යොදාගත් නම වූයේ ජම්බුදීපය හෝ ඉන්දියාවයි. සිංහල සාහිත්‍යයේදී මෙනිසා ඉංග්‍රීසි යටත් විජිත සමයේ දී ජම්බුදීපය මෙන්ම ඉන්දියාව යන නාම ඉන්දියාව හැඳින්වීම සඳහා යොදා ගෙන තිබේ. නමුත් ඊට පෙර ලියැවුණු මහාවංශය, පූජාවලිය ආදී සාහිත්‍ය ග්‍රන්ථවලදී ජම්බුදීපය යන නම යොදාගෙන තිබේ.

මේ අනුව ජම්බුදීපය යන නම අද ඉන්දියාව ලෙසින් හඳුන්වන රටටත් ලංකාව යන නම අද අපි ලංකාව ලෙසින් හඳුන්වන රටටත් යොදාගෙන ඇති බව පැහැදිලි වේ.

මහාවංශය, පූජාවලිය ආදි ග්‍රන්ථවලදී බුදුරජාණන්වහන්සේව හඳුන්වා ඇත්තේ ලංකාවෙන් පිටත වැඩ විසූ අයෙකු ලෙසිනි. එසේ නොවන්නට ලංකාවට වැඩම කිරීමේ අවශ්‍යතාවක් බුදුරජාණන්වහන්සේට මතු වන්නේ නැත. මෙනිසා බුදුන් උපන්නේ ලංකාවේ නොවන අයට සාධාරණ සහ විශ්වාස කළ හැකි, පිළිගත හැකි මතයක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැක.

 

 

Labels: , , , , ,